ඔබේ ගැටලුවට අංක විද්‍යාෙවන් පිහිට

පෙබරවාරි 5, 2024

ගත වී යන, උදාවන හැම තත්ත්පරයකම වටිනාකමක් රැඳෙනවා. ඇත්තෙන්ම අද දවස වගේම හෙට දවසත් හිතට ගෙන දෙන්නේ නැවුම් බලාපොරොත්තු. ඔබ ඒ පැතුමන්, අරමුණු එකිනෙක ජයග්‍රහණය කරගන්න නොකරන දෙයක් නැහැ නේද? ඇත්තටම අනාගතයේ වෙන්නෙ මොකක්ද? කොහොමද වෙන්නෙ කියලා දැනගන්න කාගෙ කාගෙත් යටි සිත උනන්දුයි.

මේ කාරණාවේදී ජ්‍යොතිෂයෙන් ලැබෙන පිටිවහල අතිශය වැදගත්. ඒත් හැමෝටම කේන්දරයක් එහෙමත් නැත්නම් හඳහනක් නැහැනෙ. හඳහනක් නැතත් දැන් අංක විද්‍යාව තුළින් අනාගතයට මොකද වෙන්නේ කියලා කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාටත් අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, පවුල් ජීවිතය ගැන විවිධ ගැටලු ඇති. තරුණී අප ඔබේ ගැටලුවලට අංක විද්‍යාව තුළින් විසඳුම් ලබා දෙන්න සූදානම්.

අපේ ලිපිනය... අංක විද්‍යාවෙන් පිහිට,

තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10.

 

විවාහ දිවියේ ගැටලු

 

ප්‍රශ්නය

1986.04.06 (ස්ත්‍රී), 1984.06.08 (පුරුෂ), අප දෙදෙනාගේ විවාහ ජීවිතය ඉතාමත් අවාසනාවන්ත ලෙසයි ගත වෙන්නේ. විවාහ දිවිය නීරස වෙන තරමට අප අතර ගැටලු පවතී. අංක විද්‍යාවට අනුව මෙයට පිළිතුරක් ලබා ගත හැකි වේවි ද?

 

පිළිතුර

පුරුෂයාගේ උපන් දිනය අනුව පුද්ගලික අංකය අංක 6 වන අතර දෛව අංකය අංක 7 වේ. ස්ත්‍රියගේ උපන් දිනය අනුව පුද්ගලික අංකය අංක 8 වන අතර දෛව අංකය අංක 9 වේ.

ඔහුගේ පුද්ගලික අංකය අංක 6 වන නිසා ඉදිරියට යෑමේ ශක්තිය, ආකර්ෂණය, විනෝදයට ප්‍රිය, කා සමඟත් මිතුරුව සිටින, ඕනෙම කෙනෙකුගේ ආකර්ෂණය ලැබිය හැකි කාමභෝගී අයෙකි. ඇයගේ පුද්ගලික අංකයට අංක 8 නිසා ඒ අනුව ඇය ධර්මයට ලැදි, ලෞකික පැත්තට වඩා ලෝකෝත්තර පැත්තට නැඹුරු, දහමට ලැදි අයෙකි. එමෙන්ම උත්සවවලට, සෙනඟක් මැද්දට යෑමට, කැපී පෙනෙන ලෙස ඉදිරියට යෑමට එතරම් ප්‍රියතාවයක් නොදක්වන අයෙකි.

මෙවැනි දෙදෙනකු සම්බන්ධතාවයක් වුවහොත් සාමකාමී පෞද්ගලික ජීවිතයක් ගත කළ නොහැකි බව මෙම චරිත ලක්ෂණ මඟින් පෙනී යයි. නමුත් දෙදෙනාට දෙදෙනා ඉතා හොඳින් මනාව තේරුම් ගෙන කටයුතු කළොත් ජීවිතය ඉදිරියට ගෙන යා හැකිය.

 

ඔහු හා මා විවාහයට සුදුසු ද?

 

ප්‍රශ්නය

 

පුද්ගලික අංකය 3,4 අය විවාහයට සුදුසු ද? මම විවාහ වීමට බලාපොරොත්තුවන කෙනාගේ පුද්ගලික අංකය අංක 4 වන අතර මාගේ පුද්ගලික අංකය අංක 03 වේ. ඔහු හා මා විවාහයට සුදුසු ද?

 

පිළිතුර

පුද්ගලික අංක 3, 4 යන අය විවාහ වී පවුල් ජීවිත ගත කරන අවස්ථා ඇත. නමුත් අංක 3 යනු තමන්ගේ රාමුවක් තුළ ජීවත්ව සිටින ඥානය, බුද්ධිය සහ හැකියාව තුළින් කටයුතු කරන කෙනෙකි. අංක 4 යනු වේගවත්, තරමක දඩබ්බර ගති ඇති, කවුරුත් කියන දේ පිළි නොගන්නා, තම මතයටම වැඩ කරන අයෙකි. ඒ නිසා දෙදෙනාගේ සිතිවිලිවල නොගැළපෙන අවස්ථා ඇත. ඒ නිසා විවාහ වනවා නම් හොඳින් සිතා බලා තීරණ ගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ අංක විද්‍යාවේදිනි

ලක්ෂි පුෂ්පලතා පෙරේරා