නිවෙසක අැතිවෙන දහසක් දෝෂ දුරු කරන වඩු රියන

පෙබරවාරි 12, 2024

අප අතීත උරුමය සොයා යන්නේ මහත් උනන්දුවෙන් හා ආසාවෙනි. එම අතීතය අපට ඉතිරි කළ දේ බොහෝය.ගෘහ නිර්මාණ ශිල්පය මින් වඩාත් අපගේ ජීවිතයට සමීප කරන කලාවකි. මෙහි වටිනාකම හා අගය නිසාම එම ශිල්ප ක්‍රම තුළ භාවිත කළ තාක්ෂණික මිනුම් ක්‍රම පවා නිවාස තැනීමේ දී යොදා ගනියි. එම ශිල්ප තාක්ෂණය අදට වඩා බොහෝ සරලය .

එහෙත් එම සරල බව හා සැබැඳි නිවැරැදි බව නව තාක්ෂණයට වඩා බොහෝ සාර්ථක බව වාස්තු විද්‍යාවේදී පිළිගනියි. අප වාස්තු විද්‍යාව පිළිබද වැඩි විශ්වාසයක් තබන්නේ මේ අතීත උරුමයේ ශාස්ත්‍රය පදනම හා විද්‍යාත්මක පදනම අතර විශාල සහ සම්බන්ධතාවයක් අපට නොපෙනෙන දෘෂ්ටි පරාසයක් තුළ නිර්මාණය වන බැවිනි. එය අපගේ ජීවිතයට විශාල බලපෑමක් සිදු කරයි. නිවෙසක වාසනාව උදා කරන වාස්තු විද්‍යාත්මක අංගයන් අතුරින් මූලික පදනම බවට පත් ව‍න්නේ නිවැරැදි ලෙස මිනුම් ක්‍රම යොදා ගැනීමයි. අද අප ජීවත් වන්නේ කෘත්‍රිම බුද්ධිය සමග ගනුදෙනු කරන ලෝකයකය. එය ඉතා සංකීර්ණය. නමුත් එම තාක්ෂණ ලෝකයේ අපට අවබෝධ නොවන සංකීර්ණ ගැටලු රාශියක් පවතී.මෙට්ට්‍රික් ‍මිනුම් ක්‍රමයේ දී අප වර්තමානයේ භාවිත කරන මිනුම් ඒකකය බවට පත් වන්නේ මීටර්ය. ඊට පෙර භාවිත කරනු ලැබුවේ යාර, අඟල් සහ අඩි යන සම්මත මිනුම් ක්‍රමයයි.

නමුත් වාස්තු විද්‍යාවේ දී භාවිතා කරන ‍මිනුම් ක්‍රමය ඊට වඩා වෙනස්ය. අතීතයේ සිටම වාස්තු විද්‍යාවේ යොදා ගත් ක්‍රමය බවට පත් වූයේ වඩු රියනය. මෙලෙසින් වාස්තු විද්‍යාව සදහා වඩු රියන යොදා ගැනීම සිදු වූයේ වසර සිය දහස් ගණනකට පෙර සිටය. එය වාස්තු විද්‍යාවේ වැදගත් වූ අංගයක් ලෙසින් පිළිගනී. නිවෙසක දිග, පළල, උස මැනීමට අමතරව ‍නිවෙසක පාද බෙදීම හා නිවාස වර්ග කිරීම සදහා යොදා ගන්නා මිනුමි ක්‍රමයක් ලෙස මෙම වඩු රියන් ඉතා ප්‍රයෝජනවත්ය.

අතීතයේ පටන් යොදා ගන්නා මෙම මිනුම් ක්‍රමය පිළිබද විවිධ මත හා සම්මතයන් පවතී. සාමාන්‍ය සම්මතයේ පවතින වඩු රියන බවට සලකන්නේ අඟල් 18ක ප්‍රමාණයකි. නමුත් මෙලෙසින් පිළිගන්නා වඩු රියන අගල් 24 සි‍ට අඟල් 34 දක්වා වෙනස්කම් පවතින මත ගැටුම් පවතී. මීට අමතරව ගෙහෙමියාගේ අතේ වැලමිටේ සිට අතේ මැදඟිල්ල අග දක්වා දුර ප්‍රමාණය වඩු රියන ලෙසින් පිළිගන්නා සම්මතයක් ද නිර්මාණය වී පවතී.

සම්මතයක් ලෙසින් වැඩිහිටි පුද්ගලයෙකුගේ මැද ඇඟිලි පුරුකක් අගලක් පමණ ප්‍රමාණකි. යව ඇට 8ක ප්‍රමාණය ද අඟලකි.අඟල් 12ක් වියතකි. වියත් දෙකක ප්‍රමාණය වඩු රියනක් ලෙසින් පැරැණි වාස්තු ග්‍රන්ථයන්හි සදහන්ව තිබේ. මෙම ක්‍රමයට අඟල් 24කින් වඩු රියන නිර්මාණය වී ඇති බව සරල ලෙසින් පැහැදිලි වෙයි. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙක් වාස්තු විද්‍යාත්මක කටයුතු සඳහා යොදා ගන්නේ අඟල් 31 ලෙස පිළිගන්නා වඩු රියනය.මධ්‍යම ප්‍රමාණයේ වැඩිහිටි පුද්ගලයකුගේ අ‍තේ දිග අනුව ෂක් රියන්, ෂක් වියත්, සව් අඟලක් වඩු රියනක් ලෙසින් මධි මතය නම් වාස්තු විද්‍යා ග්‍රන්ථයේ සදහන්ව තිබේ.

උදාහරණයක් ලෙස වැඩිහිටි පුද්ගලයෙකුගේ දකුණේ වැලමිට සන්ධියේ සිට මැදඟිල්ල අග තෙක් දිග එක් වියතක් =අඟල් 19

පුරුක් 4ක දිග = අඟල් 08කි

=අඟල් 04 ½

=අඟල් 31 ½

මේ අනුව වැඩුණු පුද්ගලයෙකුගේ අතේ ප්‍රමාණය අනුව ‍වඩු රියන අඟල් 31 ½ ක් ලෙස පිළිගනියි. මෙය අඟල් 29,30,31 ආදී අගයන් යොදා ගන්නා අතර මෙය සම්මත ඒකකයක් ලෙස අඟල් 31 ලෙස බහුලව යොදා ගනු ලබයි. මෙලෙස මෙම සම්මත මිනුම් ඒකකය යොදා ගන්නේ නිවෙස් හිමියාගේ අතේ දිගට සැකසී ඇති පොදු භාවිතට පහසු ලෙසිනි. දැනට ඉදිකර ඇති විශාල නිවාස ප්‍රමාණයකට මෙම සම්මත මිනුම් ක්‍රමය යොදා ගෙන ඇති අතර එය සම්මතයක් බවට පත් වී තිබේ.

 

 

උපදෙස් -

ධර්මපාල සොන්දප්පෙරුම ආරච්චිගේ

සංහිඳ ජ්‍යොතිෂ හා වාස්තු