වර්ෂ 2024 ක්වූ November 18 වැනිදා Monday
කතිර මැහුම් රටා අතර හිනැහෙන නත්තල් සීයා
නත්තල උදා වන රාත්රියේදී මුළු ලෝකයේම පොඩි දරුවන් නත්තල් සීයා තෑගි අරන් එනවා කියලා අපේක්ෂාවෙන් මඟ බලාගෙන ඉන්නවා. බාල මහලු කොයි කාටත් නත්තල් සීයා අපූරු හිතවතෙකි. මේ නත්තල් සීයා සොඳුරු රටා මවන කතිර මැහුම් ඔස්සේ ගෙත්තම් කරවූවකි. මෙය ඔබේ ආදරණීය පුංචි දුව, පුතාට නත්තල වෙනුවෙන් තිළිණ කරන්නත් කදිමයි.
එසේ නම් මෙවර කතිර මැහුම් රටා ඔස්සේ නත්තලේ හිතවතා මසා ගනිමු.
මේ සඳහා අවශ්‍ය ද්‍රව්‍ය
අඟලක කොටු 10, 11 හෝ 14ක් ඇති සුදු පැහැති අයිඩා රෙදි කොටසක්
නොම්මර 24 හෝ 26 ට්‍රැපැස්ට්‍රි ඉඳිකටු
විවිධ වර්ණවල කැරලි නූල්
රාමුවක්
සාමාන්‍ය ඉදිකටුවක්
කතුරක්
නිර්මාණය කිරීම
මෙය සෙන්ටිමීටර් 16.51 X 20.68 ප්‍රමාණයේ නිර්මාණයකි. (මෙම ප්‍රමාණය කොටු 14 ඇති අයිඩා රෙද්ද සඳහාය) අඟලට කොටු 9 හෝ 10 භාවිත කරන්නේ නම් ඔබේ නිර්මාණයේ ප්‍රමාණය විශාල වේ. එමෙන්ම ඔබ ඒ සඳහා නූල් පොටවල් 3 හෝ 4 භාවිත කළ යුතුයි. එහෙත් අඟලක කොටු 14 සඳහා පොටවල් දෙක භාවිත කිරීම ප්රමාණවත්ය. එමෙන්ම රෙදි කපා ගැනීමේදී නිර්මාණය රාමු කර ගැනීමට අවශ්‍ය ලෙස ඉඩ තබා රෙදි කොටස කපාගන්න. ඒ සඳහා වටේට අඟල් 2ක් හෝ 3ක් තබා රෙදි කැබැල්ල කපාගන්න.
කොටු 10න් 10ට නූල් ඇඳ ගැනීමෙන් මැසීම පහසු වේ. එසේ නැතිනම් වෙෙළඳපොළෙහි ඇති තද පැහැති පෑන් වර්ගයක් භාවිත කර රෙද්දේ කොටු 10න් 10 ඇඳගන්න.
මැසීම ආරම්භ කිරීමේදී මෝස්තරයේ මැද හෝ කොනකින් ආරම්භ කළ හැකියි. දී ඇති සංකේතවලට අදාළ නූල් වර්ණය යොදාගෙන කතිර මැස්මෙන් මෝස්තරය මසාගන්න.
මෙම නිර්මාණයේ රේඛාවලින් හා කඩ ඉරිවලින් ඇති ඒවා අදාළ වර්ණ නූල් භාවිත කර ආපසු මැසීමෙන් මසාගන්න.
මෝස්තරයේ දක්වා ඇති භාග මැස්ම (Half stitch) ඡායා රූපයේ ඇති ආකාරයට අදාළ වර්ණවලින් හා පොටවල්වලින් මසාගන්න. දී ඇති සංකේත අනුගමනය කරමින් ක්වාටර් මැස්මෙන් (Quater stitch) ඡායා රූපයේ දැක්වෙන පරිදි මසාගන්න. දැන් ඉතිරි වී ඇති ඩොට් ප්‍රංශ ගැටවලින් හා පොටවල්වලින් මසාගන්න.
උපදෙස්
ප්‍රවීණ කතිර මැහුම් ශිල්පිනී
පූර්ණා කුලරත්න