පිය සෙනෙහසට කවි ගී ලියන්නට මේ හොඳම කාලයයි

ජනවාරි 16, 2019

“ගින්න වේගෙන් ආවා...... මට කරන්න කිසිම දෙයක් තිබුණේ නැහැ.... කල්පනා කරන්න වෙලාවක් තිබුණේ නැහැ..... මම එයාලව පහළට දැම්මා... පොඩි පුතා මගේ අතේ එල්ලුණා අනේ තාත්තා දාන්න එපා... දාන්න එපා කියලා කෑගැහුවා.... මොකද කරන්නේ.... පිච්චිලා මැරෙනවට වඩා අතක් පයක් කැඩිල හරි බේරෙයි කියලා හිතුණා..... “

ඒ දෙනෙතින් කඩා හැලුණේ පිය සෙනෙහසක උණුසුම් කඳුළු කැටය. ඔහු පවසන ඒ කතාව දෙස පසුගියදා මුළු රටම බලා සිටියේ දෑස් අයාගෙනය. අනුවේදනීය වූත් ත්‍රාසජනක වූත් එම දසුන් දුටුවන්ගේ හද කම්පා කරවන්නට විය.

අප මෙවැනි සිදුවීම් බොහෝ දැක තිබේ. එහෙත් ඒ සැබෑ සිදුවීම් නම් නොවේ.

ඒ බටහිර චිත්‍රපටයක හෝ හින්දි චිත්‍රපටයකය. ඒත් මේ නම් අපේ රටේ සිදු වූ සැබෑම සිද්ධියකි.

මෙම සිදුවීමේ පසුබිම් කතාව ඔබට මා අමුතුවෙන් අකුරු කළයුතු නොවේ.

මහනුවර, යටිනුවර වීදියේ පිහිටි මහල් හයකින් යුත් ව්‍යාපාරික ගොඩනැඟිල්ලක ඇතිවූ ගින්නෙන් ජීවිත පහක් බේරා ගැනීමට සමත් වූ බණ්ඩාරවෙල පදිංචි රාමරාජා සැබෑම වීරයෙකි. දරු සෙනෙහස උතුරා ගිය පියෙකි.

මෙම පසුබිම් සිදුවීම තුළ අපට පසක්කර දෙන වැදගත් පණිවුඩ කිහිපයකි. ඉන් පළමුවැන්න මිනිස්කම මුදලට ගත නොහැකි අගනා වස්තුවක් බව පසක් කිරීමය.

දෙවැන්න විපතක් වූ විට අප රටේ මිනිසුන් ජාති, ආගම්, කුල ගැන නොතකා හදවතින්ම උදවු උපකාර කරන ශ්‍රී ලාංකිකයන් බව නැවත වරක් ලොවට කියා දුන් පාඩමක් බවය. තෙවැන්න මෙවැනි සිදුවීමක් වනතෙක්ම අදාළ නිලධාරී හා අංශ කොහේ සිටියේ ද යන්න ගැන මතුවන ප්‍රශ්නයයි.

රාමරාජා දමිළ ජාතිකයෙකි. ඔහු රැකියාව කළේ මහනුවර ව්‍යාපාරික ස්ථානයකය.

ඔහු සහ පවුලේ සැම නවාතැන් ගෙන සිටි මෙම ගොඩනැගිල්ල ගිනිගන්නා බව දැනගත් රාමරාජා ක්‍රියාත්මක වූයේ යුද පිටියක දැවැන්ත සටනක් මෙහෙයවන්නකු ලෙසිනි.

ඒ මොහොතේ ඔහුගේ හදවත තුළ කෙතරම් දේ තෙරපෙන්නට ඇද් ද? පියකු ලෙස තම දරු තිදෙනා පලිස්සී මිය යන්නට දී බලා සිටිය හැකි ද?

තවකකු උදවුවට එනතෙක් කිසිවක් නොකර බලා සිටිය හැකි ද? ඒ මොහොතේ ඔහුගේ එකම ප්‍රයත්නය තම දරුවන්ගේ, බිරියගේ ජීවිත කෙසේ හෝ බේරාගැනීමයි. ඒ වෙනුවෙන් ඔහු තනිව දැරූ උත්සාහය කෙතරම් වටිනා ආදර්ශයක් ද?

රාමරාජා බණ්ඩාරවෙල සිට නුවර පදිංචියට පැමිණ මෙවන් මහල් නිවෙසක ජීවත්වන්නට ඇත්තේ තම දරුවන් පාසල් යවා ඇතිදැඩි කර පවුල් කුටුම්භය සවිකරගන්නටය.

එහෙත් දෛවය ඔහුට එයට ඉඩදුන්නේ නැත. දෛවයේ කුරිරුබව සරදමක් වී ඔවුනට එල්ල කළේ දරුණු ප්‍රහාරයකි.

දෛවයේ රුදුරු බවට පිය සෙනෙහස බිලිගන්නට නොහැකි විය.

එම ප්‍රහාරයට ඔහු මුහුණ දුන් ආකාරය සමස්ත පීතෘ භූමිකාවටම විශාල ආදර්ශයකි.

ඔහු ඉහළ මහලේ සිට උදවු ඉල්ලා කෑගසනා විට පහළ රැස්ව සිටි පිරිස “උඹ සිංහල ද? මුස්ලිම් ද? දෙමළ දැයි “ ඇසුවේ නැත.

ඔවුන් වහ වහා මේ ජීවිත බේරාගැනීමට ක්‍රියාත්මක විය. “ඔයා බය නැතුව දරුවන්ව පහළට දාන්න. අපි අල්ලගන්නම්” යැයි පහළ සිටි පිරිස් කෑගසා කීවේ හද කකියන සැබෑ මනුෂ්‍යත්වයේ උද්දීපනයෙනි.

මොහොතකුදු තම උත්සාහය අත්නොහළ රාමරාජා අවසානයේ තම බිරිය බේරාගන්නා තෙක්ම දැඩි වීරියෙන් ක්‍රියා කළේ මරුවා ඔහු පසුපස වෙඩි උණ්ඩයක් සේ ලුහුබඳිද්දීය.

සැබැවින්ම පියකුට කළ නොහැකි දෙයක් නැති තරම්ය.

මෙම සිදුවීම හමුවේ ඔබ ඉදිරියේ මම පැනයක් නගමි. මනුෂ්‍යයකු විපතක වැටී කෑගසන විට ඔහුට උදවු කරනු විනා ඔහුගේ ජාතිය ජන්මය සොයමින් සිටිය හැකිද? එසේ ක්‍රියාකරන ජාතීන් ලොව සිටිනවා විය හැකියි.

නමුත් අප රටේ කිසි කලෙක එසේ සිදු වූ බවක් නම් අප අසා නැත. විදේශිකයන් පවා අප රටට ගරු කරන්නේ මනුෂ්‍යත්වයෙන් පිරි, අනුන්ගේ දුකේදී සිත උණුවන සංවේදී, ආගන්තුක සත්කාර අතින් ඉහළම තලයක සිටිනා ජාතියක් සිටින රටක් ලෙසිනි.

2019/01/16 තරුණි බලන්න