අලුත් පැතුම් සමඟින් නව වසරට පාතබමු

ජනවාරි 2, 2019

2019..... අලුත් අවුරුද්දක් උදාවෙලා. නැවුම් බලාපොරොත්තු, අපේක්ෂාවන් පොදි බැඳගෙන නව වසරට පිළිපන් ඔබට ඒ සියලු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වන්නට ප්‍රථමයෙන්ම සුභාෂිංශණ එක්කරන්නෙමු.

ගෙවුණු වසරේ අතීත මතක පිළිබඳ පසු විපරමක් සමඟම ලැබූ නව වසරට සුබ ප්‍රවේශයක් තැබීම අද මෙම සටහනේ අරමුණයි. ඒ සඳහා ඔබට මිල මුදල් වියදමකින් තොරව කළහැකි කාරණා කිහිපයක් පෙළ ගස්වන්නට මම සිතුවෙමි.

නව වසරක් ලබන විට අප හැමටම මුලින්ම මතකයට එන්නේ අඳින අලුත් ඇඳුම් පැලඳුම් ගැනය. ඒ පිළිබඳ කාන්තාවන් තරමටම පුරුෂ පාර්ශවය ද සැලකිලිමත් වනු ඇත. ලස්සනට ඇඳ පැලඳ පි‍්‍රයමනාපව සිටීමට ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව කවුරුත් කැමැති බව අපි දනිමු. එය හොඳ පුරුද්දකි.

එහෙත් ඇඳුමෙන් පැලඳුමෙන් පමණක් නම් ඔබ මේ වසරේදීත් අලුත් වන්නේ ඉන් ඔබටවත් කාටවත,් ඵලක් වන්නේ නැත. ඔබ තුළ ආකල්පමය වෙනසක් සිදුවිය යුතුමය. එම ආකල්පමය වෙනස ඔබට.... සමාජයට යහපත් එකක් විය යුතුය. ඔබ බාහිරින් කෙතරම් අලංකාර වුවත්, ඔබේ අභ්‍යන්තරයේ සිතුම් පැතුම් කිළිටු නම් ඔබ ඉස්තරම්ම ඇඳුම් ඇන්දත්.... මිල අධිකම ආලේපන තැවරුවත් ඉන් බැබළීමක් නැත. අද සමාජයේ සුලබව දකින්නට ඇත්තේ මේ තත්ත්වයයි. නමුත් එය සුබවාදී තත්ත්වයක් නම් නොවේ.

අප කොතරම් බාහිරින් පොහොසතකු වුවත් අධ්‍යාත්මයෙන් පොහොසත් නොවේ නම් එවැනි පුද්ගලයන්ගෙන් වටිනාකමක් නැත. ඔබ බාහිරින් දිළින්ඳකු වුවත් හදවතින් පොහොසත් නම් ඔබට සමාජය තුළ මහත් පිළිගැනීමක්.... වටිනාකමක් හිමිය. සිතිවිලිවලින් ඔබ පොහොසත් නම් ඔබ අර්ථවත් පුද්ගලයෙකි. එය හරියට උගත්කම හා සමානය. උගත්කම කිසිවකුටත් සොරකම් කළ නොහැකිය.

ඔබ සිතන පතන ආකාරය තුළින් සමාජයට, සමීපතමයන්ට නැතහොත් අන් අයට ගෙන එන්නේ අයහපතක් නම් ඔබ කෙතරම් මිල මුදල් වත් පොහොසත්කමින් ආඩ්‍ය වූවත් ඔබට එලෝ මෙලෝ දෙලෝකයේම සැනසීමක් නැත. ඔබ ජීවත් වන්නේ අනෙකා අසහනයට, ශෝකයට පත්වන ආකාරයකින් නම් ඔබේ ජීවන විලාසය, සිතුම් පැතුම් වහා වහා වෙනස් කරගන්නට ඔබ උත්සාහ ගත යුතුමය.

ඔබ සමාජයට ආදරණීය පුද්ගලයකු වන්නට උත්සාහ ගන්න. නිවෙසේදී, කාර්යාලයේදී, මහමඟදී ඔබ අනෙකාට පි‍්‍රය චරිතයක් වන්නට උත්සාහ ගන්න. ඔබ නිසා අනෙකාට සැනසීම මිස අහිමිවීම සිදු නොවන්නට වග බලාගන්න. එවිට ඔබ සුන්දර මිනිසකු වේවි.

ඔබ නිසා කවුරුන් හෝ සිය දිවි නසා ගන්නේ ද, රිය අනතුරකට මුහුණ දෙන්නේ ද ජීවිතය කලකිරවා ගන්නේ ද එසේ නම් ඔබ වහ වහා ඔබේ ජීවන පිළිවෙත වෙනස් කර ගත යුතුමය. අප සෑම විටම ගෙවුණු අතීතයට වඩා යහපත් හෙට දවසක් උදාකර ගනු වස් මහන්සි ගත යුතුය.

ජීවිතයේ කිසි දෙයක් බලෙන් ලබා ගත නොහැකිය. තමන් කැමැති වූ පළියටම ලැබෙන්නේ ද නැත. තමන් සුදුසු යැයි කී පළියටම හිමිකම් කිව නොහැකිය. මෙවැනි බාල කුහක, කපටි කුජීත සිතිවිලි ඔබ සිත තුළත් තෙරපෙයි නම් ඔබ වෙනස් විය යුතුම කෙනෙකි.

ඔබ කෙනකුට ඇඟිල්ල දිගු කරන විට ඇඟිලි හතරක් එල්ලව ඇත්තේ තමා දෙසට බව අමතක නොකරන්න. ඔබ කෙනකුට අපහාස, චෝදනා කරන්නේ නම් නොවැරැදීම තමා වෙත ඒ නින්දා අපහාස ගලා එන බව නියතය. තමන්ට දෙයක් නොලැබෙන විට ලැබෙන කෙනාට ඊර්ෂ්‍යා කිරීමෙන් ලැබෙන දෙයක් නැත. අනෙකාට ඊර්ෂ්‍යා කිරීමෙන් සිදුවන්නේ තමන්ට අනර්ථයක් ම විනා යහපතක් නොවේ. සිත දූෂ්‍ය වූ විට රූපකාය අවලස්සන වෙයි. කෙසඟ රෝගී සිරුරක් ඇති වේ. ඔහු/ඇය වෙතින් ආකර්ෂණය පලා යයි. ඔහු/ඇය කෙතරම් දක්ෂයෙක් වුවත් සමාජයෙන් ප්‍රතික්ෂේප වීම වැළැක්විය නොහැක්කක්.

ජීවිතයට ඉලක්ක තිබිය යුතුය. එහෙත් ඒ ඉලක්ක තමාගේ ජයග්‍රහණයට විනා අනෙකාගේ විනාශයට නොවිය යුතුය. අප මේ සමාජයේ දකින්නේ බොහෝ දෙනෙක් ඉලක්ක සපුරා ගන්නට උත්සාහ දරනුයේ තව අයකුට අයහපතක් සිදු කිරීමෙන්ය. ජයග්‍රහණය කවදාවත් ඔබේ දෝතට බන්දේසියක තියා අප පිළිනොගන්නවන බව සත්තයි. ඒ සඳහා අපට ඕනෑකම, කැපවීම, උත්සාහය, නොපසුබට වීර්යය, නිහතමානීකම වගේම දැනුමත් උපරිමයෙන්ම තිබිය යුතුය. ජයග්‍රහණය යනු කෙනකු සතු දෙයක් සොරා ගැනීම කියල කවුරු හරි හිතනවා නම් එය මුළාවක්. කෙනකුට හිමි දෙයක් දරාගත නොහැකිව, ද්වේෂයකින් එය කෙසේ හෝ උදුරා ගන්නවා යන සිතිවිල්ලෙන් සැබෑ ජයග්‍රහණය, සතුට, උද්දාමය භුක්ති විඳිය නොහැකිය. සෑම ක්‍රියාවකටම වැදගත් වන්නේ චේතනාවයි. චේතනාව අයහපත් වන විට ලැබෙන ප්‍රතිඵලයත් යහපත් වන්නේ නැති බව මතක තබා ගන්න. ඊර්ෂ්‍යා කිරීමෙන් අන් සතු දේ බලහත්කාරයෙන් ලබා ගැනීමෙන් ඔබට නියම ලෙස සතුටු විය නොහැකියි. එවිට සිදු වන්නේ සමාජයේ ඔබ අපි‍්‍රයජනක පුද්ගලයකු ලෙස ප්‍රචලිත වීමයි.

විශේෂයෙන් කාන්තා ඔබ ඔබේ අභිමානය රඳවා ගැනීම කෙරෙහි නිරතුරුවම වෙහෙස වන්න. යම් යම් පටු අරමුණු හේතුවෙන් අභිමානය බාල්දු නොකරන්න.

තැන් තැන්වල, ඉහළ නිලධාරීන් අබියස, ලාභ, තනතුරු අපේක්ෂාවෙන් තමාගේ පෞරුෂය බාල්දු නොකරන්න. ඔබ එසේ කරන්නේ නම් එය කාන්තා පරපුරටම කරන අවමානයක්. මෙවැනි දේ ගැන ඔබ එතරම් නොසිතන්නට ඇත. එහෙත් මෙවැනි කාරණා තුළින් සිදුවන්නේ ඔබේ චරිතයට කැලලක්. කිළිටක් එකතු වීමයි.

ආදරය ගැන ඔබට සිතෙන්නේ කුමක් ද? අකුරු හතරක පුංචි වචනයක් වුණත් එය විශ්වයට බිහි වූ ආදරණීයම, අරුත්බරම වචනය කිව්වොත් ඔබත් එකඟ නොවී සිටින එකක් නැහැ. වැඩිහිටි සමහරු සිතන්නේ මේ වචනය තාරුණ්‍යයට පමණක් සීමා වී ඇති වචනයක්, හැඟීමක් බවයි.

එහෙත් එය නිවැරැදි වූවක් නොවේ. “ආදරය” යන මේ උත්තරීතර හැඟීම ඉපදෙන හැමෝම මියෙන තුරාම ළඟ රඳවා ගත යුතුම හැඟීමකි. ආදරයකින් තොරව අප කිසිවකුට මනුෂ්‍යයකු ලෙස ජීවත් විය නොහැකියි. බිලිඳු කිරිකැටියාට මව, පියා ආදරය දක්වන්නේ යම් සේ ද වියපත් වූ විට ද ඒ ආදරය එලෙසම අප හදවත්හි පුරවා ගත යුතුය.

පෙම්වතා, පෙම්වතියට, සැමියා, බිරියට, බිරිය සැමියාට, සහෝදරයා සහෝදරියට, මිතුරු, මිතුරියනට, ඥාතීන්ට, අසල්වැසියන්ට, සේව්‍ය සේවක, පාලකයා රටවැසියන්ට මේ ආදී ලෙස ප්‍රේමය විවිධ රූප, ස්වරූප ගනිමින් ජීවිතය හා බැඳී පවතී. ප්‍රේමයෙන් තොරව යමකුට සිටිය හැකිදැයි පවසන්නේ නම් ඔහු/ඇය රොබෝ කෙනෙකි. නැතිනම් යකඩ මැෂිමකි. හැඟීම් දැනීම් නැත්තෙකි.

ආදරයට බොහෝ දේ කරන්නට පුළුවන. හැබැයි ඒ බලෙන් ලබාගන්න හදන ආදරයකට නොවේ. හිතට දැනෙන, හැඟෙන ආදරයකට බොහෝ දේ කළ හැකියි. ජීවිතයක් ජීවත් කරවන්නටත්, ජීවිතයකට බලාපොරොත්තු ඇති කරන්නටත් ආදරයට ඇත්තේ පුදුම හැකියාවක්ය.

ආදරය කියන්නේ මෙලොව ඇති බලගතුම අධ්‍යාත්මික බන්ධනයයි. ඒවගේම සදාකාලික පරිත්‍යාගයකි. ආදරය කළ හිතකට වෛර කරන්නට බැරිය. කිපෙන්නට බැරිය. කොහේ කොතැනක සිටියත් ශාප කළ නොහැක. මරා දමන බවට සපථ කළ නොහැක. ආදරය කරන හිතකට ඊර්ෂ්‍යාව දැනෙන්නට බැරිය. ඊර්ෂ්‍යාවකින් පිරුණු හිතක ආදරය අහලකින්වත් තබන්නට බැරිය. ඔබ ඊර්ෂ්‍යාවෙන් හදවත පුරවා ගත්ත කෙනෙක් නම් ආදරය දැනෙන්නට කොහෙත්ම විදියක් නැත.

අප අවුරුදු සියයක් ජීවත්වන්නේ නැත. එසේ ජීවත් වූවත් දින ගණනනිං බැලුවෝතින් දින 37,000 ක් පමණය. වත්මනෙහි මනුෂ්‍ය ජීවිතයට උපරිම ආයු කාලය 60, 70 කි. 50 පැන්නුයේ නම් එයත් ජයග්‍රහණයකි. ඉදින් මේ ගෙවන කෙටි දින ගණනින් නින්දට පැය කොතරම් ප්‍රමාණයක් ගත වී ඇද්ද? එසේ බලන කල අප එකිනෙකා සමඟ ජීවිතය බෙදා හදා ගන්නට ඇත්තේ කෙතරම් සුළු කාලයක් ද? ඒ කාලය තුළ වෛරයෙන්, ක්‍රෝධයෙන්, ද්වේෂයෙන්, තර්ජන, ගර්ජන, ගහ බැණගැනීම්, කැපිලි කෙටිලි සමඟ ගත කරනවා නම් ඔබම සිතා බලන්න, ඔබ ජීවත් වූවාද යන්න. සිතන්න, ආදරය කළ හදවතින් කිසිසේත්ම කිපෙන්නට බැරි බව. ඔබේ ආදරවන්තිය ආදරවන්තයා සැමියා, බිරිය, මවුපියන්ට, දරුවන්ට වැඩිහිටියන්ට මෙකී නොකී සියලුම චරිතවලට සැබැවින්ම හදවතින්ම පිවිසෙන්න.

ඔබ වගකීම් සහගත වන්න. ඔබේ සමීපතමයන්ට හොඳින් ඇහුම්කන් දෙන්න. අගය කරන්න. අවශ්‍යතා පිරිමසන්න. ඔහුට/ඇයට ආකර්ෂණය වන පරිදි ජීවත් වන්න. ඔහුගේ/ ඇයගේ පෞද්ගලිකත්වයට ඉඩ දෙන්න. ගරු කරන්න, විශ්වාසවන්ත වෙන්න. සබඳතා සදාකාලික නොවන බව සැබෑය. එහෙත් ඔබේ සමීපතමයන්ට වෙන්වෙන බවම හෝ අත්හරින බව දැනෙන්නට ඉඩ නොතබන්න.

එවිට ඔබට ආදරය සමඟ ජීවත් විය හැකිය. ආදරයෙන් සිටින විට ඔබ ජීවත් වන බව ඔබටම දැනේවි. එනිසා වෙන කවරදාකටවත් වඩා ඔබ මේ ලැබූ නව වසරේ තමන්ගේ හිත ආදරයෙන් පුරවා ගන්න මහන්සි ගන්න. එවිට ඔබට හදවතින්ම සතුටු විය හැකියි. ඒ සතුට අනෙකාට දැනෙනු ඇත. එය ඔබේ ජීවන ගමනට ආශීර්වාදයක් වනු ඇත.