දුප්පත් ජනතාවට ඔබේ සේවය සලසන්නට ප්‍රමාද වන්න එපා

ඔක්තෝබර් 3, 2022

මාතලේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්

තේජානි තිලකරත්න

 

එදා මෙන් නොව අද රාජ්‍ය අංශයේ මෙන්ම පෞද්ගලික අංශයේ ද උසස් තනතුරු හොබවමින් ඉදිරියෙන්ම කාන්තාව හිඳී. රාජකාරිය අප්‍රමාණ කැපවීමකින් යුතුව ඉටු කරමින් පරිපාලන සේවයේ ඉදිරියෙන් ම වැජඹෙන ඇගේ සේවය සමස්ත ලංකාවටමයි. ඒ නිසාම අපි ඇගේ සේවය අගයන්නට පසුබට නොවන්නෙමු.

 

මාතලේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න මහත්මිය සමඟයි අද අපේ කතාබහ.

ඇය ප්‍රථම උපාධිය අවසන් කොට පරිපාලන සේවයට බැඳෙන්නට සිටින තරුණ තරුණියන්ට බොහොමයක් ආදර්ශ සපයන්නීය.

 

අධ්‍යාපනයේ විවිධ කඩඉම් පසු කරමින් රාජ්‍ය අංශයේ ඉහළම ශ්‍රේණියේ රැකියාවක් සඳහා සුදුසුකම් සපුරා ගත්තේ කොහොමද?

මගේ ගම මාතලේ. හැබැයි ඉගෙනීම කළේ මහනුවර. මගේ අප්පච්චි මාණ්ඩලික නිලධාරියෙක්. අම්මා ගුරු වෘත්තියේ හිටියේ. මාතලේ සහ මහනුවර පාසල් 3ක ඉගෙනුම ලැබුවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ ප්‍රථම උපාධිය ලබන්නේ දෙවැනි පංතියේ සාමාර්ථ්‍යයක් ලබමින්. පශ්චාද් උපාධිය කැලණිය විශ්වවිද්‍යාලයෙන් ලබන්නේ සමාජ විද්‍යාව පිළිබඳ. ඊට අමතරව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි ඩිප්ලෝමාවක් කරන්නේ කළමනාකරණය පිළිබඳව.

ඇත්තටම මම මගේ රාජකාරී ජීවිතය අරඹන්නේ ගුරු වෘත්තියෙන්. පල්ලේපොළ වීරකැප්පෙටිපොළ මධ්‍ය මහා විද්‍යාලයේ වසර දෙකක් සේවය කරන්නේ ඒ අනුව. ගුරු වෘත්තියෙන් නිදහස් වෙලා පරිපාලන සේවයේ විභාගය ලියා සමත් වී තමයි මේ දක්වා පැමිණි ගමන එන්නේ.

 

ඔබේ පළමු පත්වීම

වසරක පුහුණුවකින් පසු මට ලැබෙන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ දුෂ්කරම ප්‍රාදේශීය කොට්ඨාසයක් වන ලග්ගල පල්ලේගම. එහි සහකාර ප්‍රාදේශීය ලේකම්වරියක ලෙස වසර දෙකහමාරක් සේවය කළා.

ඉන් පස්සේ මාසයක කාලයක් රාජ්‍ය මුදල් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරියක ලෙස සේවය කරනවා. මහජනතාව සමඟ සේවය කරලා ලබන තෘප්තිය එතැනදී මට කොහෙත්ම ලැබුණේ නැහැ. ෆයිල් ගොඩකට හිරවීම ගැන තිබුණේ කනගාටුවක්. මට ශිෂ්‍යත්ව දෙන්නම්, සියලු වරප්‍රසාද සලසන්නම්, මේ ආදි නොයෙකුත් පහසුකම් සලසා දෙන්නට උත්සාහ කළත් මගේ යටිහිත කීවෙම මහජනතාව ළඟට ම යන්න කියලා.

එතැනින් ඉවත් වෙලා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට ගොස් මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙසට පැමිණියා. එතැන වසර හයක කාලයක් සේවය කළා. 2004 අවසානයේ මාතලේ සහකාර දිස්ත්‍රික් ලේකම් තනතුරට පත් වුණා. ඉන්පස්සේ මාතලේ අතිරේක දිස්ත්‍රික් ලේකම් වුණා. 2008 සිට 2016 වෙනකම් හිටියා. 2013 දී විශේෂ ශ්‍රේණියට සුදුසුකම් ලබලයි හිටියේ. ඉන් අනතුරුව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස 2019 වෙනකම් කටයුතු කළා. උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් ලෙසත් පළාත් රාජ්‍ය කොමිෂන් සභාවේ ලේකම් ලෙසත් කටයුතු කළා. 2021 දෙසැම්බර් 22 වැනි දා සිට මාතලේ දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම්වරිය ලෙස පත් වූවා.

 

මතකාවර්ජනයක යෙදෙද්දී ගෙවී ගිය කාලය පිළිබඳ ඔබට මොකද හිතෙන්නේ?

පළාත් රාජ්‍ය සේවයේ , අමාත්‍යාංශ සේවයේ, ප්‍රාදේශීය පාලනයේ අත්දැකීම් තියෙනවා. වැඩිම අත්දැකීම් තියෙන්නේ දිස්ත්‍රික් පාලනයේ.

මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් ලෙස ඉඳිද්දි, මැතිවරණ කාලෙදි වැඩිම නිලධාරීන් පිරිසක් හඳුනා ගන්න ලැබුණා. මහනුවර දිස්ත්‍රික්කයේ ආසන 13ක් තියෙනවා. මේ කාලේ බොහෝ අත්දැකීම් ලැබුවා. ලග්ගල කටයුතු කළ කාලය හරිම දුෂ්කරයි. නමුත් පුදුමාකාර තෘප්තියක් ලැබුවා. වරෙකදී මහා දැව ජාවාරමක් අල්ලා ගන්න ලැබුණා. අභියෝග රැසක් මැද්දේ කටයුතු කළා. ඕනෑම කැලෑවක ඇවිදගෙන යන නිසා ජාවාරම්කරුවන්ගේ බලපෑම් තිබුණා. තර්ජනය කොට ලියුම්, දුරකතන ඇමතුම් ලැබුණා.

රාජ්‍ය සේවයේ ඉඳිද්දී ලේකම්වරයකුගෙන් ප්‍රශංසනීය ලිපියක් ලැබීම ඉතාම වටිනා දෙයක්. මුල්ම ප්‍රශංසනීය ලිපිය ලැබුණේ ලග්ගල කටයුතු කරද්දී. අතිරේක දිස්ත්‍රික් ලේකම් ලෙස කටයුතු කරද්දි දෙවැනි ප්‍රශංසනීය ලිපිය ලැබෙනවා. වාරිමාර්ග

අමාත්‍යාංශයේ ඉඳිද්දි තෙවැනි ප්‍රශංසනීය ලිපිය ලැබෙනවා.

 

සියුමැලි කාන්තා දෑතට ඔය තරම් වගකීම්, ඇත්තෙන්ම දරාගත හැකිද?

බැරි නැහැ. අවංක වීමයි වැදගත්. රාජකාරියට උපරිම කැපවීම කළොත් කිසිම කෙනකුගෙන් ආපස්සට චෝදනාවන් එල්ලවන්නේ නැහැ. අනවසර දැව ජාවාරම්වලින් තමයි ගැලවීමක් නැත්තේ. මේ සඳහා පරීක්ෂණ කරමින් අඛණ්ඩවම ඒ කාර්යයේ නිරත වෙන්න ඕනෙ. හිඩැසක් තිබුණොත් එතැනින් පැන ගන්නවාමයි. දැව ජාවාරම් ගැන පරීක්ෂණ කරද්දී කැලේ ඇවිදින්න ඕනෙ. අත, පය, මුහුණ පවා හම ගිය අවස්ථා තිබෙනවා.

 

අමතර ඉන්ධන, නිවාඩු දිනවල ගෙවීම්, මේ ආදී කිසිම දෙයක් මම අරගෙන නැහැ.

මාතලේ දිස්ත්‍රික්කයේ 525000ක් පමණ ජනගහනයක් ඉන්නවා. මින් සියයට 83 -84ක්ම ඉන්නේ ග්‍රාමීය ජනතාව. මෙහේ බී ලූනු වගාව හොඳින්ම කෙරෙනවා. එය තව තවත් දියුණු කිරීම මගේ බලාපොරොත්තුවක්. ක්ෂේත්‍ර නිලධාරින්ගේ සහාය ගෙන, ගැටලු හඳුනාගෙන දිස්ත්‍රික්කයේ සියලු දෙනාගේම බඩගින්න නිවා ගැනීම ඔවුන්ගේ ජීවිත දියුණුවට පත් කිරීම වෙනුවෙන් ඇප කැප වෙනවා. ග්‍රාමීය ආර්ථික පුනර්ජීවන කමිටුව මා සමඟම සිටිනවා.

 

රාජ්‍ය අංශයට එක් වීමට, අපේක්ෂා දල්වා සිටින තරුණ දියණිවරුන්ට ඔබ දෙන පණිවුඩය කුමක්ද?

ජීවිතය, රැකියාව පහසුවෙන් සරලව ගෙවා දමන්න හිතන්න එපා. පහසු සේවා ස්ථානයක රැඳෙමින් සුදුසුකම් සපුරා ගන්නයි බොහෝදෙනා හිතන්නේ. ක්ෂේත්‍රයේ රැඳෙන්න. මහජනතාව සමඟ ඉන්න. බොහෝ අත්දැකීම් ලබාවි. විශ්‍රාම ගිය දවසක අහිංසක දුප්පත් මිනිස්සුන්ට යමක් කළා නේද කියලා අහිංසක සතුටක් ලබන්න පුළුවන් වේවි.

 

ඔබතුමියගේ පෞද්ගලික ජීවිතය පිළිබඳත් යමක් කියමු

මගේ සැමියා එච්. එම්. කේ. බණ්ඩාර දැන් විශ්‍රාමිකයි. ඔහු සේවය කළේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ. අපි දෙදෙනාම රැකියාව උපරිමයෙන් ම කරන්න ඇප කැප වුණා. අපි පදිංචිව ඉන්නේ මාතලේ.

නිදහස් අධ්‍යාපනයේ උපරිම ඵල නෙළා ගෙන අභිමානවත් කාන්තාවක් ලෙස රටට සේවයක් කරන්න ලැබීම මේ ජීවිතයේ මා ලද එකම සතුටයි.