ආයතනයක් සාර්ථක වෙන්න නම් නිවැරැදි මූල්‍ය විගණනය වැදගත්

අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක අනූෂා ප්‍රියදර්ශනී
නොවැම්බර් 7, 2022

 

ඕනෑම ආයතනයක් ක්‍රමවත්ව පවත්වාගෙන යන්නට නම් නිසි විගණනයක් තිබිය යුතුමයි. එසේ නොවුණහොත් විවිධාකාරයේ ගැටලු පැන නඟින අතර, ඒ හරහා ආයතනයේ බිඳ වැටීමක් මිස කිසිදු දියුණුවක් හෝ ඵලදායි සේවාවක් බලාපොරොත්තු විය නොහැකිය. එබැවින් විගණන අංශය යනු ආයතනයක මූල්‍ය පාලනයෙහි වැදගත් කාර්යභාරයක් ඉටු කරලන අංශයකි.

 

ඒ නිසාම මෙවර 'රාජ්‍ය සේවයේ කතුන් අගයමු' විශේෂාංගය වෙත අප කැඳවාගෙන එන්නේ ශ්‍රී ලංකා ගණකාධිකාරි සේවය ඔස්සේ තම දැනුම, හැකියාව ඔබට ලබාදෙන කාන්තාවකි. විශේෂයෙන්ම අපේ රටේ අනාගත පරපුර වූ සිසු දරුවන්ගේ පෙළ පොත් නිසිකලට වේලාවට මුද්‍රණය කරන්නට, බෙදා හරින්නට වෙහෙසෙන්නියකි. අධ්‍යාපන අමාත්‍යායංශයේ, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණන තනතුර හොබවන්නී ඇයයි.

 

මෙරට කීර්තිමත් සේවාවක් වූ ශ්‍රී ලංකා ගණකාධිකරණ සේවයේ ප්‍රධාන අභ්‍යන්තර විගණකවරියක වූ අනූෂා කුමාරි ප්‍රියදර්ශනී නම් වූ ඈ සමඟමයි මේ සුහද පිළිසඳර.

 

හොරණ, කුළුපන, පොකුණුවිට උපන් අනූෂා දියණියන් තිදෙනකුගෙන් සමන්විත පවුලක වැඩිමහල් දියණියයි. ඇය සිය ප්‍රාථමික අධ්‍යාපනය ආරම්භ කරන්නේ හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයෙනි. (වර්තමානයේ තක්ෂිලා මහ විදුහල)

 

පහ වසර ශිෂ්‍යත්වය සමත් වන ඔබ පුංචි කාලේ ඉඳන් දකින හීනයකට පණ පොවන්න ඕනේ නිසාම කොළඹ පාසලකට එනවා.

"ඔව්. මම හය වසරේදී මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකාවට ඇතුළු වුණා. වාණිජ අංශයෙන් පාසලේ හොඳම ප්‍රතිඵල ලබාගෙන තමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට ගියේ. අනතුරුව ව්‍යාපාර පරිපාලන විශේෂ උපාධිය දෙවැනි පෙළ පහළ පන්තිය සාමාර්ථ්‍යයක් සහිතව සමත් වූ මම පසුව කැලණිය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබඳ පශ්චාද් උපාධියක් හිමි කර ගත්තා."

 

ඔබේ පළමු රැකියාව වෙන්නෙ පුද්ගලික අංශයේ රැකියාවක්.

"විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට පෙර කෙටි කාලයක් හොරණ බොඩිලයින් ආයතනයේ නිෂ්පාදන සුපරීක්ෂකවරියක් විදියට වැඩ කළා. විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන්ව කළමනාකරණ සහකාර තරග විභාගයෙන් සමත් වෙලා ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහකාරවරියක් ලෙස වසර කිහිපයක් සේවය කළා."

 

ගණකාධිකාරිවරියක් වන්නට පුංචි කාලේ ඉඳන් මවපු හීනය අමතක කළා ද?

"අපොයි නෑ. 2002 වසරේ ජාතික විගණන දෙපාර්තමේන්තුවෙන් පැවැත් වූ විගණන පරීක්ෂක විභාගය සහ රජයේ ගණකාධිකාරි විභාගය යන දෙකම සමත් වුණු මම රජයේ ගණකාධිකාරි රැකියාව භාර අරගෙන හීනය සැබෑ කරගත්තා."

 

පුටුවකට සීමා නොවී, ක්ෂේත්‍රයේ ඇවිද යමින් සරණක් ඇවැසි අය තෝරා බේරා ඔවුනට සවියක් වන්නට ඔබට ඒ රැකියාවේදී හැකියාව ලැබුණා.

"ඇත්තටම ඔව්. මම මුලින් බදුරලිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ කළා. අනතුරුව බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ආවා. ගංවතුර, නාය යෑම් නිරතුරුවම තියෙන පැත්තක්. ඒ වාගේම තමයි අඩු ආදායම්ලාභීන්. ඉතින් එයාලගේ ජීවිත යහපත් කරන්න සංවර්ධන කටයුතු බොහොමයක් කළා. ඒ නිසා ගම්වල ඇවිදගෙන ගිහින් මේ කටයුතු සොයා බලා වැඩ කළා."

 

ඉන්පසුව ජනතා වතු කළමනාකරණ සහ සංවර්ධන අමාත්‍යාංශය, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදියෙ වැඩ කටයුතු කළ ඔබ රෝහල් සේවයටත් එකතු වුණා.

"හොරණ මූලික රෝහලේ මුල්ම ගණකාධිකාරිනිය මමයි. මා එහි යනවිට ගිණුම් අංශයක් තිබුණේ නෑ. තව දෙදෙනකු සමඟ ගිණුම් අංශය පටන් ගත්තු මට වසර හතක් වැනි කාලයක් තුළ රෝහලේ දියුණුවට වාගේම, රෝගීන්ට සහනයක් සලසන සුබසාධක කටයුතු බොහොමයකට දායක වෙන්න ලැබුණා."

 

වර්තමාන ඔබේ රැකියාවේ ස්වභාවය ගැනත් කතා කරමු.

"අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විදිහට කටයුතු කිරීමේ දී අපි මූලික අවධානය යොමු කරන්නේ මේ රටේ දරුවන්ට කලට වේලාවට පෙළ පොත් ටික ලබා දීමටයි. ඒවා නිසි ලෙස මුද්‍රණය කිරීම, ගබඩා කිරීම, බෙදා හැරීම පමණක් නොව දරුවන් වෙත නිසිලෙස ලැබෙනවා ද යන්න පිළිබඳත් සැලකිලිමත් වෙනවා.

ඊට අමතරව අතිරේක කියවීම් පොත්, ඉගෙනුම් ආධාරක උපකරණ පිළිබඳ හා අපේ ආයතනය යටතේ ඇති පොත් අලෙවිසල් සහ ගබඩාවල විගණන කටයුතු සොයා බලනවා."

 

අවුරුදු 22ක සේවා කාලයට ලැබූ අත්දැකීම් බොහොමයි නේද?

"ඔව්. ආරක්ෂක අංශයේ හැර සෑම ක්ෂේත්‍රයකම කටයුතු ආවරණය කරලා තියෙනවා. ඒ නිසා විශ්‍රාම යන්න කලින් ඒ අත්දැකීමත් ලබාගන්න ආසාවෙන් ඉන්නවා. මේ දක්වා හැමෝම එක්ක හරිම සහයෝගයෙන් කටයුතු කළා. ඉදිරියටත් ඒ විදිහට ඵලදායීව මගේ සේවය සපයන්න සූදානම්."

 

ඔබේ පුංචි පවුල ගැනත් විස්තර කියමු

"මගේ මහත්තයා සංජීව ද සිල්වා. තක්සේරු දෙපාර්තමේන්තුවේ රැකියාව කරනවා. ඔහු මගේ විශ්වවිද්‍යාල මිතුරෙක්. ලොකු පුතා ටිතිර පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබනවා. චූටි පුතා දුලින කොළඹ ආනන්ද විද්‍යාලයේ පහ වසරේ ඉගෙන ගන්නවා."