කණාටු සුළඟේ දුහුළු මල

නීටා ප්‍රනාන්දු
පෙබරවාරි 17, 2025

විජය ධර්මශ්‍රී අධ්‍යක්ෂණය කළ ‘දුහුළු මලක්’ චිත්‍රපටයේ නිලූපා 70 දශකයේ ජනප්‍රිය සිනමාව තුළ බෙහෙවින් සාකච්ඡාවට ලක්වූ ජනප්‍රියවූ චරිතයකි. විවාහක ස්ත්‍රියක වූ නිලූපා තම සාමකාමී කුටුම්බය රැක ගන්නා අතරම ස්වකීය තාරුණ්‍යය විසින් ඉල්ලා සිටින සමාජ ජීවිතය‍, ප්‍රේමය සහ අනුරාගය අත්විඳීන්නට යෑම තුළ උද්ගත වුණු මානසික අර්බුදය ‘දුහුළු මලක් ‘ සඳහා විෂය වී තිබිණි.

 

එම අභියෝගාත්මක චරිතයට පණ පොවනු ලැබුවේ අපේ ජ්‍යෙෂ්ඨතම රංගන ශිල්පිනියක වන නීටා ප්‍රනාන්දුය.

 

නිලූපාගේ දයාබර සැමියා (සුරේන්) හුදෙක් කාර්යාලයේ ජීවිතය තුළ පමණක් සිරවුණු සන්සුන් නිහඬ ජීවිතයක් ගත කරන පුද්ගලයකු වීම නිසාම ඔහුට තම බිරියගේ දිදුලන බහුවිධ ආසාවන් තේරුම්ගත නොහැකි විය. නිලුපා තරුණයකු සමඟ ප්‍රේමයකට පැටලෙන්නේ ඇගේ යටි සිත විසින් ඉල්ලා සිටි සමාජ ජීවිතය සහ අනුරාගය එමඟින් සාක්ෂාත් කරගැනීමේ අපේක්ෂාව පෙරදැරි කොටගෙනය.

 

ඇය සිය අලුත් පෙම්වතාට ප්‍රේම කරන අතරම සුපරුදු කුටුම්බය ද රැක ගන්නට උත්සාහ කළාය. එසේ වුවද අලුත් පෙම්වතාගේ නැවුම් ඇසුර තුළ ඇයට ස්වකීය කුටුම්බයේ සීමාවන් තේරුම්ගත නොහැකි විය.

 

ස්වභාවයෙන්ම මෙබඳු ප්‍රශ්නයකදී විවාහක ස්ත්‍රියක ගොදුරු විය හැකි උග්‍ර මානසික ගැටුමකට මුහුණදෙන්නට නිලූපාට සිදු වෙයි. ඇගේ යථෝක්ත භූමිකාව සංකීර්ණ බැවින් එකී සංකීර්ණතා වටහාගෙන චරිතයට පිවිසෙන්නට නීටා ප්‍රනාන්දුට සිදු වෙයි. ඒ අනුව තම සැමියාගේ ආදරය හා කරුණාව ඉදිරියේ . යහපත් බිරියක ලෙසත්, තරුණ පෙම්වතාගේ උතුරා හැලෙන අනුරාගී ප්‍රේමයට අනුගත වන හැඟීම්බර පෙම්වතියක ලෙසත් ද්විත්ව චරිත නිරූපණයක යෙදෙන්නට නීටා ප්‍රනාන්දුට සිදු විය. මේ භූමිකා දෙකම

සාර්ථකව ජය ගන්නට ඇයට හැකිවන්නේ එකී චරිත ස්වභාවයන් දෙකට සුවිශේෂ වූ බාහිර සහ අභ්‍යන්තර මනෝභාවයන් සියුම්ව වටහා ගනිමින් අව්‍යාජ ලෙසත්, නිදහස් ලෙසත් හෘදයාංගම ලෙසත් එම චරිතය තුළ කිමිදෙන්නට සමත් වූ බැවිනි.

 

‘දුහුළු මලක්’ චිත්‍රපටයේ එන ගීත දෙක එහි අන්තර්ගත පුවත සමඟ අවියෝජනීයව බැඳුණකි. නිලූපා

සිය පෙම්වතා සමඟ ප්‍රේමයෙන් බැඳී සිටියදී ගැයෙන අතිශය චමත්කාරජනක වූ මේ ගීතයේ පද විමසන්න

 

බොඳ මීදුම් කඳුරැල්ලේ

සුරංගනා රජ දහනේ

ඔබේ සිනා කඳුළු බිඳක්

හෙටත් වාසනා..... හෙටත් වාසනාවන්

සිහින නදී රළ රැල්ලේ

පැතුම් රුවන් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රා ගී

මටත් වාසනා ....මටත් වාසනාවන්

සිතක තැවුල් සංසිඳිලා

මිටියාවත මල් ඉසිලා

මල් වරුසා සුවඳ සමය

මටත් වාසනා.... මටත් වාසනාවන්...

රෑසියන්නේ නොනිමි නාද

සැවුල් කොවුල් විහඟ ගීත

අපට ඇරැණු හුදකලාව

මටත් වාසනා හෙටත් වාසනාවන්

සිහින නදී රළ රැල්ලේ

පැතුම් රුවන් රන් ඔරුවේ

ඔබේ නිමල නිද්‍රා ගී‍

මටත් වාසනා මටත් වාසනාවන්

මාල හතක් පලඳන්නට

හීන හතක් එළිවන්නට

දොළොස්මහේ පහන් එළී

මටත් වාසනා හෙටත් වාසනාවන්

 

එසේ දෙදෙනාගේ පැතුම් සිහින බොඳ කරමින් ඇගේ කුටුම්බයේ ගිනි ඇවිළෙන්නට වූවිට ගැයෙන මේ ගීයේ පද විමසන්න.

රන් කෙන්දෙන් බැඳ

අතැඟිලි එක් කළ ආදරයයි......

පෙම් රැහැනින් බැඳ

සිතුම් වසඟ කළ ආදරයයි.......

කිරිල්ලියක සේ දුර පියාසලාලා

අත්තටු රිදුණා පමණයි

දෑත විදාහල දෑත මගේ

ඔබටත් ඔහුටත් උරුමයි

හිරු සඳු එකවර දෙපස නැගේ

කළුවර ඇයි විජිතයම මගේ

කණාටු සුළඟේ දුහුල් මලකි අද

වල්මත්වී පාවෙන්නේ

ඔබගෙන් දෝ ඔහුගෙන්දෝ

මා හෙට දින සමුගන්නේ...

චිත්‍රපටය අවසානයේ එන එම ගීතය, නිලූපා මුහුණදුන් මානසික ගැටුම දෙස සුචරිතවාදී දෘෂ්ටියකින් තොරව උපේක්ෂාසහගත ලෙසත් අර්ථාන්විතවත් දකින්නට අධ්‍යක්ෂවරයා යොදා ගත් කදිම අවස්ථාවකි. එසේම එය අසම්මත ප්‍රේමයේ සදාතනික

බව ද පිළිබිඹු කිරීමකි. එයම නිලූපා දෙස සානුකම්පිත බැලීමක් හෙළීමට ප්‍රේක්ෂකයා යොමු කිරීමකි. එය ‘අනේ ඒ පුවත සිදු විණි එසේ... නොදනිමි කාගේ දොසා..’ යනුවෙන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ‘මනමේ’ නාට්‍යය අවසානයේ යෙදූ ගීතය සිහිපත් කරවීමකි.

කෙසේ වෙතත් සම්මතය අනුව නිලුපාට සමුගන්නට සිදු වූයේ සිය පෙම්වතාගෙනි.

 

‘දුහුළු මලක් ‘චිත්‍රපටයේ නිලූපා මුහුණදෙන මානසික ගැටුම මතුපිටින් වටහා ගන්නා අයකුට ඇය තම සැමියාට ද්‍රෝහී වූ ගැහැනියක ලෙස දිස්විය හැකි වුවද නිලූපා මුහුණදුන් මානසික අර්බුදය සියුම් ලෙස විනිවිද දකින්නට හැකි ප්‍රේක්ෂකයා ඇය ලේ, මස් ඇති

ගැහැනියක සේ දකියි. එහෙත් ‘දුහුළු මලක්’ චිත්‍රපටයේ නීටා ප්‍රනාන්දු නිලුපාගේ ආකර්ෂණීය චරිත නිරූපණය ප්‍රේක්ෂකයා ඇද බැඳ තබා ගන්නට සමත් වූයේන් ඇයට එරෙහිව ගල් මුල් එසැවුණේ එවකට සුචරිතවාදී දෘෂ්ටියකින් ඒ දෙස බැලූ ඇතැම්

විචාරකයන්ගෙන් පමණි. මේ චිත්‍රපටය ප්‍රචාරණය සඳහා යොදාගත් ‘එක රැජනකට ඔටුනු දෙකක්’ යන පාඨය ද එදා ඒ විචාරකයන්ගේ දැඩි විරෝධයට ලක්වීය. ඒ විචාරක විරෝධය කෙසේ වෙතත් නිලූපා ‘පාපතර ‘ ගැහැනියක ලෙස දකින්නට හෝ එබඳු හැඟීමක්

ප්‍රේක්ෂකයා තුළ ඇති නොවන්නට හෝ වගබලා ගනිමින් තම සිනමා කෘතිය මෙහෙයවා ගන්නට අධ්‍යක්ෂ විජය ධර්මශ්‍රී සමත් විය.