දෙතැනක ඉන්නවට වඩා අපි එකට ඉන්න එක වටිනවා

ඔක්තෝබර් 30, 2019

සම්මානනීය රංගන ශිල්පිනී කාංචනා මෙන්ඩිස්

කාංචනා මෙන්ඩිස් කියන්නේ පුංචි තිරයේදී මෙන්ම රිදී තිරයේදීත් රංගනයෙන් එක සේ දස්කම් පෑ විශිෂ්ට රංගන ශිල්පිනියක්. ඇය අපේ පුංචි තිරයේ අතිශය කාර්යබහුලව සිටි යුගයක් තිබුණා. එකල ඇය ටෙලි තිරයට නැතුවම බැරි චරිතයක්.

නමුත් දැන් ඇය පදිංචිව සිටින්නේ එංගලන්තයේයි. විවාහයෙන් පසුව රංගන දිවියෙන් ඈත්වී සිටින කාංචනා අද තිදරු මවකි. එංගලන්තයේ ලන්ඩන් නුවර ගෙවෙන ඇගේ සොඳුරු කැදැල්ලෙහි කතාව වයිබර් තාක්ෂණය ඔස්සේ මෙලෙස ඇය තරුණීට පැවසුවා.

කොහොමද කාංචනා.

හොඳින් ඉන්නවා.

කොහොමද ලන්ඩන්වල ගෙවෙන ජීවිතය...

වරදක් නැහැ. ලංකාවට වඩා ගොඩක් වෙනස්. ලංකාවේ වගේ නෙමෙයි සියලු දේ තනියම කරගෙන ස්වාධීනව නැගී සිටිය යුතුයි. ලංකාවේ ඉද්දි මගේ සියලු වැඩ කළේ අක්කලා තුන්දෙනයි, අම්මයි. එහෙත් ලන්ඩන්වල කවුරුත් අපිට උදව්වට නැහැ. මෙහෙ ඕනෑම කෙනකුට අසීමිතව නිදහස තියෙනවා. පවුල් බැඳීම් නැති නිසා හැමෝම තම තමන්ගේ වැඩපල කරගෙන ස්වාධීනව ජීවත් වෙනවා. මුල් කාලයේ නම් මට මෙය හරිම නීරස වුණා. නමුත් මමත්, දරුවනුත් දැන් ඒ විදිහට ජීවත්වෙන්න පුරුදුවෙලා.

කාංචනා ලංකාවෙන් යන්න තීරණේ කළේ ඇයි?

විවාහ වුණාට පස්සේ, දරුවෝ ලැබුණට පස්සේ මගේ වගකීම් තියෙනවා දරුවෝ වෙනුවෙන් ඉෂ්ට කරන්න. සැමියා අවුරුදු ගණනාවක සිටයි ලන්ඩන්වල පදිංචි වෙලා හිටියේ. ඒ නිසයි දරුවොත් අරගෙන මාත් ලන්ඩන් යන්න හිතුවේ. දෙතැනක ඉන්නවට වඩා අපි හැමෝම එකට ඉන්න එක වටිනවා. දරුවෝ වෙනුවෙන් තමයි රටින් යන තීරණය ගත්තේ.

ඒ තීරණය සැමියාගේ තීරණයක්ද? නැත්නම් ඔබේ තීරණයක් ද?

අපි දෙන්නම කතා බහ කරලා ගත්ත තීරණයක් කිව්වොත් හරි.

ඔබ කලාවට ආදරය කළ කෙනෙක්. සම්මානනීය නිළියක්. කලාවෙන් ඈත්වෙලා ඉන්න දුකක් නැද්ද?

කලාවෙන් ඈත්වෙන්න සිද්ධවුණු එක ගැන දුකයි. විදෙස්ගතවෙලා ඉඳිද්දී ලංකාවේ ටෙලි නාට්‍යවල රඟපාන්න බෑනේ. සමහර හොඳ නාට්‍ය දකිද්දී හිතෙනවා මටත් ඒවායේ රඟපාන්න තිබ්බා නම් හොඳයි කියලා.

පවුලට මුල් තැන දෙන නිසාමද කාංචනා කලාවෙන් ඈත් වුණේ?

ඔව්. මම හැම දෙයකින්ම තෘප්තිමත් වෙන කෙනෙක්. මම ලොකු දේවල් පස්සේ යන කෙනෙක් නෙවෙයි. මම අද ලැබෙන දේ එක්ක සතුටු වෙන කෙනෙක්. මම තරුණ කාලේ පෙම්වතියගේ චරිතය කරලා උපරිම ජනප්‍රිය වුණා. ජනප්‍රිය නිළිය, නැඟි එන නිළිය. සහාය නිළිය, හොඳම නිළිය වගේ සම්මාන හැම එකක්ම මම ගත්තා. මට මේ ක්ෂේත්‍රයේ ඊට වඩා ගන්න දෙයක් නෑනේ. මම ඒ දේ ගැන තෘප්තිමත්. අපි ඊළඟ පරම්පරාවටත් ඉඩ දෙන්න ඕනේ මේ තැනට එන්න. ඉතින් විවාහ ජීවිතය එක්ක මම ගත්ත තීරණය ගැන මට දුකක් නැහැ.

කාංචනා දැන් දරුවෝ තුන් දෙනකුගේ අම්මා කෙනෙක්. වගකීම් තව තව වැඩිවෙලා නේද?

ඔව්. අපිට දැන් පුතාලා දෙන්නකුයි දුවකුයි ඉන්නවා. ලොකු පුතා ටෙනිත රයන්ට අවුරුදු 9 යි. දුව කේෂා රයිලිට අවුරුදු 6 යි. පොඩි පුතා රෙයෝන්ට තාම අවුරුදු 2 යි. එයා ඉපදුණෙත් ලන්ඩන්වල. ලොකු පුතයි දුවයි දැන් පාසල් යනවා.

හස්බන්ඩ් වැඩට ගියාට පස්සේ දරුවෝ තුන්දෙනාම බලාගන්නේ, එයාලගේ වැඩ කරන්නෙ මම. ඒක ලොකු වගකීමක්. අපහසුවෙන් වුණත් ඒ වගකීම් ඉෂ්ට කරන්න ඕනෙ. ලංකාවේ වගේ දරුවන්ගේ වැඩවලට උදව් කරන්න කෙනෙක් නැහැ. සැමියයි මමයි එකතුවෙලා අපේ වගකීම ඉෂ්ට කරනවා.

විදේශ රටකට ගිහින් වගකීම් කන්දක් එක්ක ගනුදෙනු කරන්න හුරු වෙන්න කාංචනාට පහසු වුණා ද?

මුල් කාලෙ නම් මට ටිකක් ඒ දේවල් කරන්න අපහසු වුණා. ලංකාවෙදි නම් මගේ අම්මා,

අක්කලා මගේ උදව්වට හිටියා. විදේශගතවුණාට පස්සේ ලොකු වගකීමක් දරන්න වුණා. අපහසුවෙන් වුණත් මම ඒ දේවල්වලට හුරු වුණා.

දරුවෝ තුන්දෙනා විදෙස් රටක සංස්කෘතියට හුරු වෙනවට කාංචනා කැමැති ද?

විදෙස් රටක හිටියත් මම ලොකු පුතාව සිංහල පන්තියකට දාලා තියෙන්නේ. ඒ වගේම දහම් පාසල් යවනවා. මෙහෙ තියෙනවා යාළුවන්ගේ ගෙවල්වල ගිහින් නිදාගන්න සිස්ටම් එකක්. මම ඉතින් දරුවන්ට කියලා දෙනවා ලංකාවේ අපේ සංස්කෘතිය මේකයි කියලා. මම හැම වෙලාවෙම එයාලගේ ළඟින් ඉන්නවා. ඒ නිසා අපේ විදිහට එයාලව හුරු කර ගන්න අපිට පුළුවන්.

දරුවන්ටත් කලා හැකියාව තියෙනවාද?

දුව කලාවට ගොඩක් ළැදියි. නර්තන හැකියාව එයාට තියෙනවා. පුතත් සංගීතය පැත්තට කැමැතියි. හැබැයි එයා හරි නිහඬ චරිතයක්. එයා පොත පත කියවන්න තමයි ගොඩක් කැමැති. චූටි පුතාගෙත් කලාවට ළැදිකමක් පේනවා. සිංදුවක් ඇහුණ ගමන් නටනවා.

දරුවෝ කවදාහරි තමන්ගේ වෘත්තිය විදිහට කලාව තෝරා ගන්නවට කාංචනා කැමති ද?

ඒකට මගේ අකැමැත්තක් නැහැ. මම නියැළුණු කලාවට මගේ දරුවෝ දාන්නේ නෑ කිව්වොත් මම කරපු දේ බාල්දු කිරීමක් වෙන්නේ. මම මිනිස්සු අතරට ගියේ සහ මම යම් ස්ථාවරයකට ආවේ කලාව නිසා. එයාලා කැමැති නම් කලාව තෝර ගන්නවට මගෙ අකැමැත්තක් නැහැ.

සාමාන්‍ය ගෘහණියක් විදිහට කටයුතු කරගෙන යද්දී ඒ රටේ හා මේ රටේ වෙනස ඔබට කොහොමද දැනෙන්නේ...

පාරේ ගියත්, පොදු ස්ථානයකට ගියත් මේ රටේ නීතිගරුක බවක් තියෙනවා. මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මෙහෙ මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ. තම තමන්ගේ වැඩ කටයුතුවල තමයි ඒ අය නියැළිලා ඉන්නේ. ඒ හින්දා නිදහස් සාමකාමී බවක් තියෙනවා.

ලංකාවේ තත්ත්වය ඊට ගොඩක් වෙනස්. හැබැයි ඉතින් එහෙ ඉන්න කොට අපි තනිවෙලා නැහැනේ. අපේම අය ගොඩක් ඉන්නවනේ. එංගලන්තයේදී ඒ විදියට ගොඩ දෙනෙක් අප වටා නැහැ. ඒ නිසා තරමක හුදෙකලා බවක් දැනෙනවා.

එංගලන්තයේදී පදිංචි අපේ කලාකරුවෝ එහෙමත් කාංචනාට මුණ ගැහෙනවා ද?

ඔව්. සසන්ති ජයසේකර, පුණ්‍යා හීන්දෙනිය, අනෝමා වත්තලදෙනිය වගේ අපිත් එක්ක හිටපු කලාකිරිනියන්ව හමුවෙනවා. එයාලා එංගලන්තයේ වුණාට අපේ ගෙවල්වලට ගොඩක් දුරින් ඉන්නේ. ඉතිං ගෙවල්වලට ගිහින් කතා බහ කරන්න නම් වෙන්නේ නැහැ. ඒත් ගොඩක් කලාකාරයින්ව මෙහෙ තියන විවිධ ප්‍රසංග වලදී මුණ ගැහෙනවා.

විදේශ ගතවෙලා ඉද්දී වුණත් යම් යම් කලා කටයුතුවලට සම්බන්ධ වෙනවා අති නේද?

ඔව්. අපි කිහිප දෙනෙක් එකතු වෙලා කලාවේ වැඩ කටයුතු කරන අවස්ථා තියෙනවා. සංගීත ප්‍රසංග, අවුරුදු උත්සව, කලා උළෙලවලට පුළුවන් විදියට සම්බන්ධ වෙනවා.

 

ශාන් රූපස්සර

2019/10/30 තරුණි පුවත්පත බලන්න