ඔටුන්න පලඳින්න ඔට්ටු වුණ විදිහ කවුරුත් දන්නේ නෑ

මිසිස් ලෙජන්ඩ් යුනිවර්සල් බියුටි කිරුළ ලංකාවට ගෙනා සංජීවනී ඇඹුල්දෙණිය
දෙසැම්බර් 23, 2024

 

ආසියාව රුවැත්තියන්ගේ තෝතැන්නකි. ඒ නිසාම ජාත්‍යන්තරයේදීත් ශ්‍රී ලාංකික ළඳුන්ගේ සුන්දරත්වය ගැන නිරන්තර අවධානයට ලක් වේ. එසේ පසුගියදා රටවල් 58ක් සහභාගී වෙමින් මැලේසියාවේ දී පැවැත්වූ 2024 මිසිස් ලෙජන්ඩ් යුනිවර්සල් ග්ලෝබල් තරගයේ මිසිස් ලෙජන්ඩ් යුනිවර්සල් බියුටි පැජන්ට් හි ජයග්‍රහණය අපේ පුංචි දිවයිනට හිමිවීම කාගෙත් ආවධානයට ලක් විය. මිසිස් ලෙජන්ඩ් යුනිවර්සල් ලෙස කිරුළ පැලදූ ඇය සංජීවනී ඇඹුල්දෙණිය. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කිරුළ පැලඳූ ඇය ඒ අභිමානයත් හිස දරාගනිමින් තරුණීට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

 

"මම සහභාගි වුණේ MRS LEGEND UNIVERSAL GLOBAL CHAMPION 2024 තරගාවලියට. Mrs Legend Universal Beauty Pageant එක තමයි මම ජයග්‍රහණය කළේ. මේ තරගය පැවැත්වුණේ මැලේසියාවේ ක්වාලාම්පූර්වල. මේ තරගයට ඉදිරිපත් වෙන්න ජාත්‍යන්තර මට්ටමෙන් තමයි ආරාධනා ලැබුණේ. 2023 මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් තරගය ජයග්‍රහණය කිරීම එයට හේතුවයි. පළමු වතාවටයි ලංකාවේ කෙනෙක් ඒ තරගයට ඉදිරිපත් වුණේ. ඇත්තටම මේ කිරුළ ජයග්‍රහණය කරල රටට කීර්තියක් ගේන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි වගේම නිහතමානි ආඩම්බරයක් තියෙනව. මොකද එතැන ලොකු තරගයක් තිබුණා.

 

මේ තරගයේදී මොන වගේ අභියෝගයන්ටද මුහුණ දෙන්න සිදු වුණේ?

 

ස්ටේජ් එක උඩදී ක්‍රවුන් එක දාන එක විතරයි හැමෝම දකින්නේ. හැබැයි ඒ තැනට එන්න අභියෝග රැසක් පහු කරන්න ඕනේ. දවස් 10ක් විතර අපිව කඳවුරුගත කරලා වැඩමුළු පවත්වනවා. එතැනදී හැමදේම උගන්වනවා. ඒ වගේම අපි මේ තරගය වෙනුවෙන් අඳින ඇඳුම විශේෂයි. අපි අඳින ඇඳුමේ තේරුම වගේම ඒ ඇඳුමට තියෙන ඉතිහාසය ගැන අපි එයාලට ඉදිරිපත් කරන්න ඕනේ. මේ ඇඳුම මට හදල දුන්නෙ ආකාශ් පරණවිතාන. මම ශ්‍රී ලංකාව නියෝජනය කරද්දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය එයලා මගෙන් තමයි දකින්නේ. එතකොට මේ තරගයේදී දක්ෂතා පෙන්වන්න වෙනම වටයක් තියනවා. මම ඒකෙදී නර්තනයක් ඉදිරිපත් කළා. ඊට පස්සේ ප්‍රශ්න උත්තර සහිත සාමාන්‍ය දැනුම පිළිබඳ වෙනම වටයක් තියෙනවා. ඒ වගේම සම්මුඛ පරීක්ෂණයකුත් තියෙනවා. ඉතින් ඒ වගේ තරගය පුරාවටම අභියෝග රැසකටම මුහුණ දෙන්න තියෙනවා.

 

එතකොට 2023 වසරේදී මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් තරගයේ කිරුළ ජයග්‍රහණය කළෙත් ඔබ..

 

මම ඉන්ටර්නැෂනල් පැජෙන්ට් එකකට සහභාගි වූ පළමු අවස්ථාව ඒක. ඉතින් ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය විදිහටයි මම දකින්නේ. මම මිසිස් ඒෂියා” මිසිස් ශ්‍රී ලංකා කිරුළ ජයග්‍රහණය කරල තියෙන නිසා නැෂනල් ඩිරෙක්ටර් මලිත් තමයි මාව මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් පැජන්ට් එකට යොමු කළේ. ඔහු මිසිස් ඒෂියා ඉන්ටර්නැෂනල් ඩිරෙක්ටර් සහ මිසිස් යුනිවර්ස් නැෂනල් ඩිරෙක්ටර්. මේ තරගය පැවැත්වුණේ තායිලන්තයේ. රටවල් විසිහතරක් තරගයට ඉදිරිපත් වුණා. ශ්‍රීලංකාව නියෝජනය කළේ මම. දවස් හතක් පුරාවට මේ තරගයේ විවිධ ඉසව් පැවැත් වුණා. ඒවා අවසානයේ තමයි අවසන් මහා තරගය පැවැත් වුණේ. එතැනදි මිසිස් එලිගන් කියන ටයිටල් එකත් එක්ක මම ක්‍රවුන් එක වින් කරනවා. මම තනිවම ගිහින් තරගයට ඉදිරිපත් වෙලා මේ කිරුළ අපේ රටට අරගෙන ආවා.

 

සංජීවනීගේ වෘත්තිය?

මම වෘත්තියෙන් Makeup artist කෙනෙක්. මේක් අප් ආටිස්ට් කෙනෙක් විදිහට වැඩ පටන් ගත්තේ 2017 අවුරුදේ ඉඳලා. ඒ වගේම ටීවී කොමර්ෂල්වල වැඩකරනවා. ඉන්දීය දමිළ චිත්‍රපටවල මේකප් ආටිස්ට් කෙනෙක් හැටියටත් වැඩ කරනවා. කිං රත්නම්ගෙ ‘කෝමාලි කිං චිත්‍රපටයේ හෙයාර් ඩ්‍රසර් හැටියට කටයුතු කරන්නත් මට අවස්ථාව ලැබුණා. ඒ වගේම බොලිවුඩ්වල තමන්නා භාටියා එක්කත් මම වැඩකරල තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනා මගේ තාත්තා සංජීව ඇඹුල්දෙණිය කියන්නෙ මේ ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙක්. ඔහුගේ අඩිපාරේ තමයි මම මේ ක්ෂේත්‍රයට එන්නෙ.

 

ක්ෂේත්‍ර කිහිපයකම වැඩකරන ඔබ ඇයි රූ රැජනක් වෙන්න හිතුවෙ?

 

මේ ක්ෂේත්‍රයේ නමක් හදාගෙන අද මම තැනකට ඇවිත් තියෙනවා. ඉතින් මම කල්පනා කළා මට තව දෙයක් කරන්න පුළුවන්” ටැලන්ට් එකක් තියෙනව කියලා. ඒ අනුව තමයි මම මේ තරගයට ඉදිරිපත් වෙන්නෙ.

එකතැනකට හිරවෙලා වැඩකරනවාට වැඩිය මට වුවමනා වුණේ එළියට එන්න. මම හරි කැමැතියි ජාත්‍යන්තරයත් එක්ක වැඩ කරන්න. ඒ අනුව තමයි දකුණු ඉන්දීය සිනමාවත් එක්කත් වැඩකරන්න මට අවස්ථාව ලැබෙන්නෙ.

 

ඔබ පෙනුම ගැන නිතර සැලකිලිමත් වන කෙනෙක්. ඉතින් ලස්සන සිරුරක් පවත්වාගෙන යන්න ඔබ මොනවගේ දේවල් ද කරන්නේ?

 

මගේ පළමු ජොබ් එක ශරීර සුවතාව සම්බන්ධ ජොබ් එකක්. එතකොට ඒ කාලේදීම මම දැනගෙන ඉවරයි ශරීරය හොඳට පවත්වාගෙන යන්න කන්න ඕනේ මොනවද කන්න හොඳ නැත්තේ මොනවද කියන එක ගැන. මම වෙනම ඩයට් ප්ලෑන් එකක් පවත්වාගෙන යනවා. කාබෝහයිඩ්‍රේට් අඩු කරලා, ප්‍රෝටීන් වැඩි කරලා, පලතුරු ටිකක් වැඩිපුර ආහාරයට එකතුකර ගන්නවා. ඒ වගේම ව්‍යායාම ටික කරනවා. හැබැයි එහෙමයි කියලා මම ලොකු පීඩනයක් අරන් මේ දේවල් කරන්නේ නැහැ. එදිනෙදා කරන දේවල්වලට පොඩි වෙනසක් එකතුකරගෙනයි තියෙන්නේ. ඒ වගේම The Beauty Bar by Nimmi, salon Colombia සහ Emi beauty Academy කියලා රූපලාවණ්‍ය ආයතනවලින් මාව තවත් ලස්සන කරන්න උදව් කළා.

 

 

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

[email protected]