විවාහ වෙන්නේ එක පාරයි. ඒ තීරණය හොඳට හිතලා ගන්න ඕනෙ

සංගීතේ ටෙලි නාට්‍යයේ අසෙනි - ගීත්මා බණ්ඩාර
පෙබරවාරි 19, 2020

මේ දිනවල තාරුණ්‍යයේ හදවත් සොරාගත් රංගන ශිල්පිනියන් කිහිපදෙනකු ගැන කලා ලෝකය තුළ කතා බහට ලක්වෙනවා. පුංචි තිරය හරහා එලෙස තාරුණ්‍යය වසඟ කරගත් මේ තාරකාවන් අතර මුලින්ම කියැවෙන නමක් තමයි අසෙනි.

පාසල් නිල ඇඳුම ඇඳගෙන කොණ්ඩ කරලක් ගොතාගෙන එන දඟකාර අසෙනිට ජීවය දෙන්නේ නව පරපුරේ ආදරණීය යුවතියක්. ඇය ගීත්මා බණ්ඩාර. දෙරණ නාළිකාවේ විකාශය වන ‘සංගීතේ’ ටෙලි නාට්‍යයේ අසෙනිගේ චරිතය හරහා සුන්දර පාසල් සමයේ ආදර අත්දැකීම් ගෙන එන ගීත්මා තරුණී සමඟින් මෙලෙස කතා බහකට එකතු වුණා.

ඉතින් කොහොමද ගීත්මා ?

හොඳින් ඉන්නවා.

අසෙනිට ලැබෙන ප්‍රතිචාර කොහොම ද?

ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පාරේ ගියත් ගොඩක් අය ළඟට ඇවිත් ඔයා නේද අසෙනි කියලා අහනවා. ඉතින් හරි සතුටුයි.

සංගීතේ ඔබේ පළමු ටෙලි නාට්‍යය ද ?

නැහැ. ඊට පෙර ‘අහස් මාළිගා’ ටෙලි නාට්‍යයේ තරු කියන චරිතය රඟපෑවා. ඉන්පසු ‘නීල පබළු’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. හැබැයි ඊට පෙර රූපවාහිනී වෙළෙඳ දැන්වීම් රැසකට පෙනී සිටින්නට අවස්ථා ලැබුණා. ඒ විදිහට වෙළෙඳ දැන්වීම් 45 කට පමණ පෙනී ඉඳලා තියෙනවා.

දායක වුණු වෙළෙඳ දැන්වීම් ගැන කිව්වොත් ?

නම් වශයෙන් නම් කියන්න අමාරුයි. මොකද මම වෙළෙඳ දැන්වීම් සෑහෙන ප්‍රමාණයකට පෙනී ඉඳලා තිබෙන නිසා. ඒත් මට අමතක වෙන්නේ නැහැ මගේ පළමුවැනි වෙළෙඳ දැන්වීම. ඒක අධ්‍යක්ෂණය කළේ ඇන්ඩෘ පුල්ලේ. එක්ස්ටෙන්ඩ් ආයතනයේ නිර්මාණයක්. මාධව විජේසිංහ අයියයි, මමයි ඉන්න මැලිබන් බිස්කට් ඇඩ් එක. මෑතකදී මම බොහෝ වෙළෙඳ දැන්වීම් ප්‍රමාණයකට සම්බන්ධ වුණා.

කලාවට මඟ පෑදෙන්නේ කොහොම ද?

2018 හිරු අවුරුදු කුමරිය දෙවැනි ස්ථානය ලැබුණේ මට. ඉන් ජයග්‍රහණය කරන රුවැත්තියන්ට රංගන හා නිවේදන අවස්ථා ලැබෙන තේමාව යටතේ තමයි හිරු අවුරුදු කුමරිය තරගය පැවැත්වුණේ. ඒ අනුව ඒ තරගය ජයග්‍රහණය කළ අය අතරින් මුලින්ම රඟපෑමේ වරම් ලැබුණේ මට. ඒක ලොකු භාග්‍යයක්. ඉන්පසුවයි ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වුණේ.

‘සංගීතේ’ අසෙනි වෙන්න ලැබුණේ කොහොම ද?

ඒ වෙනකොට මම වෙළෙඳ දැන්වීම්වලට සහ ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායක වී තිබූ නිසා බොහෝ දෙනෙක් මගේ හැකියාව හඳුනාගෙන තිබුණා. මගේ මිත්‍රයෙක් තමයි මාව සංගීතේ ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මහතාට හඳුන්වලා දුන්නේ. ඒ විදිහට තමයි මට අසෙනි වෙන්න ලැබුණේ.

මේ රංගනයත් එක්ක ඔබේ පාසල් ප්‍රේමයත් මතකයට එනවා ඇති ?

අපෝ නැහැ. එහෙම මතක් වෙන්න අසෙනිට වගේ පාසල් ප්‍රේමයක් මට තිබුණේ නැහැ.

 

2020/02/19 තරුණි බලන්න