තරුණී කවරය සැරසූ ආදරණීය රංගන ශිල්පිනිය

අගෝස්තු 11, 2021

දයාබර රංගන ශිල්පිනියේ, ඔබ අද අප අතර නොමැත. එහෙත් ඔබ තබා ගිය අපූරු රංගන සටහන් සේම ඔබ අන් අය වෙනුවෙන් කළ කී දෑ කිසි දිනෙක නොමියෙනු ඇත.

ඔබ සැමදා පැතූ මෝක්ෂ සුවයම හිමිවේවායි තරුණී අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

2019 වසරේ ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය තේමා කරගෙන තරුණී පුවත්පතේ කවරය සැරසුණේ ආදරණීය ආත්තම්මකුගේ සහ මිනිබිරියකගේ ළබැඳියාව සනිටුහන් කරනා සේයාරුවකිනි.

ඒ ආදරණීය ආත්තම්මා වෙන කවුරුවත් නොව හැමදාමත් සෙනෙහෙබර මවකගේ, මිත්තණියකගේ භූමිකාවට පණ පෙව් ප්‍රවීණ රංගන ශිල්පිනිය හයසින්ත් විජේරත්න.

නිරන්තරයෙන් පුංචි තිරය හරහා අපේ ආලින්දයට පියමනින ඇය යළි කිසිදු දිනෙක සැබැවින් දකින්නට නොලැබෙන්නේ යැයි සිතෙන විට දැනෙන දුක, ශෝකය කොයිතරම්ද?

දක්ෂ රංගන ශිල්පිනියක ලෙසින් ප්‍රේක්ෂක හදවත් දිනූ ඇය ආදරණීය බිරියක, මවක, මිත්තණියක සේම අපූරු ගෘහණියක ද වූවාය.

සිය වගකීම්, යුතුකම් මනාව ඉටුකරමින් සැහැල්ලු ජීවිතයක් ගත කළාය.

ඇයගේ නිවෙසට පියනැඟි මොහොතේ පටන් අප වෙත දිගු වූ ඒ සුහදත්වයේ දෝත සේම එහි දී ඇය සිය ජීවිතය ගැන පැවසූ දේ බොහෝය.

යාළු හිතමිතුරන්ගේ වැඩ කටයුතු සේම අසරණයන් වෙනුවෙන් කරනා බොහෝ දෑ ගැන පැවසුයේ තෘප්තිමත් සිතෙනි.

උපතින්ම රෝමානු කතෝලික තැනැත්තියක වූ හයසින්ත් පල්ලියට සේම පන්සලට, කෝවිලට ද පියනැඟුවාය.

මස්, මාළු හැර අතට අහුවෙන ඕනෑම දෙයක් කන, ව්‍යායාම් කරන්නට කම්මැලි ඇයගේ තාරුණ්‍යයේ පෙනුම ගැන ඇසූ විට පැවසුවේ “මගේ හිත පිරිසුදුයි. සැහැල්ලුයි.

ඊර්ෂ්‍යාකම්, කුහකකම් නොකර අනුන්ට හැකි ආකාරයට උදවු උපකාර කරගෙන ඉන්න නිසා මේ පෙනුම ලැබෙනවා වෙන්න ඇති“ කියලයි.

උයනක පිපී වඩාත් සුන්දර මල් විගසින්ම නෙළා ගන්නවා සේ දෙවියන් ඇයවද තම තුරුළට විගසින් කැඳවාගත්තා යැයි අපි සිතමු.

දයාබර රංගන ශිල්පිනියේ, ඔබ අද අප අතර නොමැත.

එහෙත් ඔබ තබා ගිය අපූරු රංගන සටහන් සේම ඔබ අන් අය වෙනුවෙන් කළ කී දෑ කිසි දිනෙක නොමියෙනු ඇත.

ඔබ සැමදා පැතූ මෝක්ෂ සුවයම හිමිවේවායි තරුණී අපි ප්‍රාර්ථනා කරන්නෙමු.