වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අප සිත් හඬවා නීලා යන්න ගිහින්
කෙතරම් ගල් තලා හමුවුණ ද දිය දහර ගමන නතර කරන්නේ නැත. ගල් තලා දිගේ ඇද හැලෙන දිය දහර අවසානයේ අලංකාර දිය ඇල්ලක් නිර්මාණය කරයි. ජීවිතය ද දිය දහරක් කරගත් පරමාදර්ශී චරිත අපට කලාතුරකින් හෝ හමුවෙයි.
ලොවට ම හඬ ගා කිව හැකි එවන් සොඳුරු චරිතයක් පසුගියදා අපෙන් සමු ගත්තාය. ඇය ගායන විශාරද නීලා වික්රමසිංහන්ය.
ෆ්‍රැන්සිස් - යසවතී වික්‍රමසිංහ පවුලේ බඩපිස්සිය ලෙසින් නීලා උපත ලැබුවේ 1950 මාර්තු 30 වැනි දිනය. හැඩකාර, සුරතල් සිඟිති දියණියට මාස හයක් පිරුණා පමණි. නීලාට උණ සෑදී තිබුණත් මව ගේ දෑතින් රූරා ගොස් ඇය තරමට ම උස බෝනික්කා වෙත දණ ගාමින් ගියාය. පළමු වරට ඇය දණ ගෑ දිනය එදිනය. මව දියණිය දෙස ඒ සතුට විඳිමින් බලා සිටියාය. නීලා ගේ වම් පාදය වෙව්ලනවා මව දුටුවාය. ඇය වහාම දියණිය වඩා ගත්තාය. ඇයට කිරි පෙවීමට උත්සාහ කළ ද කිරි බිඳු පියයුරුවලින් පහළට ගලාගියා පමණි. පුංචි නීලාට කිරි උරා බීමට හැකියාවක් තිබුණේ නැත. හඬ පිටවන ලෙස හැඬීමට ද නො හැකි විය.
දියණියට කුමක් හෝ බරපතළ රෝගයක් වැලඳී ඇති බව මවට සිතිණි. වෛද්‍යවරුන් ගණනාවක ළඟට ගියත් කිසිදු සුවයක් නො ලැබුණි. වයස මාස නවය වන විට නීලා ගේ වම් පාදය සිහින්වී තිබිණි. මවට සැනසුම් සුසුම් හෙළන්නට ලැබුණේ හැඳල වෙද මහත්තයාගෙන් ලැබුණු සහතිකය නිසාය. එතුමා නීලාට දෙපයින් ඇවිදීමට සලස්සන බවට පොරොන්දු විය. නීලා මවුකිරිවලට වඩා පානය කළේ කසාය ය. මව වැසිකිළි ගියේ ද නීලා කරපින්නා ගෙනය. වයස අවුරුදු හතක් වන තුරුම නීලාට ඇවිදීමට හැකියාවක් තිබුණේ නැත. පාසලට ඇය වඩා ගෙන ගිය අතර පාසල නිමවූ පසු වඩාගෙන ඒමට සිදුවිය. පන්තියේ ද ඇය අසලින් කවුරුන් හෝ සිටියේ එක් පැත්තකට ඇලවූ විට වැටෙනා බැවිනි.
වයස අවුරුදු නවයේදී නීලා අකුරු කළේ කැස්බෑව ප්‍රාථමික පාසලෙනි. තනිවම වාඩි වීමටත් අඩි දෙකක් දුර ඇවිදීමටත් ඒ වන විට ඇයට හැකියාවක් තිබිණි. එහෙත් අඩි දෙකක් යද්දී සිය වරක් ඇය බිම ඇද වැටුණාය. වැටුණු කිසි විටක ඇය හැඬුවේ නැත. එසේ කළේ අනෙක් ළමයින් මෙන් පොළොවේ පය තබා ඇවිදීමට ඇති කැමැත්ත නිසාය.
කැස්බෑවේ රජයේ ප්‍රාථමික විද්‍යාලයේ අමරා අතුකෝරාල ගුරු මෑණියන් නීලා ගේ ජීවිතය සංගීතයෙන් අවදි කළාය. වරක් දෙවරක් ඇසූ පමණින් ඕනෑම ගීයක්. කවියක් නීලා ගේ මතකයේ රැඳිණි. දවස පුරාම හඬ නඟා ගී ගැයීම නීලා ගේ පුරුද්දකි. නීලා ගේ මාපියන්ට ගායන කුසලතාවක් තිබීම නිසා නීලාට මෙන්ම නීලා ගේ අක්කාට ද හොඳින් ගී ගැයීමේ හැකියාව තිබිණි.
දෙපයින් යන සිහිනය සැබෑකර ගැනීමට එක් දිනකදී ඇයට හැකි විය. වැඩිමල් සොයුරිය නන්දනී සමඟ හැතැප්මක දුර ගෙවා පාසලට යන විට නීලා ගේ පාසල් නිල ඇඳුම දහදියෙන් තෙත්වී තිබිණි. එහෙත් එදා කුඩා නීලා ගේ ඉහේ මලක් පිපුණු දිනයකි. එදින පටන් ඇය දෙපයින් පාසල් ගියාය. එසේ යාමේදී වැටුණු තුවාල වුණු වාර අනන්තය. එහෙත් නීලා ඉන් පසුබට නො වූවාය. ටික කලක් ගතවන විට නීලාට බසයෙන් යාමට ද හැකි විය. එය ද සොඳුරු අත්දැකීමක් නො වීය. ළමයින් බසයට නැඟීමට පොරකද්දී නීලා තල්ලුවී ගොස් බස් නැවතුම්පල අසල කාණුවට ඇද වැටුණාය. මවට දිනපතාම වාගේ නීලා ගේ තුවාලවලට බෙහෙත් දැමීමට සිදුවිය.
වැටෙන වැටීම් තුවාල වීම් රිදීම් ගැන පුංචි නීලාට ගණනක් නැත. මුවඟ රැඳි ගීතය නිතරම සිත සතුටින් පුරවන්නීය. ඇයට ගමේ මඟුල් ගෙදරට යාමට ආරාධනා පතක් අවශ්‍ය නො වීය. නිවෙසට අඳින ගවුම පිටින්ම පාවහන්වත් නො පලඳා ඇය මඟුල් ගෙදර මයික්‍රෆෝනය වෙත නොන්ඩි ගසමින් දිව ගොස් මිහිරට ගීයක් ගයන්නීය.
නීලා කැස්බෑව ප්‍රාථමික විද්‍යාලයෙන් පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණේ සංගීත සිහිනය සැබෑකර ගන්නටය. මේ වන විට ඇය ගීත ගායනා, කවි ගායනා තරග රැසකින්ම පළමුවැනි තැන දිනා සිටියාය. පන්තියේ ශිෂ්‍ය නායිකාව වූයේ ද ඇය ය. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබද්දී නීලාට සංගීත පන්තියට යාමට තිබුණේ පිට්ටනියක් මැදිනි. පිට්ටනිය මැදින් නීලා නොන්ඩි ගසමින් ඇවිදින විට ළමයි ඇයට නොන්ඩියා කියමින් උසුළු විසුළු කළහ. පාසලේදී එක් කඳුළක් හෙළුවේ නැතත් ඇය නිවෙසට ගොස් රාත්රියේදී කිසිවකුටත් හොර රහසේ කොට්ටය තෙමෙන තුරු කඳුළු හෙළුවාය. 1963, 1964. 1965 වසර තුනේම සමස්ත ලංකා ඒකල ගායනා තරගයේ ප්‍රථම ස්ථානය දිනා පාසලට අභියෝගතා පලිහ නීලා දිනා දුන්නේ නොන්ඩියා ගේ වග පාසල් සගයන් ට පෙන්වමිනි.
1965 දී තරගයෙන් ජය ගෙන නීලා නිවෙසට දිව ගියේ මව සමඟ සතුට බෙදා ගැනීමටය. බීමත්ව නිවෙසට පැමිණි පියා නීලා ගේත් මව ගේත් සතුට සුන්කර දැම්මේය.
හොරණ ශ්‍රීපාලිය ඇය ගේ ගීත චාරිකාවේ වැදගත් මං සන්ධියකි.
නීලා ශ්‍රීපාලියට ගිය පළමු දවසේ වැඩි දෙනෙක් පැවසුවේ මේ ළමයා අවුරුදු හතරක් ශ්‍රීපාලියේ කන්ද කොහොම නඟීවිද කියාය. එහෙත් නීලා සිව් වසරක්ම කන්ද නැග්ගාය.ඒ නැග්මේ ප්‍රතිඵල ඇය වැඩිකල් යාමට පෙර නෙළා ගත්තාය.
ඇයට සිනමා පටයකට ගී ගැයීමට පස්වරු හයට කැලණියේ සරසවි චිත්රාගාරයට එන ලෙස ලිපියක් ලැබී තිබිණි.
සංගීත අධ්යක්ෂවරයා වූයේ ප්‍රේමසිරි ඛේමදාසයන් ය. නීලාට ගීත දෙකකට අත්වැල් ගායනයෙන් දායක වීමට අවස්ථාව ලැබිණි. ගීතය පටිගත කිරීම ඇරැඹිණි. එහෙත් කවර හෝ දෝෂයක් නිසා පසුවදා උදෑසන නවය වන තුරුම පටිගත කිරීම සිදු කෙරිණි. සිට ගෙන සිටියා වැඩිකම නිසා නීලා ගේ පාද බෙර කොට දෙකක් මෙන් ඉදිමී තිබිණි. සිනමා ගී ගැයීමට අත්වැල් ගායනයෙන් හෝ මඟ පෑදුණු නිසා දෙපා දෙස හැරී බැලීමටවත් ඇයට අවශ්‍ය වූයේ නැත. නීලා මුලින්ම ගුවන් විදුලි ගීයක් පටිගත කළේ 1967 වසරේදීය.
නීලා වඩාත් ආසා කරන “ මාස්ටර් සර් “ ගීයේ එක් කොටසක් කළු දිය දහර සිනමා පටයට ගැයීමට ලැබීම ඇයට සුවිශේෂී අත්දැකීමක් විය. තම හඬ ජන ගී ආරටත් , පෙරදිග සංගීතයටත් බටහිර ආරටත් එකසේ ගැළපෙන බව නීලා එදින දැන ගත්තාය. මේ අංශ තුනෙන් ම නීලා තරම් දස්කම් පෑ වෙනත් ගායිකාවක් මෙරට සංගීත ක්ෂේත්රයේ නැති තරම්ය.
පළමු වරට සිනමා පටයකට තනි ගීතයක් ගැයීමේ වාසනාව උදාවූයේ ඉන්පසුවය. ගැහැනු ළමයි සිනමා පටයට ගැයූ “ වියෝ ගී ගැයෙනා හදේ - ආදර මල් නො මියේ “ඒ ගීයයි. වියෝ ගීයෙන් ඇරැඹි නීලා ගේ සිනමා ගීතාවලිය මෙරට සිනමා වංශ කතාවේ කිසිදා වියෝ නො වන සුභාවිත ගීතාවලියක් බවට පත්විය. නීලා සිනමා ගීතයට සම්මානයක් විය. ඇය සිව්වරක් ම හොඳම ගායිකාව ලෙසින් සරසවි සම්මාන හතරකට ම හිමිකම් කීවාය. ජනාධිපති, ඕසීඅයිසී, සම්මානවලින් පිදුම් ලැබුවාය. ටෙලි නාට්‍ය ගායනයට ද හොඳම ගායිකාව වූවාය.
ගායනයට මෙන්ම වාදනයට ද දස්කම් පෑ නීලාට මේ අංශ දෙකෙන්ම උපාධිය ලබා ගැනීමට අවශ්‍යවී තිබුණත් බලධාරීන් ගේ අවශ්‍යතාව මත වාද්‍ය විශාරද උපාධිය ගැනීමේ අවස්ථාව නීලාගෙන් ගිලිහී ගියේය.
සිප් සතර හදාරා ගුරුවරියක ලෙස ලද දැනුම බෙදන්නට ගිය විට ද ඇය මුහුණ දුන්නේ අභියෝගයකටය. පත්වීම ලබා පාසලට ගිය විට විදුහල්පතිවරයා ගෙන් නීලාට ලැබුණේ “ මෙහි ඇති සංගීතයක් නැහැ“ යන පිළිතුරය. නැවතත් අධ්‍යාපන අමාත්‍යංශයට ගිය විට නීලා ගේ පත්වීම භාර ගන්නා ලෙසට විදුහල්පතිවරයාට දන්වා තිබිණි. නොන්ඩි ගසමින් යන නීලාට ගෘහ විද්‍යා, සරඹ හා සෞඛ්‍ය ගුරුවරිය ලෙසින් වැඩ භාර ගැනීමට සිදුවිය. “නැහැ“, “බැහැ“ වදන් නීලා ගේ ජීවන ශබ්ද කෝෂයේ නැත. නීලා අභියෝගය භාරගත්තාය. මුලින් ඇයට ඉගැන්වීමට හැකි දැයි අභියෝග කළවුන් වසර ගණනක් සාර්ථකව ඇය ගුරු වෘත්තියෙහි යෙදෙන විට නිරුත්තර විය. අවසන ඇය සිප් සතර බෙදා දුන්නේ ලංකාවේ විශිෂ්ටම බාලිකා පාසලක් වන කොළඹ විශාඛා විද්‍යාලයේ සිසුවියන්ටය. නියමිත කාලයට පෙර ඇය විශ්‍රාම ගියාය. ඒ සමාජ සේවිකාවක, ගායිකාවක, සංගීත අධ්යක්ෂවරියක, තනු නිර්මාපිකාවක ලෙස වැඩි සේවයක් ලබා දීමටය.
ජීවිතය ගීතය කරගත් නීලාට ජීවන සහකරුවකු ගේ සැබෑ ආදරය හිමි වීමට කලක් ගත විය. කපිල හේරත් ගේ හමු වීම නීලා ගේ ආදර කතරට වැසි මල්වැස්ස ය. දෛවය නැවතත් නීලාට සරදම් කළේය. දරුණු උදර පිළිකාවකින් පෙළුණු ඇය එය ද පරාජය කළාය.
තමන් ට සෙවණැල්ලක්ව සිටි මව ගේ මිය යාමත් සමඟ ජීවිතයේ අනියත බව නීලා නිතර මෙනෙහි කළාය. මව රෝගාතුරව රෝහල් ගතව සිටින විට නීලා පාසල නිමවූ සැණින් මව ළඟ නතරවී සිටීමට පැමිණියාය. ඇය රැය පහන් කළේ මව ගේ ඇඳ යට නිදිවරමිනි. මවට , ගුරුවරුන්ට මෙන්ම ජීවිතයේ උපකාර කළවුන් ගැන කෘතවේදිත්වයෙන් නීලා ගේ හද පිරී තිබිණි.
පෝලියෝ රෝගයෙන් බැටකෑ නීලා නිතරම කල්පනා කළේ ඉදිරි පරපුර ඉන් බේරා ගැනීම ගැනය. නො සිතූ ලෙසින් ඒ අවස්ථාව ඇයට හිමිවිය. යුනිසෙෆ් ආයතනයෙන් පෝලියෝ එන්නත ප්‍රවර්ධනය කරන්නට නිර්මාණය කළ දැන්වීමේ කතා නායිකාව ලෙසින් තෝරා ගත්තේ රටේම ආදරය දිනූ නීලා වික්‍රමසිංහ නම් ගායිකාවය. නීලා සතයක් වත් අය නො කර ඒ දැන්වීමට පෙනී සිටියාය. එහෙත් ඊට ද ගල් මුල් එල්ල විය. නීලාට එක් අධමයෙක්
පවුකාරකමට හැදුණු නොන්ඩිය පෙන්නලා මුදලුත් ප්‍රසිද්ධයත් සොයන බව සඳහන්කර නිර්නාමිකව ලිපියක් එවා තිබිණි. ඔහුට නීලා දුන්නේ එකම එක පිළිතුරකි. “මට දොස් කිය කියා ඉන්නේ නැතිව ඔබේ දරුවටත් කලට වේලාවට පෝලියෝ එන්නත ලබා දෙන්න.“ ඒ පිළිතුරයි. දරුවන් සදා ආබාධිත කරන, මරුකැන්දන වසංගතයකින් මුදවා ගැනීමට වරම් ලද ඒ වසංගතයෙන් ම පීඩා විඳි ලොව ප්‍රථම කලාකාරිය ඇයය. නීලා දැන්වීම දොරින් දොර ජනප්‍රිය විය. “අම්මේ මටත් පෝලියෝ එන්නත විදලද? “ දරුවන් විසින්ම මවගෙන් විමසීමට තරම් දැන්වීම ලොකු කුඩා කාගේත් හද සසල කළේය.
නීලා ගේ සමාජ සද්කාරය පෝලියෝ දැන්වීමෙන් අවසන් වූයේ නැත. මදර් සමාජ සද්කාර වැඩසටහනින් ද ඇය විශාල සේවයක් සිදුකරමින් සිටියාය. ඉතාලියේ මිලානෝ නුවර තානාපතිනිය ලෙසින් නීලා පැමිණෙන විට එරට ශ්‍රී ලාංකිකයෝ සතුටින් ඉපිලුණහ. එහෙත් සියල්ලන්ට ම හොර රහසේ මාරයා විසින් ඇය ගේ පණ නල උදුරා ගත්තේ තනාපති කාර්යාලයක තනාපති ධූරය හිස් කිරීමට වඩා වැඩි හිස් තැනක් මෙරට සංගීත ක්ෂේත්රයේ ඇති කරමිනි. ලාංකේය ගීත ක්ෂේත්රයේ දිරිය කෝකිලාව, පංච කල්‍යාණිය නීලා සිටියා නම් කලා කෙත පෝෂණය වී තවත් මිහිරි ගී අස්වනුවලින් නෙළා ගත හැකිවනු ඇත.