මෝස්තර නිරූපිකාවක් වීම සිහිනයක් ද?

සැබෑ කර ගන්නා මඟ මෙන්න...
නොවැම්බර් 7, 2022

 

පුංචි දූලා අම්මගේ සාරි පටලවාගෙන, අඩි උස සපත්තු දාගෙන ගේ ඇතුළේ එහා මෙහා ඇවිදින්නේ හරිම උජාරුවෙන්. බාල කාලය ඒ විදිහට කෙළිදෙළෙන් ගත කරපු ඇතැම් දියණිවරුවන් පසු කලෙක දී මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට යොමුවන්නේ සහජ දක්ෂතාවන් ද කැටි කර ගනිමිනුයි.

 

මෝස්තර නිරූපිකාවක් වීම ඇතැ‍ෙමකුට සුන්දර සිහිනයක් ම පමණයි. ඇගේ පවුල් පසුබිමින් ඒ සඳහා ඉඩක් නොලැබීම ඊට හේතුවයි. විශේෂයෙන් ම ආසියාතික රටවල යුවතියන්ට මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට පිවිසීම සඳහා ඇත්තේ සීමිත ඉඩකඩකි.

 

සුදුසුකම් සපුරා ඇත්නම්

නිරූපණ ක්ෂේත්‍රය පමණක් නොව ඕනෑම ක්ෂේත්‍රයකට පිවිසෙද්දි එම ක්ෂේත්‍රයේ එරෙන්නේ නැතිව ඉදිරියට ම යෑමට නම් ඒ පිළිබඳ මනා දැනුමකින් සන්නද්ධ විය යුතුයි. එසේ අදාළ සුදුසුකම් සපුරා නොමැති විට සිදුවන්නේ ක්ෂේත්‍රයේ සහ ඉන් පිටත අයවලුන්ගේ උදව් උපකාර, රැකවරණයක් පතන්නට සිදුවීමයි. මෙලෙස සහාය පතන්නට යෑමෙන් වන්නේ ඔවුන් ඔබෙන් අනවශ්‍ය ප්‍රයෝජන ගැනීමට සිතීමයි. දැනුමින්, පෞරුෂයෙන් සහ ආකල්පවලින් සන්නද්ධ වූයේ නම් නිරූපණ ක්ෂේත්‍රයට පිවිසෙන ඔබගේ චරිතයට කිසිදු කැළලක් ඇති නොවේවි.

 

නිරූපිකාවක් හැමවිටම ගනුදෙනු කරන්නේ තම සිරුර සමඟයි. සම සුදුවට, ලස්සනට තිබේ නම් සිහින්ව සිටී නම් තමා නිරූපිකාවකට සුදුසු බව සිතයි. උසින් අඩු වීම, බර වැඩිවීම... මේ ආදී කරුණු නිසා මෝස්තර නිරූපණය පිළිබඳ හැදැරීමට ඇති අවස්ථාව අහිමි ව ගියේ නම් එවන් ඇකඩමි පිළිබඳ එතරම් විශ්වාසයක් තැබිය නොහැකියි.

උදාහරණයක් ලෙස වාණිජ නිරූපණ ක්ෂේත්‍රය (Commercial modeling) ගත් විට වෙළෙඳ දැන්වීම් හි අත දරුවාගේ සිට විශ්‍රාම වයසේ පසුවන වැඩිහිටියන් දක්වා නිරූපණ ක්ෂේත්‍රයේ නියැළෙයි. එසේ නම් ඒ අය නිරූපණය සඳහා සුදුසු නොවේද?

 

නිරූපණ ක්ෂේත්‍රයේ විවිධ කඩඉම්

නිරූපණ ක්ෂේත්‍රය යැයි කියූ පමණින් අපේ සිහියට නැගෙන්නේ catwalk ගමනින් runway එකක ඉදිරියට ඇදෙන නිරූපිකාවන් ය. එහෙත් ලොව මෝස්තර නිරූපණයන් 10 - 15 ක ප්‍රමාණයක් දක්වා විහිදේ. Fashion (Editorial) Modeling, Fashion (Catalog) Modeling, Runway Modeling, Commercial Modeling, Mature Modeling, Promotional Modeling, Parts Modeling, Fit Modeling, Fitness Modeling, Glamour Modeling.... මේ ආදී වර්ග කිහිපයක් වේ.

 

නිරූපිකාවක් ලෙස දිගු ගමනක් යන්නට නම් කතා කරන හා හැසිරෙන විදිහ, ජීවන තත්ත්වය පවත්වාගෙන යන අන්දම, ආකල්ප වැදගත් වේ. දැනුමින් සන්නද්ධ වීම මෙන්ම ඉහත සුදුසුකම් ද සපුරා තිබීම සාර්ථක නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් බිහි කිරීමට මඟ පාදයි. එසේ වූ විට ජාත්‍යන්තරයෙන් පවා ඇරැයුම් ගලා ඒවි. ක්ෂේත්‍රයේ හොඳ නමක් හැදේවි. චරිතයට කිසිදු කැළැලක් ඇති නොවේවි. මෝස්තර නිරූපණ ශිල්පී, ශිල්පිනියක් යනු 'චරිතයට කැළැලක් ඇති කරගත් පිරිස් බව' යන සමාජ මතයක් ගොඩනැඟී ඇත්තේ ඇතැමුන් ගේ නොමනා, හැසිරීම් රටාවන් නිසාවෙනි.

 

කිසියම් සන්නාමයක් වෙනුවෙන් පෙනී සිටින නිරූපණ ශිල්පියෙක්/ශිල්පිනියක් සාමාන්‍ය පුද්ගලයකුටත් වඩා හොඳ චරිතයක් පවත්වා ගෙන යන කෙනකු විය යුතු වන්නේ ඒ කෙනා පෙනී සිටිනුයේ තවත් කෙනෙක් මහන්සියෙන් ගොඩනඟා ගත් වෙළෙඳ සන්නාමයක් වෙනුවෙන් නිසායි.

 

සුදුසුම ඇකඩමිය තෝරාගන්න

නිරූපණ ක්ෂේත්‍රය පිළිබඳ හැදෑරීමට ඇකඩමි ගණනාවක් තිබුණත් ඒවායින් සෑම අතින් ම සුදුසුකම් සැපිරූ ශිල්පි/ශිල්පිනියන් බිහි වී ඇත්දැයි බලන්න. ඔවුන්ට ජාත්‍යන්තර වේදිකාව සඳහා දොරගුළු විවරව ඇත්දැයි බලන්න.

 

ආධුනිකයකු පුහුණු කරන Model Coach එහෙමත් නැත්නම් Model Traineer කෙනෙක් සුදුසුකම් සැපිරූ කෙනකු විය යුතුයි. ramp modeling වලදී Catwalk ගමනින් මේ විදිහට යන්න යැයි කීම ප්‍රමාණවත් නැත. එසේ ඇවිද ගොස් පෙන්වන්නට නොහැකි කෙනෙක් අතින් සාර්ථක නිරූපණ ශිල්පිනියක් බිහි වේ ද යන්න සැක සහිතය. නිසි පරිදි සිරුරේ හැඩය පවත්වාගෙන නොයන කෙනකුට, නිශ්චල ඡායාරූපවලට පෙනී සිටිය යුතු ඉරියව් ප්‍රායෝගිකව පෙන්වා දිය නොහැකි කෙනකුට, ආධුනිකයකුට නියමම දැනුම දිය නොහැකියි. ඉතාම ප්‍රායෝගික විෂයය

ක්ෂේත්‍රයක් වන මෙහි නිරූපණ ගුරුවරයා ප්‍රායෝගික විය යුතුමයි.

නිරූපණ ශිල්පි/ශිල්පියෙක් Beauty with a brain හෙවත් හදවතින් නොව බුද්ධියෙන් තීරණ ගෙන ඉදිරියට යා යුතුයි. ආධුනික නිරූපණ ශිල්පීන්ට ජාත්‍යන්තර මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ විෂය දැනුම, විෂය නිර්දේශය ලැබිය හැකි තැනක් තෝරා ගැනීම වැදගත් වේ. නිරූපණයේ දී අතක් පයක් එහා මෙහා ගෙන යෑම පවා සිදු වන්නේ විද්‍යානුකූලවයි. ඒවා නිවැරැදිව ඉගෙන ගැනීම වැදගත්.

 

ලාංකේය මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය යාවත්කාලීන වීම සිදු වන්නේ ඉතාම මන්දගාමිවයි. හෝරාවෙන් හෝරාවට, දිනෙන් දින යාවත්කාලීන වන මේ ක්ෂේත්‍රය අපේ රටේ ද එසේ යාවත්කාලීන සිදු විය යුතුයි. වෛද්‍යවරු, ඉංජිනේරුවන්, නීතිඥයන්, කළමනාකරුවන් ඇතුළු උගත් වෘත්තිකයන් පවා තෝරා ගන්නා ක්ෂේත්‍රයක් බවට පත් වන්නේ එවිටයි.

 

තම ආකල්ප, දැනුම වඩවා ගැනීමට, පෞරුෂත්වය වර්ධනය කර ගැනීමට, වේදිකාවක් ඉදිරියේ හැසිරීමට, කතා කිරීමට බියක් දක්වන පිරිස්, කැමරාවට මුහුණ දෙන්නට බියක් දක්වන පිරිස් එම අඩුපාඩු මඟහරවා ගැනීමට මේ ක්ෂේත්‍රය අපූරු පාලමකි.

 

නිරූපණ ශිල්පීන් ත්‍රිත්වය හඳුනනවාද?

මෝස්තර නිරූපණ ශිල්පිනියක්, ශිල්පියෙක් ජාත්‍යන්තර මෝස්තර නිරූපණ ශිල්පි, ශිල්පියෙක්, සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනියක්/ශිල්පියෙක් යන ත්‍රිත්වය එකක් නොව ත්‍රිත්වයක්ම යි. සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනියක් හෙවත් සුපර් මොඩ්ල් කෙනෙක් කීර්තිමත් පුද්ගලයෙකි. ඒ කෙනා කීර්තිය, මුදල් මෙන්ම සමාජ ස්ථාවරභාවය, සමාජ තත්ත්වය අතින් ද පොහොසත් ය. මේ ශිල්පියා හෝ ශිල්පිනිය තම ජීවිතයට උසස්ම තත්ත්වයේ බඩු භාණ්ඩ පරිහරණය කරන උසස් ජීවන පැවැත්මක් ළඟා කරගත් කෙනෙකි.

මෝස්තර ශිල්පි/ශිල්පිනියෙක් යනු ජාත්‍යන්තර වශයෙන් රෑම්ප් ෂෝ, ෆොටෝ ෂූට්වලට සහභාගි වන කෙනෙකි.

සෑම ජාත්‍යන්තර මෝස්තර ශිල්පිනියකටම Fashion capital එකක් සමඟ කටයුතු කළ පමණින් සුපිරි මෝස්තර නිරූපණ ශිල්පිනියක් වීමට නොහැකියි.

යම්කිසි වෙළෙඳ සන්නාමයක් තවදුරටත් සාමාන්‍ය මිනිසුන් අතරට ගෙන යෑමේ නිරූපණය කරන්නේ සාමාන්‍ය මෝස්තර නිරූපිකාවන්ය.

ලොවපුරා Fashion capital 4ක්

ලොව මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන Fashion capital 4ක් තිබේ. මේ හතරින් මුළු ලොවේම මෝස්තර නිරූපණ ක්ෂේත්‍රය දිවේ. ඒ මිලානෝ, පැරිස්, ලන්ඩන්, නිව්යෝර්ක් යන හතරයි. සාර්ථක මෝස්තර නිරූපණ ශිල්පියෙක් හෝ ශිල්පිනියක් නම් මේ කැපිටල් හතරෙන් එකක් සමඟ හෝ කටයුතු කිරීමට අවස්ථාව තිබිය යුතුයි. මේවාහි අනු ශාඛා රැසක් ලොව පුරා විහිදී තිබේ. එම අනු ශාඛාවන් සමඟ හෝ සම්බන්ධ වී කටයුතු කිරීම වැදගත්.

උගත් සහ බුද්ධිමත් පිරිසක් මෝස්තර නිරූපණ ශිල්පි/ශිල්පිනියන් ලෙස දායාද වූයේ නම් ඔවුන්ට වටිනා මඟ පෙන්වීමක් ලැබුණේ මෝස්තර නිරූපණ නම් ක්ෂේත්‍රය යනු යුවතියකට පා තැබිය හැකි සුදුසුම ක්ෂේත්‍රයක් යැයි කාන්තා පුවත්පතක් ලෙස වගකීමෙන් යුතුව කිව හැකි වේ.

 

 

උපදෙස්

ප්‍රවීණ මෝස්තර නිරූපණ ශිල්පිනී, නිරූපණ

උපදේශිකා ත්‍රිකලා ධරණි

(2017 ශ්‍රී ලාංකේය විශ්ව රූ රැජින)