වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
ජනවාරි 18 දා අමිල තේනුවරගේ ගී රසවිඳින්න
හිමි අහිමිවීම යන විචල්‍ය දෙක අතර දෝලනය වෙන කුළුදුල් ප්‍රේමය... මේ ප්රස්තුතය ගීත රචනාවට බොහෝ හෘදයාංගමව සමීපයි. වත්පොහොසත්කම්, කුලමල ජාති භේදයෙන් තොරව ගොඩනැඟෙන කුලුඳුල් ප්‍රේමය ගැන ලියවුණු ගීත අතර අතිශයින්ම ජනප්‍රිය පරිපූර්ණ ගීතයක් තමයි අමරසිරි පීිරිස්ගේ හඬින් ගැයෙන භාවපූර්ණ ගීතය. මේ ගීතයේ පද වැල් ශ්‍රාවකයන්ගේ හදවත් ස්පර්ශ කරනවා.
ඉකි ගසා හඬන අතීතයක
කඳුළු එක්ක ගනුදෙනු කරනා
මට මගේම නොවන මගේම
ආදරයක් තිබුණා....
මේ අපුර්වතම සුගායනයට, සුභාවිත ගීතයට කැමැති සෑම කෙනෙක්ම ආසක්ත වෙන්නේ ඒ ගීතයේ පදවැල් ප්රපංචයට. අප ඔබව මේ කැඳවාගෙන යන්නේ ඒ අපූරු ගීත පදවැල් ගෙත්තම් කළ අපේ කාලයේ ප්‍රතිභාපූර්ණ ගේය පද රචක අමිල තේනුවරගේ ජීවිතයේ
අාවර්ජනාත්මක මියැසියකට.
මේ කෘතහස්ත කලා ශිල්පියාගේ නිර්මාණ දිවියට මේ වසරේදී වසර විසි පහක් සපිරෙනවා. ඒ වෙනුවෙන් හේ නිර්මාණ කළ ගීත ගොන්න අතුරින් තෝරාගත් ගීත විසි හතරක් ඔබට තිළිණ කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා. ඒ මනරම් සැඳෑව උදා වෙන්නේ ජනවාරි 18 වැනිදා සවස 6.30ට. කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී. සොබාවිත ගීත සමුච්චයකින් රසවත්වන සංගීතවත්වන මේ ගී සැඳෑවේදී තවත් විශේෂ සිදුවීමක් සිද්ධ වෙනවා. ඒ තමයි අමිලගේ යූ ටියුබ් නාළිකාව සමාජගත කිරීම. එහි අමිලගේ ගීත පමණක්ම නොවෙයි ඔහුගේ පන්හිඳේ තැවරුණු කවි ද රසිකයන්ට රස විදීමට අවස්ථාව උදා වෙනවා. මේ අපූරු ගී සැදෑව රස විඳින්න සහෘද අපට සුහද ඇරියුම කරන්න පසුගිය දිනක මේ ලෙන්ගතු කලාකරුවා අපේ පත්තර මහ ගෙදරට ගොඩවුණේ බොහෝ කාලයකට පසුව. ඔහුගේ ජීවිතයේ තවත් සුන්දර මතකයක් සනිටුහන් කළ පත්තර මහගෙදරදී ඔහු මේ මනරම් සැඳෑව විචිත්‍රවත් වෙන අයුරු අපට සඳහන් කළේ මෙලෙසින්.
‘ඇත්තටම මේ වගේ කාලයක මෙවැනි ප්‍රසංගයක් සංවිධාන කරනවා කියන්නේ ලොකු අභියෝගයක්. මේ ප්‍රසංගය සඳහා පූර්ණ අනුග්‍රාහක අර්ථස්පත්තිය දක්වන්නේ මගේ රසිකාවියක්. ඇය තමයි ග්‍රෙගරීස් ආයතනයේ අධිපති කුමාරි ජයසිංහ. මේ සැන්දෑව ඇත්තටම සුන්දර වෙයි. මේ වේදිකාවේදී මම පද රචනා කළ ගී ගායනා කරන ගායකයන් විශාල සංඛ්‍යාවක් එකම වේදිකාවකට ගොඩවෙනවා. අමරසිරි පීරිස්, කරුණාරත්න දිවුල්ගනේ, සේනානායක වෙරලියද්ද, කසුන් කල්හාර, චන්දන ලියනආරච්චි, ජානක වික්‍රමසිංහ, ලක්ෂ්මන් හේවාවිතාරණ, ශෂිකා නිසංසලා, රවින් කණිෂ්ක, ඉන්දිකා උපමාලි, සමිතා මුදුන්කොටුව, ක්‍රිෂාන්ත එරන්දක, දයාන් විතාරණ, උරේෂා රවිහාරි, හර්ෂණ දිසානායක, මිත්‍ර කපුගේ ඇතුළු පිරිස තමයි මේ වේදිකාව රසවත් කරන්නේ.‘
අමිලගේ ගී කලා කෙත බොහෝ අර්ථවත්ය. එලෙසින්ම හැඟුම්බරය. එපමණක් නොවෙයි. ඔහුගේ ගීත සමාජයේ ඇස නොගැටුණු මානයන් ස්පර්ශ කරයි. මේ සඳහා ඔහුගේ ජීවිතයට පදනම වැටෙන්නේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ඉගෙන ගන්නා කාලයේදීය. ඒ ඔහුගේ සිංහල ගුරුවරයා වූ ප්‍රවීණ ගී රචක සුනිල් ගුණවර්ධන ගුරු පියාණන්ගෙනි. ඔහුගේ අාභාසය ලැබූ අමිල දිගු ගමනක් ගියේය. ඔහුගේ පන්හිඳ අවදි වන්නේ කවි රචකයකු ලෙසිනි. ඔහුගේ කවි ගීතවලට වටිනාකමක් එක් වන්නේ ඔහුට හමුවන තවත් ප්‍රතිභාපූර්ණ ගීත රචකයකුගේ හමුවීමත් සමඟය. අමිල ගාලු පවුර තුළ පිහිටි නිවෙසක සිටින ප්‍රවීණ ගීත රචකයකු සොයා යන්නේ ඔහු ලියූ ගීතයක් අතැතිව. ඒ රත්න ශ්‍රී විජේසිංහයන්ය.
ඔහු අමිලගේ පන්හිඳ තවත් මුවහත් කර දුන්නේ මහත් ෙළන්ගතු හෘදයාංගම සැබැඳියාවකිනි. එලෙසින ගමන් අරඹන අමිලගේ පළමු ගී එකතුව ‘සක්වා ලිහිණි‘ නමින් ජනගත වන්නේ ඒ ගී ඇල්බමයෙහි තිබූ ගීත දෙකක් ශ්‍රාවකයන්ට ඉතාම සමීප කරවමිනි.
“ඒ කාලයේ වැඩියෙන්ම ජනප්‍රිය වුණු ගීතය තමයි මං අහන්නේ නම් නෑ රත්තරනේ ගීතය. ඒ ගීතයෙන් තමයි මාව මුළු රටම හඳුනා ගත්තේ. මේ ගීතයෙන් පසුව තමයි මට දර්ශන රුවන්ගේ හමුවීම සිද්ධ වෙන්නේ. මගේ අතින් ලියවුණු ගීතවලින් හොඳම තනුව නිර්මාණය වුණේ ඔහුගේ අතින් කියලා කියන්නේ එක් හේතුවක් නිසායි. දර්ශන මගේ පරම්පරාවේ සංගීතවේදියෙක්. අපි දෙන්නගේ හමුවීමත් සමඟ තව බොහෝ නිර්මාණ බිහි වුණේ හරිම අහඹු ලෙසින්. ‘අතින්වත් අත ඇල්ලුවේ නෑ. ..... ගීතය එහෙම බිහි වුණු රමණීය ප්‍රේමය ගැන ලියවුණු සුන්දර අත්දැකීමක් සමඟ මුසු වූ නිර්මාණයක්. මේ සෑම නිර්මාණයක්ම බිහි වෙන්නේ මට හමුවුණු සහෝදරත්වයෙන් බැඳුණු සහෝදර පිිරිසක් නිසායි. මට ඒ හමුවුණු කිසිම කෙනෙක් අමතක කරන්න බැහැ. ඒ නිසා තමයි මේ ගී සැඳෑවට ‘නාවේ නුඹ විතරයි‘ කියලා දැම්මේ. මම හිතන්නේ මගේ කලා ජීවිතයෙන් හමුවුණු කිසිම කෙනෙක් මේ සැඳෑව සමඟ දැහැන්ගත වෙන්න නෑවිත් ඉන්නේ නැති වෙයි. එහෙම නාවොත් මට කියන්න පුළුවන් නාවේ නුඹ විතරයි කියලා.‘