උසින් ලොවක් මවිත කළ ආදරයේ උසම තැන ජයග්‍රහණ රැසකට උරදුන් තර්ජනී ඔබට අපගේ උණුසුම් සුබපැතුම්!

ජුනි 24, 2024

 

ඇය අපේ දැල්පන්දු කණ්ඩායම උසම ස්ථානයක තැබූ නායිකාවයි. එසේම අැය දැල්පන්දුවෙන් ලොවක් මවිත කළ ලොව උසම දැල්පන්දු ක්‍රීඩිකාවයි. වසර

32කට වැඩි කාලයක් යුද්ධයෙන් බැට කෑ උතුරුකරයෙන් බිහි වූ ඇය ශ්‍රී ලංකාවට සැබෑම සම්පතකි. දැල්පන්දුවෙන් පමණක් නොව අත්පන්දුවෙන් තම දස්කම් පෑ ඇය ජාත්‍යන්තර ජයග්‍රහණ රැසකට නායකත්වය දුන් ක්‍රීඩිකාවක් ලෙස ශ්‍රී ලාංකේය සැමගේ මතකයේ සටහන්ව තිබෙයි. සැබැවින්ම දැල්පන්දු පිටියේ සෑම ක්‍රීඩිකාවකටම අභියෝග කළ ක්‍රීඩිකාවක් ලෙස ඇය අප රටට වීරවරියකි.

 

උපතින්ම උරුම වූ උසට නොදෙවැනි වූ ඇයගේ ක්‍රීඩා කෞශල්‍යය නිසාම ලෝකයේ දැල්පන්දු ක්‍රීඩකවන්ගේ අවධානය දිනා සිටි ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට නිසි වටිනාකමක් උරුමකර දෙන්නට අනන්ත වූ කැපවීම් රාශියක් කළ ක්‍රීඩිකාවකි.

 

එහෙත් අපට උරුම වූ සම්පතකට නිසි වටිනාකම් නොලැබුණු නිසා දෝ ඇය අප රටෙන් ඔස්ට්‍රේලියාවට පදිංචියට ගියේ ඇය ලැබූ ජයග්‍රහණවල මතකයන් රැසක්ම අපට ඉතිරි කරමිනි. මෙලෙසින් අභිමානවත් මතකයන් ඉතිරි කළ නෙට්බෝල් රැජනගේ අනාගත අපේක්ෂා දැල්වූ ආදර සිත්තම් රැඳී තිබුණේ ද මේ පුංචි රටෙන් එපිට ඉන්දියාවේය. ආදර දෙහදක් එකට බැඳෙන වසන්තයේ මිහිර රැගෙන ඇය සොයා ආ ඔහු ඉන්දියන් ජාතික ප්‍රසාත් නම් විය. උස සිරුරක් දරා සිටි ඇයගේ හදවතේ ගැඹුරුම තැන මහත් වූ ප්‍රේමයක් තැන්පත් කරන්න සමත් වූ ඔහු එම ප්‍රේමාන්විත ආදර කතාවේ උතුරා දෝර ගලන දිනය උදාකර ගන්නට පසුගියදා සමත් විය.

 

තර්ජනී ශිවලිංගම් නම් වූ දක්ෂතම දැල්පන්දු ක්‍රීඩිකාවකගේ හදවතට සමීප වන්නට වාසනාව උදාකර ගත් ඔහු සැබෑම වාසනාවන්තයකු වූයේ බොහෝ කලක් බලා සිටිමින්ය. දශක දෙකකට වඩා වැඩි කාලයක් මේ ලක් දෙරණ රන්, රිදී සම්මාන රැසකින් පිදුම් ලබන්නට දහඩිය වැගිරූ අභිමානවත් ක්‍රීඩිකාවක වූ ශිවලිංගම් ඒ සියල්ලටම පසුව තම ජීවිත සහකරුවා තෝරා ගන්නට ඇත්තේ හොඳින් සිතා බලා වන්නට ඇත. පුංචි තිතක් වූ අප පුංචි රට ලෝකයක් අවදි කරන්නට සමත් උපන් හපන්කම් පෑ තර්ජනී ගැන සමස්ත ශ්‍රී ලාංකේය ජනතාව සතුටු විය යුතු අතර, ඇයට සුබපැතීම ද අපගේ යුතුකමකි.

සුබ මොහොතින් ජීවිතයේ අලුත් පිටුවක් පෙරළෙන ශිවා ගැන අපි සැබැවින්ම සතුටු වෙමු. උතුරේ ගිනිදැල් මැදින් දකුණට පා තැබූ ඇය උතුර/දකුණ යා කරන පාලමක් ලෙසින් තම සහෝදර ක්‍රීඩිකාවන්ට ශක්තියක් වූයේ අනන්ත වූ කැපකිරීමක් කරමිනිි. ජීවිත තර්ජන මැද අභියෝග රැසකට මුහුණ දුන් කාලයක ඇය සියලු දේ පසෙක තබා ක්‍රීඩාව වෙනුවෙන් කැප වූයේ සිංහල භාෂාවේ වචනයක්වත් කතා කරන්නට නොහැකිව දකුණට පා තබමින්ය. එලෙසින්ම ඇය අප දැල්පන්දු කණ්ඩායමට එක් වූ දිනයේ සිටම ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් යුතුව මුහුණදීමේ ශක්තිය උදාකර දුන් ඇය " අක්කා..... නංගී . . . " ලෙසින් තම සහෘද ක්‍රීඩකාවන්ට කතා කරන්නට තරම් හැකියාවක් ලබා ගත්තේ ඉතාම කෙටි කාලයකිනි.

 

අප එකම ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස ලෝකය ඉදිරියේ සතුටු වූ බොහෝ අවස්ථාවලදී ශිවලිංගම්ගේ නම නොකියාම බැරි තරමට ඇය අපේකම උරුමකර දෙන්නට සමත් වූයේ

තම පෞද්ගලික ජීවිතයේ බොහෝ දේ අනාගතයට කල්තබමිනි. මෙලෙසින් කල් තැබූ අනාගත බලාපොරොත්තු අතර තමුන්ගේම කැදැල්ලක ආදරය, සෙනෙහස ලබන්නට සිහින මැවූ දිනය උදා වූ දිනයේ ඇය සමඟ සමීපව සිටි බොහෝ දෙනෙකුට ආරාධනා කළේ ඒ සතුට බෙදා ගන්නටය. ඒ අනුව ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමේ ඇය සමඟ ක්‍රීඩා කළ සහෝදරියන්ට ද අවස්ථාව උදාවිය. ඇය සමඟ වැඩිම කාලයක් ක්‍රීඩා කරමින් ශ්‍රී ලංකාවට ආසියානු කුසලානය උරුමකර දීමට නායකත්වය දුන් ශෂිකා සමරසිංහ ද මේ අවස්ථාවට සහභාගි වීම කැපී පෙනෙන සිදුවීමක් විය.