සඳගල පැන් පොකුණ රස කළ - රජරට දිමාගි

ඔක්තෝබර් 7, 2024

ආදරණීය හඬකට පුළුවන් ආත්මයක් සනහන්න. ඒ වගේ ආදරණීය හඬක් කෙනෙක්ට පිහිටන්නේ කලාතුරකින්. ඒ වාසනාවකටය. සමහර වෙලාවට ඒ වගේ හඬකට පුළුවන් කෙනෙක්ගේ හදවතට කතා කරන්න. පෑරුණු හිත්වලට සැනසිල්ලක් ගේන්නට. එහෙම හඬකින් ඇසෙන වචනයකින් නිවෙන්නට හැකි නම් එය කොතරම් දෙයක්ද. අද කියන්න යන්නෙත් ඒ වගේ ආදරණීය හඬකින් හිතකට වැසි වස්සන්න පුළුවන් හඬ පෞරුෂයක් ඇති යොවුන් ගායිකාවක් ගැන. ඇය මැදවච්චියේ පදිංචි දිමාගි තිමීෂා ඇල්ලෙවෙල. ක්ෂේත්‍රයට තවමත් නවක වුවත් පළමු ගීතයෙන්ම ප්‍රේක්ෂක ආදරය දිනා ගැනීමට හැකි වුණේ ඇගේ මේ හඬ පෞරුෂය නිසාමයි. තවම පාසල් අධ්‍යාපනය ලබන දිමාගි ඇගේ නවතම ගීය වන "සඳගල පැන් පොකුණේ" ගීතය ගැන කතාබහකට එක් වුණේ මේ විදිහට.

 

" සඳගල පැන් පොකුණේ" ගීතය කළේ සරසවිය පුවත්පතේ හිටපු කර්තෘ අරුණ ගුණරත්න මහතාගේ මෑණියන් වන තිලකා අයිරාංගනී මහත්මියගේ 90 වැනි උපන් දිනය නිමිතිකොට ගෙන. ඇය අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් වන වත්තෙවැව ධම්මානන්ද හිමියන්ගේ කුඩා කල ගුරුවරිය. උන්වහන්සේ හරහායි මට මේ ගීතයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණේ. පද රචනය කළේ අතුල සේනානායක ඔහුත් ඒ ගුරුවරියගෙන් අකුරු කළ කෙනෙක්. සංගීතය කළේ විශාරද කරුණාරත්න විජේවර්ධන සර්.

 

ගීත ගයන්න පටන් ගත්තේ කුඩා කාලයේ සිටමද?

 

මට මතක ඇති කාලයක ඉඳලම ගායනයට හරි කැමැතියි. මම සාමාන්‍ය පෙළ සඳහා නාට්‍ය හා රංග කලාව විෂයයක් විදිහට කළාට ඒ හා සමානව ගායනයටත් ලොකු උනන්දුවක් දැක්වූවා. ගොඩක් අය මට කිව්වෙ ගායනයට සුදුසු හඬක් මට පිහිටලා තියෙනවා කියලා.

 

ගායන කටයුතු එක්ක අධ්‍යාපන කටයුතු මඟහැරෙන්නේ නැද්ද?

 

මම සාමාන්‍ය පෙළ දක්වා අනුරාධපුර මහදිවුල්වැව විදුහලෙන් අධ්‍යාපනය ලැබුවා. ඊට පස්සේ වවුනියාව ශ්‍රී ධම්මරතන විද්‍යායතන පිරිවෙනට ඇතුළත් වුණා. මම දැන් 12 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබනවා. තාක්ෂණවේදය අංශයෙන් තමයි උසස් පෙළට පෙනී ඉන්නේ. මම හැමදේම සමබරව කරගෙන යන කෙනෙක්.

 

මේ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

 

මම උසස් පෙළ සඳහා පාසලට ඇතුළු වී ටික කාලයයි. ඉතින් පාසල තුළ මාව වැඩි දෙනෙක් අඳුරගෙන හිටියේ නැහැ. ඒ ගීතය කළාට පස්සෙ මාත් එක්ක ගොඩක් අය එකතු වුණා. අලුත් යාළුවෝ පිරිසක් ඇති වුණා. මං ගැන කට්ටිය කතා කරන්න ගත්තා. ඒ හැමෝම මාව තවත් දිරිමත් කළා. දැන් පාසලේ ගුරුවරු මාව ගායනා තරගවලටත් යොමුකරන්න උනන්දු වෙනවා. මින් පෙරත් තරගවලට සහභාගි වෙලා ජයග්‍රහණ ලබාගෙන තියෙනවා. සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත් පාසලේ මිතුරියන් සහ ගුරුවරු මට සුබපැතුවා. ඒ අය කොහොමත් දැනගෙන හිටියේ මම ඉක්මනින් ගීතයක් කරයි කියලා. මොකද ඒ අය මගේ ගායන හැකියාව හඳුනගෙන හිටියෙ.

 

මේ හැමදේටම ඔබේ සහයට ඉන්න පවුලේ අය ගැනත් මතක් කරමු.

 

තාත්තා නයන්ත රුක්මාල් ඇල්ලෙවෙල. ඔහු නාවික හමුදාවේ සේවයෙන් විශ්‍රාම ගිහින් ඉන්නේ. අම්මා සර්ධා සුමුදුනි සෙනවිරත්න. අම්මයි, තාත්තයි මගේ පාසල් කටයුතුවලට වගේම ගායන කටයුතුවලටත් ගොඩක් උදව් කරනවා. නංගි තිසන්‍යා සෙදසි ඇල්ලෙවෙල. එයා 8 ශ්‍රේණියේ ඉගෙන ගන්නේ. එයාටත් ගායන හැකියාව තියෙනවා. ඉතින් ගායනය පිළිබඳ හදාරලා තව ගීත කිහිපයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.