" ආදරෙයි උතුරන්න" කියන්නේ කවි පොතකට එහා ගිය කලා නිර්මාණයක්

සමෝධි බණ්ඩාර
ඔක්තෝබර් 21, 2024

 

ඇයට තිබුණේම කවිකාර හිතක්. ඒ නිසාම සයිබර් අවකාශය පුරාම ඈ ඒ කවිවලින් සිත්තම් කළේ හරි අපූරුවට. "ආදරෙයි උතුරන්න" කාව්‍ය සංග්‍රහය දොරට වඩින්නේ ඒ හරි අපූරු කවිවලට වටිනාකමක් දෙන්නටය. "කාල මේඝාම්බර" කිව්වම නම් සයිබර් අවකාශය තුළ ඇයව නොදන්න කෙනෙක් නැහැ. මොකද කාල මේඝාම්බර නාමයෙන් ඇය ලියන ලද "ආදරෙයි උතුරන්න" ගීතය හැමදෙනාගෙම මුවින් පිටවන ජනප්‍රිය ගීතයක් බවට පත්ව හමාරයි. ඒ ගීතයේ නමෙන්ම කවි පොතක් ලියු ඇය සමෝධි බණ්ඩාර. ඒ අපූරු කවි ලියන කවි හිත අපිත් එක්ක අදහස් බෙදා ගත්තේ මේ විදිහටයි.

 

මම හිතන්නේ, නිර්මාණ තුළින් මාව දැන හඳුනාගත් හුඟ දෙනෙක් මාව දන්නේ 'කාල මේඝාම්බර' යන නමින්. සමාජජාලා තුළ මම වැඩි වශයෙන් භාවිත කළේ ඒ නම. මම පොඩි කාලේ ඉඳන්ම ලියන්න හරි ආසයි.මගේ කුඩා කාලය නගර කීපයකම ගෙවුණත් දැනට මම ජීවත් වෙන්නේ පිළියන්දල නගරයේ. මම පාසල් කීපයකින්ම අධ්‍යාපනය ලබපු බවත් කියන්න ඕ‍ෙන. එයින් උසස් අධ්‍යාපනය අවසන් කළේ මාතර ශාන්ත මරියා කන්‍යාරාමයෙන්.

 

'ආදරෙයි උතුරන්න', මේ ඔබේ ප්‍රථම කාව්‍ය සංග්‍රහයද?

 

ඔව්, එය මගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහය. මා සයිබර් අවකාශයේ කවි ලිව්වත් මේ විදිහට පොතක් මුද්‍රණය කිරීමෙන් වැඩි පාඨක පිරිසක් මා වටා එකතු වුණා.

මේ කෘතියේ කවර සැකසුම ගගන වර්ණකුලසූරිය මල්ලී අතිනුත්, එහි පිටු සැකසුම සෙනෙවිරත්න අයියා අතිනුත් සිදු වුණා. පොත පාඨකයන් අතරට ගියේ රසකතා ප්‍රකාශනයෙන්. ඒ නිසා එහි අධ්‍යක්ෂක ධනුෂ්ක ලක්මාල්ව මතක් කරන්න ඕනේ. මේ කෘතිය කවි පොතකට එහා ගිය කලාත්මක නිර්මාණයක්. මොකද පිට කවරයේ ඉඳන්ම මේ පොත වෙනස්. පිටකවරයේ තියෙන්නෙ නිල් පැහැති මලක් අතින් ගත් ගැහැනු දරුවෙකුගේ රූපයක්. පොත ඇතුළ බැලුවොත් පිටු අතරත් ඔබට ඒ මලම බලාගන්න පුළුවන්. මුල සිට අගට පිටු වේගයෙන් පෙරළද්දී ඒ නිල් පැහැති මල පිපෙන ආකාරයෙනුත් අග සිට මුලට පිටු වේගයෙන් පෙරලද්දී ඒ නිල් පැහැති මල පරවෙන ආකාරයෙනුත් පොත් පිටු සකස් වෙලා තියෙනවා. ඒ වගේම මේ කෘතියේ කවි කිහිපයක්ම ගීත බවටත් පත් වුණා.

 

මේ පොතේ කවි ගීතවලට පෙරළුවේ කොහොමද?

 

කෘතියේ තියෙන බොහෝමයක් නිර්මාණ පොත මුද්‍රණය වෙන්නත් කලින්ම ගීත බවට පත් වී තිබුණා. එහි ඇති නිර්මාණවලින් 7ක් ගීත ලෙස දැනටමත් ඔබට රසවිඳින්න පුළුවන්.

 

පසිඳු ගංගාධර මල්ලී ගයන, "ආදරෙයි උතුරන්න, හැකියි නම් නිවෙන්න, අත්හැරීම හා ප්‍රේමයේ හිඩැස්" ඒ ගීතවලින් කීපයක්. ඔහු විසින්ම ගැයෙන "නිල් පාට මලක් වෙමි" නම් ගීතය මේ කෘතිය වෙනුවෙන්ම නිර්මාණය වූවක්.

නවීන් රංගන අයියා විසින් ගැයෙන "සංසාරයක පංගුව" හා සුලෝච සෞම්‍ය මල්ලී විසින් ගැයෙන "බස් රථය" යන ගීතත් මේ කාව්‍ය කෘතියට ඇතුළත් වෙනවා.

 

මේ කෘතිය පාඨකයා කෙතරම් දුරට වැලඳ ගනිවීද?

කෘතිය නිකුත් වෙලා දැනට මාස තුනහමාරක පමණ කාලයක් ගත වෙලා තියෙනවා. මේ වෙනකොට එය පවතින්නේ හතරවැනි මුද්‍රණ වාරයේ. දැනට පිටපත් හාර දහසක් (4වැනි 000) ක් ආදරණීය පාඨකයන් අතට පත් වෙලා අවසන්. ඒ කාලය ඇතුළත කෘතිය පිළිබඳ සමාජ මාධ්‍ය ඔස්සේ මට ලැබුණු ආදරණීය පණිවුඩ, පින්තූර, කවි සහ සිතුවම් හින්දම, පාඨකයන් දැනටමත් මගේ කෘතිය ආදරයෙන් වැලඳගෙන ඇති බවට මම විශ්වාස කරනවා. ඉතින් මගේ කුලුඳුල් කාව්‍ය සංග්‍රහයට ඔවුන්ගෙන් ලැබෙන ඒ ආදරණීය ප්‍රතිචාරවලටත් හුඟක් ස්තූතිවන්ත වෙන බවත් සඳහන් කරන්න ඕ‍ෙන.

 

මේ කෘතියේ සංයුතිය ගැන කතා කළොත්.

අවුරුදු කීපයක් තිස්සේ ලියවුණු කවි ගොන්නකින් සීරුවට තෝරා ගත්තු කවි පොකුරක් තමයි කෘතියේ අන්තර්ගත වෙලා තියෙන්නේ. කෘතියේ නමින්ම කියැවෙන විදිහට එහි එන කවි ප්‍රේමය යන තේමාව ඔස්සේ ගලාගෙන යනවා. ප්‍රේමය පාදක කොටගෙන උපදින විවිධ හැඟීම් හමුවන කවි එකතුවක් ඔබට එහි දැකගන්න පුළුවන්.

කෘතියේ එන කවි සංඛ්‍යාව අනෙක් අතට දෙපාරකට ලිව්වොත් එන අගයෙන්, මම උපන් මාසය සහ දිනය කීමත් මේ කාව්‍ය සංග්‍රහයේ සැඟවුණු තවත් පුංචි රහසක්.