‘ගොළු හදවත’ කතා කරවූ අනුලා

පෙබරවාරි 10, 2025

අනුලා කරුණාතිලක යනු ලාංකේය නළු නිළි පරපුර අතර විශිෂ්ටතම රංගවේදිනියක ලෙස අභිෂේකලත් කාන්තාවකි. ඇය ප්‍රෙක්ෂකයා ඇද බැඳ තබා ගනිමින් ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නඟින්නේ ‘ගොළු හදවත’ චිත්‍රපටයෙනි කරුණාසේන ජයලත්ගේ ජනප්‍රියම නවකතාව වූ ‘ගොළු හදවත’ තුළ එන දමයන්ති නොහොත් දම්මී වූකලී හැටේ සහ හැත්තෑවේ දශකවල තරුණ පරපුර අතර ඉමහත් ආන්දෝලනයකට තුඩුදුන් චරිතයකි.

 

පාසල් ශිෂ්‍යාවක වූ දම්මි, සුගත් නැමැති

ශිෂ්‍යා කෙරෙහි දැක්වූ අපූර්ව ෙසනෙහස_ දයාව සහ ආදරය ඔහුගේ ලේ මස් ඇට මිදුළු ඔස්සේ දිවයෑමෙන් ඔහු තුළ ඇති කළ ආනන්දය - ප්‍රීති ප්‍රමෝදය අවසානයේ නොනිමි වේදනාවක් බවට පත්වූ ආකාරය ‘ගොළු හදවත’ නවකතාව තුළ විත්‍රනය විය. හුදෙක් පාසලේ පන්ති කාමරයට පමණක් සීමා වූ දම්මිගේ ආදරය අහිමිවීමෙන් සුගත් ලැබූ ආත්ම පරාජය - වේදනාව ඔහුගේ මුළු ජීවියම අඳුරු අගාධයකට ඇද දැමීමක් විය. දම්මි පිළිබඳ සුන්දර මතකයන් අවදි කරමින් ස්වකීය වේදනාව මත්පැන් මඟින්

සමනය කර ගන්නට සුගත් දැරූ උත්සාහය හැටේ සහ හැත්තෑවේ දශකවල ප්‍රේමයෙන් පරාජය වූ තරුණයෝ පරමාදර්ශ කොට ගත්හ.

 

සුගත් මුහුණ දුන් ඛේදවාචකයට දම්මි වගකිවයුතු බවද, ඇගේ ක්‍රියාව තුළින් ස්ත්‍රියගේ චපල බව මූර්තිමත් කරවන බවටද එවකට ගොළු හදවත ඔස්සේ ගොඩනැඟුණු සාහිත්‍ය සහ සමාජ

කතිකාව තුළ උත්කර්ෂයට නැංවිණි. එසේ වුවද දම්මිගේ ක්‍රියා කලාපය ස්ත්‍රී චපලත්වය පිළිබඳ ප්‍රශ්නයක් නොව ඇගේ චෛතසිකයේ සංකීර්ණත්වය පිළිබිඹු කිරීමක් ලෙස විග්‍රහ කරන්නට ජයලත් ස්වකීය නවකතාව තුළ උත්සාහය ගෙන තිබිණි.

 

දම්මි තුළ සුගත් කෙරෙහි වූයේ හුදු පාසල් ශිෂ්‍යයකු වෙත දැක්වුණු ළෙන්ගතුකමක් - දයාවක් පමණක් ද? ඊට එහා ගිය ආදරයක් - ප්‍රේමයක් ඇය තුළ නොවිණිද? ඇගේ චර්යාවන් තුළ එවැනි හැඟීමක් ප්‍රකට නොවූයේ ද? පාසලට අලුතින් එක්වූ සුගත් දුටු පමණින් ‘ අර ළමය හරි වැදගත් පාටයි නේද? ’ යනුවෙන් දම්මි යෙහෙළියක සමඟ පවසන්නේ ඇය තුළ ක්ෂණික ඇතිවූ කිසියම් හැඟීමක් නිසාද? සුගත් සමඟ ඇය පැවැත් වූ කෙටි ඇසුර ආදරය ඉක්මවු ප්‍රේමයට ළංවූ මනෝභාවයක් පිළිබිඹු

නොකරයිද? කුඩා කල සිට තමා ඥාති සොහොයුරකුට විවාහ කර දෙන්නට මවුපියන් ගිවිසගෙන ඇති අයුරු දැන දැනම දම්මි ඒ බව සුගත්ට නොකීවේ මක් නිසාද? දම්මිගේ චරිතය තුළින් මතුවෙන මේ සංකීර්ණත්වය ‘ගොළු හදවත චිත්‍රපටය’ තුළ පිළිබිඹු කිරීම අනුලා කරුණාතිලකට කෙරුණු අභියෝගයකි. එය ඇයට අභියෝගයක් වන්නේ ඒ වන විට දම්මි සමාජ ගත කිසියම් ප්‍රතිරූපයක් වට පත්ව සිටි බැවිනි. පරපුරක් ආදරය කළ ඒ ප්‍රතිරූපයට අනුලාගෙන් හානියකක් විය නොහැකිය. එසේ වූයේ නම් දම්මිගේ චරිතය මත රඳා පවතින චිත්‍රපටයේ සමස්ත අර්ථය බිඳ වැටෙනු ඇත.

අනුලා කරුණාතිලකට ඇත්තේ අතිශය හැඟීම්බර මුහුණකි. අතිශය සොම්නස් සහගත අවස්ථාවලදී ඇගේ දෙතොල මත නැඟෙන සිනහවත් සමඟ දෑසද සොම්නසින් දිදුලයි. දෙකොපොල ලෙයින් පිරී ඒ ඔස්සේ ද සොම්නස උතුරා ගලනු පෙනේ.

 

කරුණාබර අවස්ථාවලදී ඇගේ මුහුණේ ඇඳෙන දයාර්ද බව තවුස්දම් වඩන්නියක සිහිපත් කරවයි. දොම්නස් සහගත අවස්ථාවකදී අතිශය හැඟුම්බර ඇගේ මුහුණ වේදනාවේ ප්‍රතිමූර්තියක් වැන්න. ඒ මොහොතේ ඇයගේ දෑස නිදිබර වෙයි. දෙතොලද දෙකොපලද මිලාන වී යයි. අනුලාගේ මුහුණේ සැඟවී ඇති එම භාව ප්‍රකාශන ශක්තීන් ඇයට විශිෂ්ට රංගවේදිනියක වීමේ ශක්‍යාතාව වැඩි කරයි.

 

අනුලාගේ එම භාව ප්‍රකාශන ශක්තිය උපරිම ලෙසට සූරා ගැනීමේ කාර්යයට අත ගසන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ය. ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්ෂණය කළ ‘ගොළු හදවත ‘ චිත්‍රපටය අනුලාගේ රංග භාවිතාවේ අද්විතීයම අවස්ථාව විය. අනුලා එහි දමයන්තිගේ චරිතය ප්‍රතිනිර්මාණය කළේ නවකතාව තුළින් පාඨක මනසේ ඇඳුණු දමයන්තිට පිරිපුන් ජීවමාන අර්ථකථනයක් එක් කරවමිනි.

හැටේ දශකයේ තරුණියකගේ චර්යාවන් වත්මන් තරුණියකගේ චර්යාවන්ගෙන් බොහෝසෙයින් වෙනස් විය.

 

ප්‍රේමය හමුවේ අද තරුණියනට ඇති නිදහස ඇයට නොතිබූ අතර ඒ දශකයේ ප්‍රේමයද ආධ්‍යාත්මක විය. පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පැවැති ප්‍රේමය තුළ වුවද එබඳු ආධ්‍යාත්මක බවක් දිස්විය. දම්මි ඒ දශකයේ තරුණියකගේ ආධ්‍යාත්මයේ ප්‍රතිමූර්තියක් වැන්න. එහෙයින් දම්මි

ගේ චරිතය සුලබ ප්‍රේම වෘත්තාන්තයක් තුළ එන භාවතිශය අවස්ථාවන්ගෙන් මිදුනේ වෙයි. ඇගේ සිනහවක - දඟකාර බවක - විහිළුවක වුවද කිසියම් සංයත බවක් ඇත. එබැවින් එම චරිතය මූර්තිමත් කිරීමේදී එකී සංයත බව රැකෙන ආකාරයේ රංගනයක යෙදෙන්නට අනුලාට සිදු විය. ඒ රංගනය තුළ ආංගික අභින - වාචිකාභින- සාත්විකාභින සියල්ල මනා ලෙස කපා කොටා කළමනාකරණය කර ගන්නට අනුලාට සිදු විය.

ඇය ඒ සියල්ල මනා ලෙස පිරිපහදු කර ගනිමින් ඇගේ බාහිර ස්වරූපයෙහි දිස්වන භද්‍ර යෞවනයේ චමත්කාරය ද උත්කර්ෂයට නංවන්නේ අතිශය හෘදයාංගම, සියුම් භාව ලීලාවකිනි.

 

අනුලා කරුණාතිලක එම අභියෝගය සාර්ථක ලෙස ජය ගත් අයුරු ‘ගොළු හදවත’ චිත්‍රපටයේ සෑම රූප රාමුවක්ද හඬගා කියයි. අනුලා දම්මි ලෙස පෙනී සිටින සෑම රූප රාමුවකම ඇගේ පියකරු භාව පූර්ණ මුහුණ දම්මිගේ ඇතුළු හදවත කියැවිය හැකි කැඩපතක් සේ විය.

 

‘ගොළු හදවත’ චිත්‍රපටයේ ප්‍රබල අවස්ථා වලදී සෑමවිටෙකම සමීප රූප සහ අති සමීප රූප යොදා ගැනීම නිසා අනුලාට දම්මිගේ චරිතයෙහි ක්ෂණික වෙනස්කම් - ඇය තුළ සුගත් නිසා ඇතිවන පහන් හැඟුම් සහ ඒ හැඟුම් ඇතැම් විට විවෘත ලෙස පෙන්වා- ඊළඟ මොහොතේ ඒ හැඟීම් ප්‍රෙමය ලෙස ප්‍රකාශ කිරීමෙන් වළක්වා ගැනීමට දරන ආයාසය ආදී සියලු චිත්තාවේග දැනවීම සඳහා සාත්වික අභිනයම යොදා ගැනීමට සිදු වෙයි. ඇය එම දුෂ්කර කාර්යය බෙහෙවින් ජයගෙන ඇති ආකාරය ‘ගොළු හදවත’ චිත්‍රපටයේ එන ප්‍රබල අවස්ථා තුළින් දැකිය හැකිය.