ලංකාවේ නර්තන කලාව ලෝකයටම ගෙන යන නර්තන ආචාරිනිය - හංසනී පෙරේරා

ඔක්තෝබර් 21, 2024

නර්තනය වූ කලී ඈත ඉතිහාසයක් ඇති ජන ජීවිතය හා අත්‍යන්තයෙන් බැඳුණු සෞන්දර්යාත්මක කලාවකි. නර්තනයට කළ හැකි දේ බොහොමයි. කායිකව මානසිකව සහ සෞන්දර්යාත්මකව විවිධ ඉසව් කරා නර්තනයට බොහෝ දුර යා හැකිය. ලෝකයේ පවතින නර්තන කලාවන් අතරින් ශ්‍රී ලංකාවේ තිබෙන්නේ වසර ගණනාවක් පැරණි ප්‍රෞඩ ඉතිහාසයක් සහිත වෙනමම නර්තන කලාවක්. අද කියන්නේ ඒ නර්තන කලාව ලෝකයටම ගෙන යන ගුරුවරියක් ගැන. ඇය හංසනී පෙරේරා. කැලණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරිනියක වන ඈ බුධවත්ත කලායතනයෙන්, රවි බන්දු විද්‍යාපති කලායතනයෙන් සහ මල්ලිකා විලියම් නර්තන ආචාර්යවරියගෙන් නර්තනය ප්‍රගුණ කොට ඇත.

ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ නර්තන ආචාර්යවරිය විදිහට අවුරුදු 16ක් සේවය කළ ඇය පසුගිය වසරේදී පාසල් ගුරු සේවය නිමා කළා. නමුත් ඇය ඉන් ඔබ්බට යමින් අලුත් නර්තන පරම්පරාවක් ලොවට දායාද කිරීමට අමතක කළේ නැහැ. නර්තනා - 2024 ඇය පසුගියදා පැවැත්වූ නර්තන ප්‍රසංගයයි. මේ ප්‍රසංගය ගැන ලෝකයේම කතාබහට ලක් වීම විශේෂයි.

“නර්තනා - 2024” ප්‍රසංගය පවත්වලා සති කිහිපයක් වෙනවා. මේ ප්‍රසංගයේ වීඩියෝ කිහිපයක් මම සමාජ මාධ්‍ය ජාලාවලට එකතු කළා. දෙස් විදෙස් බොහෝ ප්‍රතිචාර එයට ලැබුණා. මේ ප්‍රසංගය පැවැත්වුණේ කොළඹ ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිරයේ. කුඩා දරුවන්ගේ ඉඳලා වැඩිහිටියන් දක්වාම එහි නර්තන අංග සඳහා සහභාගි වුණා. වයස අවුරුදු 4 දරුවගේ ඉඳලා අවුරුදු 50 දක්වාම මගේ යටතේ ඉගෙන ගන්න අය ඉන්නවා. වෛද්‍යවරු, ගෘහ නිර්මාණ ශිල්පීන්, නීතිඥවරුන් පවා මේකට සහභාගි වුණා. වයස් භේදයක් නැතිව තරාතිරමක් නැතුව මේවගේ කලාවක් හදාරන එක අද කාලේ හැටියට වෙනස් දෙයක්"

ඔබට ලංකාවේ වගේම විදෙස් රටවලත් සිසු පිරිසක් ඉන්නවා...?

පාසල් ගුරු සේවයෙන් පස්සෙ මම කැනඩාවේ පදිංචියට ආවා. හැබැයි මම බත්තරමුල්ලේ පවත්වාගෙන යන නර්තන කලායතනයත් ඒ විදිහටම පවත්වාගෙන යනවා. 2009 අවුරුද්දේදී තමයි මම එය ආරම්භ කළේ. එහි ශාඛාවක් කැනඩාවෙත් ආරම්භ කළා. දැන් මෙහෙත් ළමයි ඉගෙන ගන්නවා. එතකොට මෙහෙ මගෙන් ඉගෙන ගත් දරුවන් මගේ ඇකඩමියේ ඉගැන්වීම් කටයුතු කරනවා. ඒ හැම වෙලාවකම මම ඔන්ලයින් ලොග් වෙලා ඒ ක්ලාස්වලට සම්බන්ධ වෙනවා.

පිටරටක ඉද්දී නර්තනා මෙතරම් සාර්ථකව පැවැත්වූයේ කොහොමද?

මමත් ලංකාවේ නැති නිසා මගේ ළමයි ලොකු වගකීමක් අරගෙන තමයි මේ අයට උගන්නන්නේ. මම ඉතින් සමහර ඩාන්ස් රෙකෝඩ් කරලා මෙහෙට දානවා. එයාලා පුහුණු කරනවා. එයාලා පුහුණු වෙන වීඩියෝස් මට එව්වම මම අඩු පාඩු කියලා දෙනවා. ඩාන්සින් ෆෙස්ටිවල් එකකට අපි ඊජිප්තු ගියා. ඒ ගමන් තමයි ලංකාවට ආවේ. ඒ ආපු ගමන් කලායතනයේ ප්‍රසංගයත් හොඳින් කළා.

සාම්ප්‍රදායික නර්තන අංග, ගැමි නැටුම්, නිර්මාණාත්මක නැටුම් ඒ හැමදේම එකතු කරලා හරි ලස්සනට මේ ප්‍රසංගය අපි ඉදිරිපත් කළා.

හංසනී කලායතනයෙන් ඉදිරිපත් කළ පාහිම්පත් උත්සවයත් බොහෝ දෙනාගේ කතා බහට ලක් වී තිබුණා.

මේ කලායතනයේ වැඩිහිටි සිසු සිසුවියන් පසුගිය ජනවාරි මාසේ පාහිම්පත් තිබ්බා. සාමාන්‍යයෙන් පාහිම්පත් තියන්නේ අවුරුදු 18 - 20 වගේ තරුණ වයස්වල අයනේ. හැබැයි මේ පාහිම්පත් උත්සවයේ හිටපු 6 දෙනෙක්ම විවාහ වෙලා දරුවනුත් ඉන්න අය. ඒ ඔක්කොම අවුරුදු 35ට වඩා වැඩි අය. නර්තනාභිමානි නමින් තමයි අපි පාහිම්පත් උත්සවය කළේ. ඒක විශේෂ අවස්ථාවක්. ඒ වගේම නර්තනය විෂයයක් විදිහට කරන දරුවන්ට අපි ප්‍රායෝගික පුහුණුව වගේම න්‍යායාත්මක දැනුමත් ලබා දෙනවා. පසුගිය ප්‍රශ්න පත්‍ර කිරීම ඇතුළු සෑම දැනුමක්ම මෙතැනින් ලබා දෙනවා. දැන් හැමෝම වගේ ජීවත් වෙන්නේ ලොකු ආතතියකින්. හැබැයි ඒ මේ ආතතිය දුරු කරන්න නර්තනයට පුළුවන්.