එයා බබාලා බලාගන්න විදිහ ගැන අපි හැමෝටම පුදුමයි

ශේෂාද්‍රි ප්‍රියසාද්
පෙබරවාරි 26, 2024

හැමෝම ආදරේ කරන ජනප්‍රිය කලා පවුලක් තමයි ප්‍රියසාද් පවුල කියන්නේ. ප්‍රියසාද් පවුලේ දිනක්ෂි, ශනුද්‍රි සහ ශේෂාද්‍රි අතර තියෙන්නේ සහෝදර බැඳීමකට එහා ගිය අපූරු මිත්‍රත්වයක්. දිනක්ෂි සහ ශනුද්‍රි කලා ලෝකය තුළ නිතර නිතර පුවත් මවන චරිත වුණත් ශේෂාද්‍රි කාලයක් නිහඬව ඉඳලා ආයෙක් සිනමාව තුළින් දකින්න ලැබෙනවා. කලක් රිදී තිරයේ ඉහළම තලයේ ජනප්‍රියත්වයක් ලැබූ ඇය දැන් පුංචි දියණියකගේ මවක්. සාර්ථක ගෘහිණියක්, බිරිඳක් වගේම මවක් හැටියට ඇය ගත කරන ජීවිතය ගැන කතා බහ කරන්න තරුණී සමඟ මෙසේ කතා බහකට එකතු වුණා.

කාලයක් නිහඬව හිටපු ශේෂාද්‍රි අයෙත් සිනමාවට ඇවිල්ලා....

බබා ලැබුණට පස්සේ මම ලොකුවට කලා නිර්මාණවලට සම්බන්ධ වුණේ නැහැ. වීර්යා සහ සිහිනයකි ආදරේ සිනමාපට දෙක මෑතකදී තිරගත වුවත් ඒවායේ රූගත කිරීම් කරලා බොහෝ කාලයක් වෙනවා. වීර්යා චිත්‍රපටයේ මම නිරූපණය කරන්නේ තිලිණි කියන චරිතය. ඇය දඟකාර, කටකාර තරමක් සැර චරිතයක් කිව්වොත් හරි. සිහිනයකි ආදරේ කියන්නේ ආදර කතාවක්. සැහැල්ලුවෙන් ජීවිතය ගෙනයන දිව්‍යාගේ චරිත නිරූපණයට මම දායක වෙනවා. ඒ චරිත දෙකේ සමහර දේවල් මගේ ඇත්ත ජීවිතය තුළත් තිබෙනවා.

ඔබ දැන් ආදරණීය මවක්. ඉතින් මවකගේ භූමිකාව ඔබට දැනෙන්නේ කොහොම ද?

මගේ ජීවිතයේ මම ආසාවෙන්ම කරන දේ ඒ භූමිකාව කිව්වොත් හරි. මට ජීවිතයේ මොනවද අවශ්‍ය කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මම කියන්නේ මවක් වෙන එක. ක්‍රිෂාර්යා එක්ක ගත කරන එක මට අලුත් අත්දැකීමක්. මට ජීවිතයේ ලැබුණු තෑග්ගක් ඒක. එයාට වයස අවුරුද්දයි මාස 9ක් වෙනවා.

මවක් බිරියක් ලෙස කලා කටයුතුවල නියැලෙන්න කාලය කළමනාකරණය කරගන්නේ කොහොම ද?

කාලය තමයි මට තියෙන ලොකුම අභියෝගය. බබාගේ වැඩකටයුතු ගෙදර දොරේ කටයුතු අතපසු නොවෙන විදිහට ඒ දේවල් කරන්නයි මම උත්සාහ ගන්නේ. මොකද මම වැඩකට සම්බන්ධ වෙනකොට මගේ මනස නිදහස් වෙන්න ඕනේ. ඒ නිසා භාරගත්ත වැඩකට යන්න කලින් මම සෑහෙන්න සැලසුම් කරලයි යන්නේ. මොකද කරන වැඩේ හරියටම කරගන්න ඕනෙනේ. බබත් එක්ක මට ලොකු කාලයක් කලාවට යොදවන්න අමාරුයි. මම වැඩකට එළියට යනව නම් මගේ අම්මා හරි නැත්නම් සැමියා ක්‍රිෂාන්ගේ මව හරි බබා බලාගන්නවා. ශනුත් බබා බලාගන්න වැඩවලට සෑහෙන්න උදවු කරනවා.

ඔයාගේ බබා ක්‍රිිෂාර්යවයි දිනක්ෂිගේ බබා සාරණ්‍යවයි ශනූ පුංචි හරි ආදරෙන් බලා ගන්නවා කියලා ගොඩක් අය කියනවා...

ඇත්තටම ශනූ අම්මා කෙනෙක් වගේ එයාලව බලාගන්නේ. ශනූ තවම අම්මා කෙනෙක් නොවුණත් එයා බබාලාව බලා ගන්න විදිහට අපිටත් පුදුමයි. ශනූ හරිම ආදරණීය විදිහට හරි ලස්සනට ඒ වැඩ ටික කරනවා. සාරණ්‍යාට කිරි පොවන එක, නාවන එක, නිදි කරවන එක හරි ලස්සනට කරනවා. අපේ බබාටත් එහෙමයි. ක්‍රිෂාර්යාට තවම වචන කතා කරන්න අමාරුයි. ඒ වුණාට ශනූට සුන්සා සුන්සා කියලා කතා කරනවා. පුංචා කියන එක තමයි එයා ඒ කියන්නේ. ශනූ කොහෙ හරි ගිහින් එද්දි ඒ දෙන්නට පොඩි හරි දෙයක් ගේන්න අමතක කරන්නේ නැහැ. ඒ නිසා බබාලා දෙන්නා ශනූට හරි ආදරෙයි.

ප්‍රියසාද් පවුල කියන්නේ හරිම සතුටින් ඉන්න පවුලක්. පවුලේ මේ සතුට හැමදාමත් ඒ විදිහටම තියාගන්න මැදිහත්කරු වෙන්නේ කවු ද?

අපි හැමෝම ගොඩක් කාර්යබහුලයි. නමුත් අපි කොහොම හරි වෙලාව හදාගන්නවා පවුලේ සතුට රඳවා ගන්න. මොන වැඩේ තිබුණත් පවුලේ හැමෝම සතියකට සැරයක් එකතු වෙනවා. අක්කිගෙයි නංගිගෙයි විශේෂ අවස්ථා මම කවදාවත් මඟහැරගෙන නැහැ. මොකද මොන දේ තිබ්බත් අන්තිමට අපිට ඉතුරු වෙන්නේ පවුල විතරයි. අපි විවාහ වෙලා වෙනම ජීවිත ගත කළා කියලා ඒ කාලේ පවුල ඇතුළේ පවත්වාගෙන ගිය පුරුදු නවත්තන්නේ නැහැ. අපේ පවුලේ වට්ස්ඇප් ගෲප් එකක් තියෙනවා. එකේදී අපි යන්න ආස තැන් කරන්න කැමැති දේවල් ගැන අදහස් හුවමාරු කරගන්නවා. එහෙම බලලා අපි නිතර ඇවිදින්න යනවා. ඒ දේවල් තමයි පවුලේ සතුට කියන්නේ.

ඔබ සිනමාවට එන්නේ චැලෙන්ජර් චිත්‍රපටයෙන්. එදා ඔබට තිබූ ජනප්‍රියත්වය තවමත් ඒ විදිහට ලැබෙනවා. එය පවත්වාගෙන යන්නේ කොහොම ද?

මම දැන් වැඩියෙ සිනමාවේ නැති වුණත් ඒ ජනප්‍රියත්වය ඒ විදිහටම තියෙන්න දිනක්ෂියි, ශනුද්‍රියි හේතුවක් කියලා මම හිතනවා. එයාලට ලැබෙන ජනප්‍රියත්වයෙන් මටත් කොටසක් ලැබෙන්නේ මමත් ඒ පවුලෙම කෙනෙක් නිසයි. එයාලා ගැන කවුරුහරි කතා කළොත් ඒ කෙනා මා ගැනත් කතා කරන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම මගේම යූ ටියුබ් චැනලයක් පවත්වාගෙන යනවා. එදිනෙදා කරන සමහර වැඩ... බබාගේ දේවල් මං ඒකට එකතු කරනවා. ඒ ඔස්සේත් එදා තිබුණ රසික ආදරය ජනප්‍රියත්වය ඒ ආකාරයෙන්ම ලැබෙනවා. අපේ පවුල හරිම නිහතමානී සතුටින් ඉන්න පවුලක්. ඒ බැඳීමට ගොඩක් අය කැමැතියි. ඒ දේවල් හේතුවක් වෙන්න ඇති ජනතා ආදරය ලබන්නට.

ගෙවුණු කාලය ගැන මොකද හිතෙන්නේ?

ගෙවුණු කාලය අත්දැකීම් ගොඩක් ලැබුණු කාලයක්. අවුරුදු පහකට වැඩි කාලයක් මාව ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබුණේ නැහැ. ඒ කාලෙදි තමයි මම ගොඩක් දේවල් තේරුම් ගත්තේ. අද මම මේ තැන මේ තරම් සතුටින් ජීවත් වෙන්නේ ඒ ලබා ගත් අත්දැකීම්වල පන්නරය නිසා. අද මම මනස නිදහස්ව තියාගෙන හරිම සතුටින් ජීවත් වෙනවා.