මල්ලි පැවිදි වුණාට පස්සේ තමයි මටත් පැවිදිවීමේ ආසාව ඇති වුණේ

මම මහණ වෙනවා කියලා පුතා එකපාරටම කිව්වා
පෙබරවාරි 26, 2024

 

මේ ආදර්ශවත් සිදුවීම ගැන සටහනක් නොතියාම බැරිය. ඒ තරමටම මෙය වැදගත්ය.එසේම බෞද්ධයකු ලෙස මෙය මෙලොවදී ලැබිය හැකි වටිනාම පුණ්‍යකර්මයකි. සම්බුද්ධ ශාසනය තුළ ලැබිය හැකි වටිනාම පදවිය වන්නේ පැවිදි බව ලැබීමය.

එම උතුම් පදවිය ලබන්නට සැමටම පින් මහිමය නොතිබෙයි. එසේම එවැනි උතුම් වූ පුණ්‍ය කර්මයකට දායකවීමට සිත් පහළවීම පවා විශාල භාග්‍යයකි.

දෙරණ නාළිකාව ඔස්සේ දීර්ඝ කාලයක් ටෙලි නාට්‍යයක් ලෙසින් දිග හැරුණු ‘සිඳු‘ වෘත්තාන්තය ද එවන් පිං බිමක් වටා ගෙතුණු ආදර්ශවත් කතාවකි. එම ටෙලි නාට්‍ය විශාල ප්‍රේක්ෂක පිරිසකගේ ආකර්ෂණය දිනා ගනිමින් දීර්ඝ කාලයක් විකාශය වුයේ එහි එන පුංචි හාමුදුරුවන්ගේ තාත්වික රංගනය නිසාමය. කුඩා සාමණේර නමක් ලෙස තම අභිනය වඩාත් හොඳින් නිරූපණය කළ සෝරත පොඩි හාමුදුරුවන්ගේ චරිතයට වැඩිහිටි, තරුණ, කුඩා දරුවන් සියලු දෙනා එක ලෙසින් ආදරය කළේ එම චරිතය නිරූපණය කළ කවීෂ විහඟ පුතාගේ රංගනය කවදාවත්ම ප්‍රේක්ෂකයන්ට අමතක නොවෙයි.

මෙලෙසින් නළුකමට, රංගනයට පුංචි හාමුදුරු චරිතයකට පණ දුන්න බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන 13 හැවිරිදි කවීෂ පුතා පසුගිය දා ඇත්තටම පැවිදි දිවියට පිවිසීම සුවිශේෂි සිද්ධියකි. මේ උතුම් වූ පුණ්‍ය කර්මය පසුගිය දා සිදු වුණේ මහනුවර සුන්දර පුණ්‍ය භූමියක් වන පෙතිගේපිටිය රජමහා විහාරයේදී. ඉතාම චාම්ි ලෙසින් පැවැති මෙම පැවිදි කිරී‍ෙම් උත්සවය සඳහා කවීෂ විහඟ කුළ කුමාරයාගේ ආදරණීය මවුපියන් සහ නෑ හිතවතුන් සහභාගී වූ අතර ඔහුගේ සහෝදරයා වන දස හැවිරිදි පිළියන්දල විශුද්ධිරතන හිමියන් ද සහභාගී වුහ.

රජ අැඳුම් ඇතු ඉතාම අලංකාර වූ වස්ත්‍රාභරණයෙන් සැරසී සිටි මේ කුල කුමාරයා පිළියන්දල සම්බුද්ධි රතන හිමි නමින් පැවිදි වූ පසුව තමා මහන දම්පුරණ ආකාරය ගැන සඳහන් කළේ මෙලෙසිනි.

“කාලයක් තිස්සේ මට පැවිදිවීමේ ආසාවක් තිබුණා. නමුත් මට කලින් මල්ලි මහණ දිවියට පිවිසුණා. ඊට පස්සේ මටත් මහණවීමේ කැමැත්තක් තිබෙන බව ලොකු හාමුදුරුවන්ට ප්‍රකාශ කළා. උන්වහන්සේ කිව්වා මම කැමැති නම් මහණ වෙන්න කියලා.

ඇත්තටම මම රඟපාන කාලේ නම් මහණවීමට එතරම් කැමැත්තක් තිබුණෙත් නැහැ. අදහසක් තිබු‍ෙණත් නැහැ. නමුත් මල්ලි පැවිදි වුණාට පස්සේ තමයි මටත් පැවිදිවීමේ ආසාව ඇති වුණේ. දැන් මල්ලි මහණවෙලා මාස තුනක් වෙනවා.

මට පැවිදි වෙලා ඉෂ්ට කරගන්න අපේක්ෂා කරන අරමුණු කිහිපයක්ම මගේ හිතේ තියෙනවා. ඉන් එක් අරමුණක් තමයි ලංකාවේ තිබෙන සෑම පන්සලකටම වැඩලා බණ කියන්න. ඒ වගේම ‍ෙචෙත්‍ය රාජයානන් වහන්සේ නමක් ඉදි කිරීම හා පිළිම රාජයායණන් වහන්සේ නමක් ඉදිකිරීමත් තමයි මට තිබෙන විශාලම අපේක්ෂාව. මම මේ දේවල් කරන්නේ මගේ රට වෙනුවෙන් සහ සම්බුද්ධ ශාසනය වෙනුවෙන්.

මම පැවිදි ‍වෙනකොට අම්මා ඒකට කැමැති වුණා. නමුත් තාත්තා නම් ඒ තරම් කැමැති වුණේ නැහැ. සමාජයේ මතයක් තියනවා අඩු වයසින් මහණ කිරීම සුදුසු නැහැ කියලා. ඒ වුණාට සැරියුත් හාමදුරුවන්ට සහෝදරයන් හත් දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ හත් දෙනාම මහණ වෙලා තියනවා. ඒ හත්දෙනාම එක අම්මගේ. රාහුල කුමාරයා මහණ දම් පිරුවේ අවුරුදු හතේදී. මහණ දම් පිරීම සඳහා වයස සීමා පිළිබඳ ගැටලුවක් නැහැ. තමුන්ගේ හිතේ ශක්තිය තියනවා නම් මහණ දම් පුරන්න පුළුවන්.

‘මේ මහණ දම් පිරිමේ පිංකම අවසාන වීමෙන් පසුව ඒ සඳහා මුල පිරූ පෙතිපෝපිටිය රජමහා විහාරයේ විහාරාධිපති අකුරණ ශාසනාරක්ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පරණගම නන්දරතන නාහිමියන් අදහස් දක්වමින් සඳහන් කළේ මෙලෙසිනි.

‘මේ කුල දරුවා සුබ නැකතින් පැවිදි දිවියට පිවිසීම ඉතාම සතුටුදායක සිද්ධියක්. ඇත්තටම මේ රටක් ලෝකයක් දන්න දරුවෙක්. මේ දරුවා අද උදෑසන 7.12 පමණ මේ විහාරයේ දී මගේ සිසු හිමිනමක් ලෙස පැවිදි දිවියට පිවිසියේ. දරුවාගේ පවුලේ සමාජිකයන් හා මා අතර දීර්ඝ කාලයක් සම්බන්ධයක් නොතිබුණත් මෑත කාලයේ හොඳ සම්බන්ධයක් තිබෙනවා. ඒ වගේම අපේ කොටුවේගෙදර මාතලේ විද්‍යාරත්න පිරිවනේ විහාරාධිපති හිමියනුත් මේ දරුවාගේ පවුලට සම්බන්ධයක් තියෙනවා. ඒ අනුව තමයි පිළියන්දල සිට නුවර ප්‍රදේශයේ මහණවීම සඳහා තීරණය කළේ. මේ දරුවාගේ සහෝදරයා තමයි මුලින් පැවිදි දිවියට පිවිසුවේ. ඒකට හේතු වුණේ අයියා පුංචි හාමුදුරු කෙනෙක් ලෙස රංගනයේ යෙදීමයි. බාල සහෝදරයා කැමැති වුණේ ඇත්තටම අයියා මහණ වෙලා කියලා හිතලා. ඊට පස්සේ තමයි කවීෂ පුතා ඔහු මාස දෙක තුනකට කලින් මං ළඟට ඇවිත් මහණ වුණේ.

ඇත්තටම කවීෂ පුතාගේ කිසිම කැමැත්තක් තිබුණේ නැහැ මහණ වෙන්න. ඔහු සහෝදරයා මහණ වුණාට පස්සේ නිතරම ඒ පොඩි හාමුදුරුවෝ බලන්න අපේ පන්සලට එනවා. එතකොට මම හැමවෙලාවෙම කියනවා පුතා දැන් රඟපාන්න මහණ වෙලා මේ තරම් ගෞරවයක් ලැබුණා නම් ඇත්තටම මහණ වුණොත් කොයි තරම් වටිනවා ද කියලා. නමුත් ඔහු හැම වෙලේම ඒක ප්‍රතික්ෂේප කළා. ලෝකයක් රටක් දන්න දරුවෙක් නිසා පුතා මහණ වෙන එක සම්බුද්ධ ශාසනයට විශාල ආලෝකයක් ගෞරවයක් අාදර්ශයක් වෙයි කියලා කියන දේ මම කියනකොටම ඔහු ඒ ගැන අහගෙන ඉඳලා යනවා .

නමුත් සතියකට දෙකකට කලින් ඔහු අැවිත් එක පාරටම මට කිව්ිවා. හාමුදුරුවනේ ඔබ වහන්සේ කියපු දෙයට මම කැමැතියි. මමත් මහණ වෙනවා කියලා. මටත් හිතාගන්න බැහැ. ඒ දරුවාගේ හිත එක පාරම වෙනස් වුණේ කොහොම ද කියලා. මම හිතනවා මේ දරුවා රටක් ජාතියක් දන්න කාගෙත් සුරතලයට බඳුන් වූ රංගන ශිල්පියෙක් ලෙස දැක් වූ දක්ෂතාවය වගේම මේ දරුවා ලෝකයම ගරු කරන සංඝ පීතෘවරයෙක් ලෙස බුද්ධ ශාසනයට විශාල මෙහෙවරක් ඉටු කරයි කියලා හිතනවා. අපේ විහාරස්ථානයත් වසර 700කටත් වඩා පැරැණි මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතුපොළ, අලවතුගොඩ ග්‍රාමයේ පිහිටි සුන්දර විහාරස්ථානයක්. මේ විහාරස්ථානයට මේ කුල දරුවා මහණවීම විශාල කීර්තියක්. ඒ වගේම අපේ විහාරය ඉතා කෙටි කාලයක් තුළ විශාල සංවර්ධනයක් සිදු වී ඇත්තේ මේ විහාරස්ථානයේ දායක සභාව මඟින් අපට දක්වන සහයෝගය නිසයි. ඒ වගේම අපේ බෝධින් වහන්සේ හාස්කම් පිරි ගෞරවනීය බෝධියක්.

මෙවන් වූ විශාල පුණ්‍ය කර්මයක් තුළින් වඩාත් සතුටට පත් වන්නේ මේ කුල දරුවන් දෙදෙනා මෙලොවට බිහි කළ ආදරණීය මවයි. ඇය බුද්ධ ශාසනය වෙනුවෙන් තම දරුවන් දෙදෙනාම පූජා කිරි‍ෙමන් ලැබු පින් මහිමයේ සතුට මෙතෙකැයි කියා නිම කළ නොහැකි තරම්. ඒ උතුරා ගලන පින් පිරූ සිතක් ලැබීමට වාසනාව උදා කරගත් කවිෂ විහඟ කුල දරුවාගේ ආදරණීය මව චතුරිකා ප්‍රියංගනී තම සිතේ වූ පිං මහිමය සඳහන් කළේ මෙලෙසිනි.

‘මගේ දරුවෝ දෙන්නා තෝරාගත් මාර්ගය ගැන මම පුදුම සතුටක් තියෙන්නේ. අද තරුණ පරපුර, ළමා පරපුර යන ගමන දෙස බලනකොට අැත්තටම මේ දරුවෝ දෙන්නා යන්නේ උඩුගම් බලා පිහිනන ගමනක්. කවිෂ පුතා සෝරත පොඩි හාමදුරුවන්ට රඟපානකොට කවදාහරි සැබෑ ලෙසින්ම මහණ වුණා නම් වටිනවා ලොකු ගෞරවයක් ලැබෙනවා කියලා මට හිතුණා. මගේ කැමැත්ත තිබුණාට දරුවාගේ කැමැත්තක් තිබු‍ෙණ් නැහැ. ඒත් පසුව කවීෂ පුතාටත් එහි වටිනාකම දැනුණා. අපේ පවුලම බුද්ධ ධර්මයට විශාල ලැදියාවක් ඇති පවුලක්. මේ අවස්ථාව විශාලම පින්කමකට දායක වීමක් ලෙසයි මම හිතන්නේ. ඒ පිංකමෙන් මේ දරුවෝ දෙන්නා සම්බුද්ධ ශාසනය වෙනුුවෙන් ලොකු සේවයක් ඉටු කරයි කියලා මම විශ්වාස කරනවා.‘

ඇයගේ අධිෂ්ඨාන විශ්වාසය මහත් බලගතුය. තම කුසෙන් වැදූ දරුවන් දෙදෙනකු සම්බුද්ධ ශාසනය වෙනුවෙන් පුදන්නට සිතක් පහළවීම ද විශාල භාග්‍යයකි. එම පින් මහිමය විඳගන්නට චතුරිකා ප්‍රියංගනී සහ පියා වන සම්පත් මධුසංඛ මහතා.

වාසනාව ලබා තිබේ. ඒ දෙදෙනා බෞද්ධයන් ලෙස දුන් ආදර්ශය ශ්‍රී ලාංකේය මවුවරුන්ට ද ආදර්ශයකි. මේ ආදර්ශයෙන් බුදු සසුන තව තවත් බබළවන්නට හැකි වෙතැයි අපි විශ්වාස කරමු.

 

විශේෂ ස්තුතිය

නිලමේ යු ටියුබ් නාලිකාවේ

නිෂ්පාදක මාධව මහතාට