Miss Diamond කිරුළ දිනූ දෙවිනුවර දෙවීනා

ජනවාරි 13, 2025

ශ්‍රී ලංකාව රුවැත්තියන්ගේ තෝතැන්නකි. ඉතින් මේ රුවැත්තියන්ගේ තෝතැන්නේ රූමත්බව ගැන නිතර නිතර කතා බහ කරන්නේද ඒ නිසාවෙනි. පසුගියදා ඒ විදිහට මාතර සූරූපී තරුණියක් ගැනත් කතා බහට ලක් වුණා. ඒ miss diamond queen international 2024 තරගාවලියත් සමඟයි. එහි කිරුළ දිනූ ඇය මාතර දෙවිනුවර පදිංචි දෙවීනා නවීක්ෂි. ඇය කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ වෛද්‍ය සිසුවියක්. මිස් ඩයමන්ඩ් ක්වීන් කිරුළ පැලඳූ ඇය ඒ අභිමානයත් හිස දරාගනිමින් තරුණීට අදහස් දැක්වූයේ මෙලෙසිනි.

 

"මේ මම සහභාගී වූ පළමු පැජන්ට් එක. තරගය සංවිධානය කළේ fashion walker model academy ආයතනය. එතකොට තරගයේ නැෂනල් ඩිරෙක්ටර් විදිහට කටයුතු කළේ දමිත් අංජු. 400 දෙනෙක් පමණ මේ තරගයට අයදුම් කරලා තිබුණා. අන්තිම වටයේදී 12 දෙනෙක් තෝරා ගත්තා. අපි 12 දෙනා එකම පවුලක අය වගේ හිටියේ. ඒතරමට අපි අතර ලොකු බැඳීමක් තිබුණා. මේ තරගයේ මිනි පැජන්ට් 5ක් තිබුණා. මිස් ටැලන්ට්, මිස් ෆොටෝජෙනික්, මිස් පර්සනැලිටි, මිස් පොපියුලර් වගේ පැජන්ට් කිහිපයක්ම තිබුණා. ඇත්තටම ඒකේ ලොකු තරගයක් තිබුණා. පෙනුම ගැන වගේම අපේ දැනුම සහ අපේ හැකියා අවස්ථාවන් ගැන එයාලා ගොඩක් උනන්දු වුණා. ටැලන්ට් අවස්ථාව සඳහා මම ගායනයක් ඉදිරිපත් කළා. ඒ ගායනයටත් හොඳ ප්‍රතිචාර ලැබුණා. අවසානයේදී මට ඒ තරගය ජයග්‍රහණය කරන්න අවස්ථාව හිමි වුණා. "

මේ වගේ පැජන්ට් එකකට සම්බන්ධ වෙන්න හිතුණේ ඇයි?

 

මගේ අම්මා මේ තරගය ගැන ටීවි එකේ වෙළෙඳ දැන්වීමක් දැකලා තියෙනවා. ඒක දැකලා අම්මා තමයි කිවුවේ මට මේකට ඇප්ලයි කරන්න කියලා. පැජන්ට් එකක විනර් කෙනෙක් වෙන එක පොඩි කාලේ ඉඳන් තිබුණ ආසාවක්. මට තේරෙන කාලේ ඉඳන් ලංකාවේ ඒ කාලේ හිටපු රූපරාජිනියන්ගේ පුවත්පත් ලිපි එකතු කරලා වෙනම පොතක් පවා හැදුවා. මම අම්මාට කියලා තිබුණේ කවදා හරි පැජන්ට් එකක විනර් කෙනෙක් වෙන්න ආසයි කියලා. ඒක නිසා තමයි ඒ වෙළෙඳ දැන්වීම දැකපු ගමන් අම්මා මට ඒකට ඇප්ලයි කරන්න කිවුවේ. ඒ වගේම මට ආසාවක් තිබුණා වෛද්‍යවරියක් වෙන්න. හැබැයි අම්මා කිවුවේ මුලින් වෛද්‍යවරියක් වෙලා, පස්සේ මේ වගේ දේවල්වලට සහභාගි වෙන්න කියලයි.

 

හැබැයි දෙවීනාගේ වෛද්‍ය සිහිනයත් සැබෑ වෙන ගමන් තියෙන්නේ..

 

මම ඉගෙන ගත්තේ මාතර සුජාතා විද්‍යාලයෙන්. ජීව විද්‍යාව අංශයෙන් උසස් පෙළ කරලා දැන් කරාපිටිය වෛද්‍ය විද්‍යාලයේ අවසන් වසරේ වෛද්‍ය සිසුවියක් විදිහට අධ්‍යාපනය ලබනවා.

 

පැජන්ට් එකක් ජයග්‍රහණය කළාම ලැබෙන අවස්ථා මොනවා ද?

 

පැජන්ට් එකක් ජයග්‍රහණය කළාම නිරූපන ක්ෂේත්‍රයට මාර්ගය විවර වෙනවා. මොකද පැජන්ට් ජයග්‍රහණයත් එක්ක ඔහුට හෝ ඇයට යම්කිසි ප්‍රසිද්ධියක් ලැබෙන නිසා වෙනත් කෙනෙක්ට වඩා පහසුවෙන් එවැනි ක්ෂේත්‍රයකට යොමු වෙන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම කලා ලෝකයට එකතු වෙන්නත් ඒක හොඳ අවස්ථාවක්. එහෙම කලාවට එකතු වූ බොහෝ අය ඉන්නවා. හැබැයි රංගනයට එකතු වෙද්දි ඒකට දක්ෂතාවයත් එක්ක එකතු වෙනවා නම් ඒ ගමන යන්න පහසුවක් වේවී.

 

මේ දේවල් අධ්‍යාපන කටයුතුවලට බාධාවක් නොවෙයි ද?

 

වෛද්‍ය සිසුවියක් කියන්නේ ඉගෙන ගන්න ලොකු පරාසයක් තියෙනවා. ඉතින් අධ්‍යාපන කටයුතු එක්ක පැජන්ට් වගේ අමතර දේකට කාලය යොදවනවා කියන එක හරි අමාරු දෙයක්. මගේ වෛද්‍ය පීඨය ගාල්ලේ. නමුත් පැජන්ට් එකේ ගොඩක් කටයුතු සිදු වුණේ කොළඹදී. ගමනාගමන පහසුකම්වලදී මගේ පවුලේ අය තමයි ගොඩක් උදවු කළේ. පීඨයේ යාළුවෝ මට ගොඩක් උදවු කරනවා. මඟහැරෙන දේවල් එයාලා මට කියලා දෙනවා.

 

වෛද්‍යවරියක් වුණාට පස්සේ පැජන්ට්වලින් ඈත් වෙයි ද?

 

පැජන්ට් කියන දේ මගේ පුංචි කාලේ ඉඳලම තිබුණ ආසාවක් නිසා මම හිතන්නේ නැහැ මොන දේ වුණත් මම ඒක අත්හරියි කියලා. මොකද ඒ විෂයයන් දෙක එකිනෙකට වෙනස් වුණාට, ඒ විෂයයන් දෙකට මම හරි ආසයි. පෙබරවාරි මාසයේ තායිලන්තයේදී පැවැත්වීමට නියමිත ජාත්‍යන්තර පැජන්ට් එකකට සහභාගී වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

පවුලේ විස්තර ගැනත් කතා කරමු..

 

අම්මා නිරෝෂා හේන්දාවිතාරණ. තාත්තා මහේෂ් දේශප්‍රිය. අම්මා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සේවය කරනවා. මම පවුලේ එකම දරුවා. අම්මයි මමයි යාළුවෝ වගේ. අම්මට කියන්නේ නැති දෙයක් නැහැ. ඒ කියන්නේ අම්මට කියන්න බැරි රහස් මං ළඟ නැහැ. ලොකුම දේ තමයි අම්මට මාව ගොඩක් විශ්වාසයි. ඒක තමයි මම කැමැතිම දේ. අම්මා තුළ ඒ තියෙන විශ්වාසය නිසාමයි අම්මා මේ තරගයට මට යන්න උනන්දු කළේ. අම්මාගේ උනන්දුව නිසා මම ජයග්‍රහණය කළා. ඒ මට අනුග්‍රහය ලබා දුන් සියලුම දෙනාටත් රූපලාවණ්‍යය ශිල්පීන් සහ ඡායාරූප ශිල්පීන්ට ස්තූති කරන්න ඕනේ. මොකද එයාලත් මට ලොකු සහයෝගයක් ලබා දුන්නා.

 

 

[email protected]