වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
සැන්ටා මොනිකාවේ තුන්වැනි වීදියෙන් ඇසෙන ඒ මිහිරි වයලීන නාදය

ජීවිතය සුන්දරය. එසේ වුව එකී සුන්දරත්වය දකින්නට හෝ විඳින්නටවත් ඉස්පාසුවක් නැතිව ජීවන අරගලයේ යෙදෙන, කඩිගුලක් ඇවිස්සුණාක් මෙන් එහා මෙහා දුවන මිනිසුන්ගෙන් පිරි කලබල වීදියක වුව පදික වේදිකා අද්දරකින් ඇසෙන මියුරු සංගීත රාවයක් ඒ හෙම්බත් ජීවිතවලට පවන් සලන්නේය. දවසේ ඉතිරි හෝරා කිහිපයට අලුත් හුස්මක් ගෙන ජීවයෙන් මුහුණ දෙන්නට මහා අස්වැසිල්ලක් රැගෙන එන්නේය. රථ වාහන තදබදයක් නැති, ජනාකීර්ණ නොවූ සන්සුන් වීදියක අවන්හලක ට වී කෝපි කෝප්පයක රස බලන හැන්දෑවක ඇසෙන එවැනි සංගීත රාවයක් හැඟීම් හා වෙළී අප දුර ඈත රැගෙන යන්නේය. සතුට හා දුක මුසු මතක අතර අප අතරමං කරන්නේය.
අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා මොනිකා වෙරළබඩ නගරයේ තුන්වැනි වීදියෙන් බොහෝ විට ඉරිදා දවස්වල ඇසෙන මිහිරි වයලීන නාදය නගරවාසීන් මෙන්ම සංචාරකයන්ට ද සීමා නොවෙමින් ලොවපුරා බිලියන ගණනක් මිනිසුන්ගේ සතුටට හේතුවක්ව ඇත්තේය.
ඒ මිහිරි වයලීන නාදයේ උරුමකාරිය කැරොලිනා ප්රොට්ෂෙන්කෝය. ඈ තවමත් 16 හැවිරිදි දැරිවියකි. එසේ වුවද, ඈ වයලීනය වයන්නී පරිණත සංගීත ශිල්පියකු මෙන්ය. ටෙඩිබෙයාලා වෙනුවට පුංචිම සන්ධියේ පටන් ඇය සෙල්ලම් කරන්නට හා සතුටු වන්නට ඇත්තේද වයලීනයත් සමඟ බව ඒ බුහුටි බව දකින ඕනෑම අයෙක් කල්පනා කරනවා ඇත. එසේ වන්නට හේතු කාරණ ද තිබේ. ඈ උපන්නේම සංගීත පවුලකය. මවුපිය දෙදෙනාම සංගීත ශිල්පීන්ය.
කැරොලිනා වයලීනය වයද්දී පියානෝව වාදනය කරන්නී ඇගේ අම්මාය. කැරොලිනාගේ පුංවි බාල සොහොයුරා ද ඇතැම් විට අක්කාට එක්වන්නේ ඩ්‍රම්ස් වාදනයෙනි. සංගීත නාදය මඟහැර යන්නට සිත් නොදී එහි රොක්වන මිනිසුන්ගේ සවන් පමණක් නොව නෙතුද ඈ පිනවන්නීය.
කැරොලිනාගේ ප්‍රසංගාත්මක දක්ෂතාව විශිෂ්ටය. තමන්ට වයලීනය වයන්නට පමණක් නොව ගයන්නට හැකි බව ද ඈ ඔවුන් මවිත කරවමින් පෙන්වන්නීය.
කැරොලිනා උපත ලබන්නේ 2008 වසරේ දී යුක්රේනයේ කිව් නගරයේ දී ය. ප්රෙට්ෂෙන්කෝ පවුල අමෙරිකාවට සංක්‍රමණය වන විට කැරොලිනාගේ වයස අවුරුදු 6කි. එතැන් පටන්ම ඈ වයලීන වාදනය ප්‍රගුණ කළාය. ඇයගේ හැකියාව යූ ටියුබය ඔස්සේ ලොවට රැගෙන යන්නට පටන් ගත්තේ 8 හැවිරිදි වියේ පටන්ය. ඒ වන විටත් ඇය සිය මවුව්පියන්ගේ ආභාසය ඔස්සේ සැන්ටාමොනිකා තුන්වැනි වීදියේ සිය දස්කම් පෙන්වන්නට පටන්ගෙන තිබිණි. දෙවසරක් ගතවන විට යූ ටියුබ් ඔස්සේ ඇයගේ ප්‍රතිභාව දුටු සංඛ්‍යාව මිලියන 2 ඉක්මවීය. ආසන්න පස් වසරක පමණ කාල සීමාව තුළ ඇයගේ හැකියාව මෙන්ම රසික ආකර්ෂණය ද ඉහළ ගියේ වේගයෙනි. මේ වන විට යූ ටියුබයට එකතු කළ ඇයගේ නිර්මාණ නැරඹුම් වාර බිලියන 2කට ආසන්න වේ. යූ ටියුබ් සහ අනෙකුත් සමාජ මාධ්‍ය ඔස්සේ ඇයගේ රසික ප්‍රජාව ද බිලියනයක් පමණ වේ.
මේ දක්වා ඇය නිකුත් කර ඇති Sky , My Dream , Finally Together වැනි නිර්මාණ විශාල වශයෙන් ජනප්‍රිය වී තිබේ.
ඇයගේ සිහිනය සිය ප්‍රසංගයක් සමඟ ලොව පුරා සංචාරයේ යෙදීමය.
" මගේ සංගීතයෙන් මිනිස්සු සතුටු කිරීම තමයි මගේ බලාපොරොත්තුව. මගේ සිහිනය මගේ ප්‍රසංගයත් සමඟ ලෝක සංචාරයේ යෙදීම."