ගෙයක් හදන්නට පෙර නැවතත් සිතන්න

දැන් නියම කාලය ඇවිත්
අගෝස්තු 5, 2020

මානව ශිෂ්ඨාචාරයේ ඉහළටම පැමිණි අප නැවතත් ආපසු හැරී බලන්නේ මහත් ආඩම්බරයෙනි. සොබා දහම හා බැඳි මානව පරිනාමයේ අපි කොතැනද සිටින්නේ? දැන් මිනිස්සු ගිමන් හරිමින් සිතනවා. ගහ කොළ පිරි සොබා දහමෙන් තොර ලෝකයක් අපට නැති බව කුඩා දරුවන්ට පවා තේරුම් ගියේ පසුගිය මාස කිහිපයයි. ගෙවුණු කාලය හරිම නිසලව ගෙවී ගියත් අනාගතය සැලසුම් කරන සමහරුන්ට මෙය හොඳම අවස්ථාවක් වුණා.

තමුන්ගෙම කියලා පුංචි ගේ පොඩිත්තක් මේ සිහින ප්‍රාර්ථනාව කාලයක පටන් තිබුණු සමහරු එය ගැන නැවතත් සිතන්න පටන් ගත්තා.

එහෙම සිතපු ඔවුන් වෙනදාට වඩා උනන්දුවෙන් ගැඹුරින් නිවෙසක් හදන්නට සැලසුම් කළා. පරිසරයට සමීපවෙමින් ලස්සනම ලස්සන ගෙයක් කොයි තරම් නම් වටිනවාද? එවැනි ගෙයක් හදන්න අප සතිපතා නිවාස සැලසුම් ඉදිරිපත් කළේ ඒ වෙුනවෙන් අත්වැලක් සපයන්න.

නමුත් දැන් කාලය වෙනස් වෙලා. අලුත් සිතුවිලිත් සමඟ ගෙයක් තැනීමේ කටයුත්තට මුල පුරන්නේ දහසක් සිතුවිලි සිතේ තුරුළු කරගෙනයි.

ගෙයක් අලුතින්ම තනා ගන්නේ කොහොමද? මෙය පහුගිය කාලයේ ඇතැමුන්ට සිතට වද දුන්න ගැටලුවක්.

අප ඒ ගැටලුවට නැවතත් පණ දෙන්න සිතුවා. එසේ සිහින දකින අපගේ පාඨකයන්ට නිබඳවම පිළිසරණයක් වුණු ‘තරුණී’ පසන් නිවෙසක සිරියාවට මුල පුරන්න මුලින්ම කළ යුතු කටයුත්තේ සිට අවසානය දක්වාම මඟ පෙන්වීමක් සපයන්නයි අපේක්ෂාව.

 

නිවෙසක් තැනීමට මූලිකවම අවශ්‍ය මොනවාද

 

සමහරු නිවෙසක් හදන්න සැලසුම් කරන්නේ නිවාස සැලසුමක් නිර්මාණය කිරීමේ කටයුත්තෙන්.

හැබැයි නිවාස සැලසුම්ක් අඳින්නට පෙර තව බොහෝ දේ සැලසුම් කරන්න අපට සිදුවෙනවා.

නිවෙසක් තැනීමේ කටයුත්තේ සාර්ථකත්වය රඳා පවතින්නේ අප නිවෙස සෑදීමට සැලසුම් කරන ඉඩමේ පිහිටීම, ප්‍රමාණය හා හැඩය අනුවයි.

 

අප නිවෙසක් තැනීමට ඉඩමක් තෝරා ගත් විට එහි ප්‍රමාණය ඉතාම වැදගත්.

සාමාන්‍යයෙන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක සාදන ඉඩමක් අවම වශයෙන් පර්චස් 5.5 ක් නොවුණොත් එය වීදි රේඛා සටහන් අනුව සම්මත කිරීමට නොහැකි නීතිමය රාමුවක් පවතිනවා.

එය මහා නගර සභා, නගර සභා වැනි සීමාවල තනන ඉඩම්වල ප්‍රමාණය මෙයට වඩා අඩු ප්‍රමාණයක්.

මෙවැනි සම්මතයන්ට අනුව අප නිවාස නොසැදුවොත් එයින් ඇතිවන ගැටලු රාශියක්ම මතුවෙන්නේ අනාගතයේදී. නිවෙසට ජලය, විදුලිය, ආදිය ලබා ගැනීමට නිවෙස තැනිමට බැංකු ණය මුදලක් ගැනීමට, නැතිනම් එය විකිණීමට අවශ්‍ය වුණොත් තමයි මෙය වඩාත් බලපාන සාධකයක් වෙන්නේ.

එසේම අපේ රටේ පිහිටීම අනුව ඉඩම්වල හැඩය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්.

 

උපදෙස් - කුරණෑගල කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය ආචාර්ය

මහින්ද ඒකනායක

2020/08/05 තරුණි පුවත්පත බලන්න.