සීවලි රූපයෙන් නිවෙසට සිරිකත කැන්දමු

දෙසැම්බර් 2, 2024

නිවෙසට සිරිකත කැන්දන, සෞභාග්‍ය උදාකරන වාස්තු විද්‍යාවේ ක්‍රමවේද බොහෝ පවතියි. පළමුව අප විමසා බැලිය යුත්තේ නි‍ෙවසේ ප්‍රධාන ද්වාරය පිහිටි ස්ථානය හා එයින් නි‍ෙවසට ඇති කරන බලපෑමයි. කිසිම අවස්ථාවක මේ ප්‍රධාන දොරටුව හා ගෙවත්තට ගොඩවන ගේට්ටුව සමාන්තර විය යුතු නොවේ. එමෙන්ම ගේට්ටු කණුවක් හසුවීම ද ඉතා අසුබය.

 

නි‍ෙවස ඉදිරිපස ගස් සිටුවීමද නොකළ යුතු අතර, හිස් අවකාශයක් වීමද වඩාත් යෝග්‍ය වෙයි. වැරැන්ඩාවක් ලෙස වහලය ගසන්නේ නම් හෝ එවැනි ආකාරයට කණුවක් හෝ ලීයක් ප්‍රධාන දොරටුව ඉදිරිපස පිහිටීමද අසුබ වෙයි.

 

එසේ වන්නේ නම්, නි‍ෙවසේ ගෘහ මූලිකයා මාරාන්තික ලෙස එක්තැන් වීම හා මරණය පවා සිදු වේ. එමෙන්ම ප්‍රධාන ද්වාරයේ ඉදිරිපිටට හෝ අඟලක දෙකක ප්‍රමාණයටවත් ළිඳක් හෝ නළ ළිඳක් ඉදි කිරීමද නුසුදුසුම වෙයි. වැසිකිළි වළ හෝ වතුර බැස යාමට සාදන ගලි යෙදීම සුදුසු නොවන අතර එසේ යොදා ඇත්නම් ඒවා ඉවත් කිරීම කළ යුතු අතර, එයට අධික වියදමක් යන්නේ නම් ප්‍රධාන ද්වාරය එම ස්ථානයෙන් ඉවත් කළ යුතු වෙයි.

 

අප පවසන මෙම භූමි ප්‍රමාණය ඉතා පිරිසුදුව තබාගැනීම දියුණුව ලැබීමට මහත් පල දෙයි. අනෙක් කරුණ නම් පොදු පහනක් හෝ වෙනත් ආගමික නායකයකුට අදාළ පහනක් ප්‍රධාන උළුවස්ස හෝ දොරටුවට කෙළින් නි‍ෙවසින් එළියට පෙනෙන සේ සකසා තැබීමද ඉතා අසුබ වෙයි. මෙය ව්‍යාපාරික ස්ථානවල දක්නට ඇති සුලබ දර්ශනයකි. එසේ නි‍ෙවසක හෝ ව්‍යාපාරික ස්ථානයේ ඇතුළත දැල්වෙන ලෙස එය සකස් කළ යුතු වේ.

 

මෙලෙස සාදන උළුවස්ස මුදුනේ සීවලී මහරහතන් වහන්සේගේ රූපයක් එල්ලීම ඈත අතීතයේ පටන්ම සිදු කරන කටයුත්තකි. මෙලෙස පින්තූරයක් එල්ලීමෙන් එම නි‍ෙවසට කෑම බීම හා බව බෝග සම්පත් ළඟා කරන බව විශ්වාසයක් පවතී. මෙය බෞද්ධ පසුබිමක් ඇති නිවැසියන්ගේ මතයක් ලෙස පිළිගත්ත ද ඇතැම් කතෝලික හා වෙනත් ආගමික පසුබිමක ඇති නිවැසියන්ගේ ඔවුන්ගේ විශ්වාස හා ඇදහීම් ක්‍රියා අනුව අදාළ ආගමික සංකේත එල්ලීම සිදුකරයි.

 

එසේම පැරැණි නිවාසවල ඉදිරිපස දොරටුව දෙපස ඇත් රූප දෙකක් තැබීමද සිදුවෙයි. එය පිත්තල හෝ වටිනා දැව වර්ගයකින් නිර්මාණය කරයි. මෙයින් නි‍ෙවසට ප්‍රෞඩත්වයක් හා ආරක්ෂාවක් ලැබෙන බව පැරණි මතයකි. එසේම එයින් නිවැසියන්ගේ බලාපොරොත්තු හා අපේක්ෂා සාර්ථක වන බව ද විශ්වාසයක් පවතී.

 

තවද නිවෙස ඉදිරියේ ප්‍රධාන දොරටුවට දකුණු දිශාවෙන් පුන්කලස් ජෝඩුවක් තැබීම ද නිවැසියන්ට ආශීර්වාදයකි. එයින් නි‍ෙවසේ වෙසෙන හැමදෙනාටම සෞඛ්‍යසම්පන්න ජීවිතයක් හා සෞභාග්‍යය උදාකරයි.

 

මේ ආකාරයේ විවිධ භාණ්ඩ නි‍ෙවස ඉදිරිපස තැබීම හා පින්තූර එල්ලීමට අමතරව නිවෙසට ඇතුළුවෙන ස්ථානයේ ඇත් තුන්පත් රෑන දැක්වෙන ඡායාරූප එල්ලීමද සිදු කරයි. එයින් අපේක්ෂා කරනුයේ එම නි‍ෙවසට සාමය හා සමගිය උදාකර ගැනීමයි. එසේම නිවෙසට පැමිණෙන අමුත්තන්ට ද එම නිවැසියන් පිළිබඳ පහන් හැඟීමක් උපදවයි.

 

මෙලෙසින් නි‍ෙවසේ ඉදිරිපස පින්තූර හා විවිධ භාණ්ඩ තැබීමට අමතරව නිවෙස තැනීමට පෙර නි‍ෙවසේ ඉදිරිපස විවිධ වාමන රූප, පඹයකුගේ රූපයක් සවි කිරීමද සිදු කරයි. නැතිනම් එම නිවස සාදන ස්ථානයේ ඉදිරියේ ආශීර්වාදාත්මක පාඨයක් ප්‍රදර්ශනය කරනු ලබයි. මෙයින් බොහෝවිට අපේක්‍ෂා කරනුයේ නිවැසියන්ට හා එම නි‍ෙවසට පිටස්තර පුද්ගලයින්ගෙන් ඇතිවන ඇස්වහ, කටවහ, හෝවහ දෝෂ භංග කිරීමයි.

 

නිවෙස ඉදිරිපස එල්ලා ඇති රූපය හෝ පාඨය දකින පුද්ගලයා මුලින්ම එහි සඳහන් වැකිය හෝ එහි රූපය කෙරෙහි අවධානය යොමු කරයි. ඉන්පසුව එම නිවෙසේ ඉදිකිරීම හෝ නි‍ෙවසේ ප්‍රමාණය ගැන සිත යොමු වෙයි. මෙහි එක්තරා විද්‍යාත්මක පදනමක් ද පවතින අතර, නිවැසියන්ට සිදු වන අතුරු උපද්‍රව හා බාහිර දෝෂ හා වස්දොස් සියල්ලම නැති කිරීමට ද හේතු වෙයි.