සරල සැලසුමකට සුපිරි නිවහනක්

පර්චස් 5 - 6ක ඉඩමකට හොඳටම ගැළපෙයි
අගෝස්තු 18, 2021

සුපිරි නිවහනක් තනාගැනීම කාගේත් සිහිනයක්. මේ සිහිනය ඔබ මුලින්ම දකින්නේ මනසින්. ඔබ මනසින් දකින කැදැල්ලේ සිහිනය සැබෑ කරගන්න සැලසුමක් නිර්මාණය කරගත යුතු වෙයි. නිර්මාණ සැලසුම ඇඳීමට සුපිරි දක්ෂයෙක් තමයි කවුරුත් තෝරාගන්න කැමැති. නමුත් ඔබ තෝරාගන්නා ශිල්පියා කොයිතරම් සුපිරි දක්ෂයෙක් වුණත්. නිවාස සැලසුම ඔබට ගැළපෙන සේ සකස් විය යුතුමයි.

නිවාස සැලසුමක වැදගත්ම අංගය වන්නේ එම සැලසුමට ඇතුළත් අංග හා කොටස්වල වැදගත්කමයි. එසේම එම කොටස් නිවෙසකට ඇතුළත් කිරීමේදී ඇති ප්‍රයෝජනය ගැනත් සිතිය යුතුමයි. පුංචි නිවහනක් වුණත් සුපිරි ලෙසින් නිර්මාණය කිරීමට දක්ෂ ශිල්පියකුට පුළුවන්. තම සේවාදායකයාගේ අවශ්‍යතාව හඳුනාගෙන ඔවුන්ට ගැළපෙන ලෙසින් නිවෙසක් නිර්මාණය කර දෙන්නට හැකි නම් එය ඉතාම සාර්ථකයි.

අප මෙවර ඔබට තිළිණ කරන්නේ ඉතාම සරල කුඩා තනිමහලේ නිවෙසකි. එය සාමාන්‍ය පවුලකට ප්‍රමාණවත්ය. එසේම

මේ සඳහා වැයවන පිරිවැය ද ඉතාම අවමය. කාමර තුනකින් සමන්විත මේ නිවෙසේ සැලසුමට ඇතුළත්ව ඇත්තේ මූලික අංගය. එසේම මේ නිවෙස නඩත්තු කිරීම ද පහසුය.

ඔබ මෙහි ඉදිරියෙන්ම දකින්නේ වැරැන්ඩාවකි. ඉන්පසුව මැද සාලයක් වෙයි. එම සාලය කොටසට යාබදව ඇත්තේ කෑම කාමරය නැතිනම් Dining area එකකි. ප්‍රධාන නිදන කාමරයට අමතරව තවත් කාමර දෙකක් ඇති අතර එම කාමර දෙක අතුරින් කුඩා නාන කාමරයක් පිහිටයි.

කුඩා පැන්ට්‍රියකින් හැඩ වූ මේ පුංචි නිවහන ඉතාම සරල ආකාරයට නිර්මාණය වී ඇත්තේ පර්චස් 5 - 6ක ඉඩමකය. එසේම මෙහි විශේෂත්වය වන්නේ ඉදිරිපස සීමාව සුපිරි නිවෙසක් සේ දිස්වන ලෙසින් නිර්මාණය කර තිබීමයි. වර්තමානයේ වඩාත් ජනප්‍රිය වූ Box Type ක්‍රමයට අනුව නිර්මාණය වූ මේ නිවහන ලක්ෂ පනහක් වැනි මුදලකින් මූලික කටයුතු සියල්ල

සම්පූර්ණ කරගත හැකි ලෙසින් නිර්මාණය වී තිබේ.

 

උපදෙස් - කුරුණෑගල කැදැල්ල හෝම්ස්හි අධ්‍යක්ෂ දේශමාන්‍ය

ආචාර්ය මහින්ද ඒකනායක