නිවෙස අවට අඳුර නැති කරන්න සර්ච් ලයිට් එකක් (Search Light) සවි කරමු

දෙසැම්බර් 6, 2021

 

“මිගාර, අර එහා පැත්තෙ ඉඩම් දෙකේ ගෙවල් නැති නිසා පාර දෙපැත්තෙම ගස්වල වදුලෙන් වැහිලා“

“ඉතින් හොඳයිනෙ පූර්ණි.... මේ ගෙදර ඒ තරම් රස්නයක් නැත්තේ ඒ ගස් ගොල්ල හින්දා තමයි. වෙන්දේසි ඉඩමක හිටියත් ඔයාල වාසනාවන්තයි අල්ලපු ඉඩම් දෙකක් කැලෑවැහිල තියෙන නිසා.“

“ඒ වුණාට කරුවල වැටුණාම ඔය ඉඩම අද්දර ඉඳගෙන මිනිස්සු ඩ්‍රිංක්ස් ගන්නවා.... ත්‍රී වීලර් වලින්, මෝ බයික්ස්වලින් කපල් එහෙමත් එනවා... වටපිටාව ඩීසන්ට් නැහැනෙ එහෙම වුණාම. කාශ්‍යප රණ්ඩුවටත් යනවා.... බයයි අනේ, බේබද්දොනෙ... අණක් ගුණක් නැති එව්වො... කිව්වට ගස්වල අතුපාහින්නෙත් නැහැ ඉඩම් අයිතිකාරයො“

“ගස් කපන්න ඕනෙ නැහැ පූර්ණි, එතන අඳුර නැති කළාම හරිනෙ.“

මිගාර කිව්වා.

“කොහොමද එහෙම කරන්නෙ? අපේ ගෙදරින් එහාට කරන්ට් ලයින් එකක් නැහැනෙ Street Lamp එකක්වත් දාන්න.“

“හරි පූර්ණි අපි ගෙදර ඉඳලම එතන අඳුර නැති කරමු.“ මිගාර කිව්වේ විසඳුම දන්නා නිසයි.

“ඒ කොහොමද මචං? අපේ ලයිට් දැම්මට ඒ එළිය එතැනට වැටෙන්නෙ නැහැ ගස් නිසා.“ කාශ්‍යප ඇහැව්වේ කිසිවක් හිතා ගන්න බැරිව.

“අපි වහලේ මුදුණෙන් ඒ පැත්තට සර්ච් ලයිට් එකක් ගහමු. අන්න අර කජු අත්ත විතරක් කැපුවාම ඇති. එතකොට එළිය වැටෙයි පාර කෙළවරටම... ඇස් ගිනිකන වැටෙන්න.“

මිගාර ලියල දුන්නු ලිස්ට් එකට කාශ්‍යප අවශ්‍ය දෑ ගෙන ආවා.

“කාශ්‍යප මේ බල්බ් පොයින්ට් එක ඔයාම වයරින්කරන්ඩ පුරුදු වෙන්ඩත් එක්ක. මතකද ඒ ගැන මම කියල දීපු තියරි එක?“

“ඔව් මිගාර, බල්බ් එකට රිටර්න් වයර් එකයි, නියුට්‍රල් එකයි, ස්විච් එකට බල්බ් එකේ ඉඳල එන රිටර්න් වයර් එකයි, ඩිරෙක්ට් කරන්ට් වයර් එකකුයි.... ඒකට පේස් වයර් කියල නේද කිව්වෙ?“

“හරියටම හරි කාශ්‍යප... සාලෙ දොර ළඟ තියෙන ස්විච් තුනෙන් එකක් හිස්. එතකොට එතන පේස් එක තියෙනවා. වයර් කෑල්ලක් ලූප් කළාම හරි. රිටර්න් වයර් එකක් බටේ ඇතුළෙන් දාන්න වෙනවා. මේන්, ටිප් ස්විච් ඕෆ් කරන්න පූර්ණි ඔයා“

“හරි.... කාශ්‍යප දැන් ඔය ස්විච් එකේ නොබ් දෙක අයින් කරලා ඇණ දෙක ගලවන්න.... හරි දැන් ස්විච් වලට සෙට් කරල තියෙන වයර් තුනත් ගලවන්න.“

“මිගාර, මේ වයර් දෙකක කෙළවර කට්ට දෙකක් කපල තියෙන්නෙ ඇයි?“

කාශ්‍යප ඇහැව්වේ තරමක කුතුහලයකින්.

“මමත් මේ බලාගෙන හිටියෙ ඒක චෙක් වෙයිද කියලා. අවධානය සුපිරි.... ඒ තමයි ඉලෙක්ට්‍රීෂියන්ල රිටර්න් වයර් හඳුනාගන්න දාන මාක් එක.“

“හරි... මට තේරුණා. කිසිම සලකුණක් නැතුව තිබිල රිටර්න් පේස් එකට ආවොත් බල්බ් එක පත්තු වෙලාම තිබෙනවා නේද?“

“අන්න හරි, ඒ පැටලීම නැති කර ගන්න තමයි ඔය විදිහට මාක් එකක් දාන්නෙ.... දැන් ඔය කරන්ට් වයර් එක අඹරවලා තියෙන ලුප් වයර් එක ගලවන්න කාශ්‍යප. අඟල් එකහමාරක විතර වයර් කෑල්ලක් කපලා දෙකෙළවර සුද්ද කරගෙන කම්බිය පාදා ගන්න. දැන් එක කෙළවරකින් කම්බිය දෙකට නවල අඬුවෙන් තද කරන්න. ඕක පැත්තකින් තියලා ඔය මේසෙට නැගලා වයර් ටික බිත්තිය උඩින් කන්ඩිවුට් බටෙන් එළියට අදින්න.... හරි දැන් ඒ වයර් කෙළවරට සර්ච් ලයිට් එකේ රිටර්න් වයර් එකත් තියලා බටේ ඇතුළෙන් එවන්න. හිමීට පහළට එවන්න, නැතිනම් බටේ මැදදි වයර් හිර වේවි.“

“දැන් අලුතෙන් දාපු වයර් එකේ අරවගේ කට්ට දෙකක් කපන්න පරිස්සමට...“

“ඇයි පරිස්සමට කියල කිව්වෙ මිගාර?“

“කැපුම තදට ගියොත් කම්බිය මතු වේවි.... ඒකයි. දැන් මිගාර රිටර්න් වයර් එකේ කෙළවරත් ටිකක් සුද්ධ කරල කම්බිය නමන්න කලින් වගේ ම හරි දැන් ස්විච්වල තියෙන ලූප් එක ගලවපු තැනට අලුත් ලූප් කොටසක් එක්ක තියල අඬුවෙන් තදට අඹරවන්න. දැන් ස්විච් එකේ පහතට වෙන්න තියන සිදුරට යටටම ඇතුළු කරල ඇණය හොඳට තද කරන්න. ඔන්න දැන් ලූප් හරහා ස්විච් තුනටම කරන්ට් එක පාස් වෙනවා. ඔය ලුප් එකේ කෙළවරත් ස්විච් එකට කළාම. දැන් අනිත් සිදුරු තුනට රිටර්න් වයර් වෙන වෙනම සවි කරලා තියන්න...“

මිගාර දිග විස්තරයක් කළා.

“ස්විච් එක බොක්ස් එකට ඇණ අල්ලන්නද මිගාර?“

“එපා කාශ්‍යප, උඩ ලයිට් එකත් අල්ලලා චෙක් කරලා අන්තිමට ඇණ අල්ලමු. දැන් බිත්තිය අයින දිගේම රිටර්න් වයර් එක උඩට යවමු. ඉන් පස්සේ එතන තියෙන වෝල් ලෑම්ප් එකෙන් නියුට්‍රල් වයර් ලූප් එකක් අරගත්තාම පොයින්ට් වයරින් එක සම්පූර්ණයි. මේ සර්ච් ලයිට් එකට රවුන්ඩ් බ්ලොක්, හෝල්ඩර් අවශ්‍ය වෙන්නේ නැහැ කාශ්‍යප. ලයිට් එක පිටිපස්සෙ තිබෙන කප් එක ගලවලා වයර් කනෙක්ෂන් එක දුන්නාම ඕකේ. කටර් අඬුව, මල් නියන, ෆ්ලැට් ලොකු නියන, අලිස් කටුව, පොඩි මිටිය, හෑන්ඩ් සෝ එක, අත් කියත, කන්ඩියුට් අඟල් බාගෙ අඩි තුනක විතර බට කෑල්ලක්, අඟලෙ පිත්තල ස්කෘ ඇණ දෙකක්, අඟල් බාගෙ කොන්ක්‍රීට් ඇණ හතරක්, අඟල් බාගෙ කන්ඩියුට් බ්‍රැකට් දෙකක් මල්ලකට දාගෙන වහලෙට නගිමු.“

බිත්ති ලාම්පුවේ රැඳවුම ගලවා එතැනින් නියුට්‍රල් වයරයක් පිටතට ගැනීම පළමුවෙන්ම කළ යුතුය. අනතුරුව ස්විචයේ සිට එන රිටර්න් වයරයත්, නියුට්‍රල් වයරයත් කන්ඩිවුට් බටය තුළින් පිටතට ගෙන බ්‍රැකට් දෙක බටයේ පහතින් සහ ඉහළින් රඳවා බිත්තියට තබා කොන්ක්‍රීට් ඇණ ගසා සවි කරන්න. දැන් සර්ච් ලයිට් එකේ පිටුපස පියන ගලවා ඇතුළත තිබෙන තව් දෙකට වයර් කෙළවරින් කම්බිය මතු කරගෙන, මඳක් නවා අඬුවෙන් තද කර සවි කර ඇණ තද කරන්න. දැන් පියන වසා තද කරන්න.

දැන් ලයිට එකේ බ්‍රැකට් එකේ (ඇණ රඳවනයේ) තිබෙන සිදුරු දෙකට සමාන්තරව යට ලීයේ සලකුණු කරගෙන අලිස් කටුව ආධාරයෙන් සිදුරු දෙකක් (අඟල් 1/2ක් පමණ ගැඹුරට) සාදා ගත යුතුයි. අඟලේ ස්කෘ ඇණ දෙක බ්‍රැකට් තව් අතරින් ලීයේ සිදුරු දෙකට ඇතුළු කර තද කරන්න.

“දැන් හරි කාශ්‍යප, කළුවර වැටීගෙනත් එනවා. ටක්ගාල කජු අත්ත කපමු.“

මිගාර කීවේ වහලයෙන් බසින අතරේය. සියල්ල නිමා වෙද්දි අඳුර පැතිරී තිබුණි.

“පූර්ණි, ඔය ස්විච් එක දාන්න බලන්න.“

නිරීක්ෂණ විදුලි පහනේ ප්‍රබල ආලෝක ධාරාවෙන් තුරුවදුලේ අඳුර පලවා හැරුණි.

“ඔය තියෙන්නෙ ඉර පෑව්වා වගේ.“

කාශ්‍යප කීවේ සතුටු සිතිනි.