ඇන්තූරියම්වලට පොහොර යොදන්නේ මෙහෙමයි

සැප්තැම්බර් 12, 2022

 

පසුගිය කලාපයෙන් ඇන්තූරියම් පැළ සහ ලොකු ගස් සිටුවීම පිළිබඳ අවබෝධයක් ලබාගත්තෙමු. අද අපි අද පොහොර භාවිතය පිළිබඳ දැනුවත් වෙමු.

 

ලොකු ගස් හා කුඩා පැළ සිටුවා සති දෙකකට පසු දියර පොහොර යෙදීම ආරම්භ කළහැකියි. ඒ සඳහා ඇල්බට් සොලුයුෂන් ද්‍රාවණය දින 10 ට වරක් කුඩා සහ ලොකු ගස් දෙකටම යොදන්න. කුඩා පැළ සඳහා N වැඩි දියර පොහොරක් දින 10 ට වරක් යෙදීම සුදුසු අතර ලොකු ගස් සඳහා K වැඩි දියර පොහොරක් දින 10 ට වරක් යෙදීම සුදුසු වේ.

මුල් සඳහා කැට පොහොර (ඔස්මකෝට්) මාස 2 ½ ට වරක් යෙදීම ප්‍රමාණවත් අතර පැළයේ ප්‍රමාණය අනුව N හෝ K යන වර්ගය තෝරා ගන්න. කුඩා පැළ සඳහා N ද මල් හටගැනීමට ආසන්න හා මල් හටගෙන ඇති පැළ සඳහා K යොදන්න.

වැසි දිනයන්හි ජලය සැපයීම නො කළ යුතු අතර දියර පොහොර වර්ග සහ දිලීර නාශක පත්‍ර මත ජලය රැඳී ඇති අවස්ථාවල යෙදීම සුදුසු නොවේ.

හොඳින් හිරු එළිය ඇති අවස්ථාවල උදේ 9 - 10 ත් අතර පොහොර සහ දිලීර නාශක ස්ප්‍රේ කිරීම සුදුසු වන අතර ඇන්තූරියම් වගාවට 80% සෙවණක් අත්‍යවශ්‍ය වේ.

දිනපතා පරීක්ෂා කිරීමෙන් රෝග පිළිබඳ දැනුවත් විය හැකි අතර එවැනි අවස්ථා දුටු විගසින් එම පැළය අනිත් පැළවලින් වෙන්කර එම පැළයට සහ අනිත් පැළවලට ප්‍රතිකර්ම කළ යුතුය. එමඟින් රෝගය පැතිරීම වළක්වා ගත හැකියි.

මෙසේ නඩත්තු කළ ඇන්තූරියම් පැළයකින් ඉතා නිරෝගී වර්ණවත් මල් ලබා දෙයි.

උපදෙස්

මයුරි ලසන්ති ප්‍රනාන්දු

රන්පත් ෆ්ලවර් නර්සරි

කඩුවෙල