හැමෝගෙන්ම උපදෙස් අරගෙන අමාරුවේ වැටෙන්න එපා!

සැප්තැම්බර් 12, 2022

 

ඔබේ සිහින කැදැල්ල ඉදිකරගන්න නම් ඔබ සතුව ඒ ගැනත් යම් දැනුමක් තිබිය යුතුයි. ඒ නිසාම නිවැරැදි දැනුම ලබාදෙන්නට අපි හැමදාමත් වෙහෙසෙන්නෙමු.

ඉදිකිරීමක දී නවීන තාක්ෂණය වගේම නිවැරැදි උපදෙසුත් ඉතා වැදගත්. අපි එය විවිධ කරුණු මඟින් පැහැදිලි කරගනිමු.

 

සාර්ථකත්වයට දුප්පත් පෝසත් භේදයක් නැහැ

ලස්සන නිවෙසක් හදා ගන්න එක බොහෝ දෙනකුට තියෙන ලොකු බලාපොරොත්තුවක්. හිතේ තියෙන ඒ සිහින මාලිගය අංග සම්පූර්ණවම ඉදි කර ගන්න තරම් වත්කමක් හැමෝටම නැහැ. අතේ තියෙන සීමිත මුදල් නියමිත ආකාරයට කළමනාකරණය කරගෙන වියදම් කරන්න පුළුවන් නම් ඔබට මේ ගමන සෑහෙන දුරක් යා හැකියි. මීට අමතරව අනිවාර්යයෙන්ම ඔබ සතු විය යුතු දෙයක් තිබෙනවා. ඒක තමයි තිර අදිටන හා අරමුණ සඵල වෙනකම් වෙනස් නොවෙන උත්සාහය. මේ කාරණාවන්ට දුප්පත් පෝසත් බේදයක් නැහැ. මිල මුදල් සීමිත අය ළඟ මේ ගුණාංග තියන එක නිවෙසේ වැඩ ඉක්මනින් අවසන් කර ගැනීමට මනා පිටිවහලක් වෙනවා.

 

යා යුතු දුර ගමනාන්තය මුලදීම දැනගන්න

නිවෙසේ සැලසුම වාස්තු විද්‍යාව සමඟ ගැළපීමත් අත්‍යවශ්‍ය දෙයක්. ඇතැම් අය තවමත් මෙය අනවශ්‍ය දෙයක් යැයි බැහැර කරමිනුයි ගේ හදන්නේ. නමුත්, යම් අවාසනාවකට ගෙදර වැඩ නැවතුණොත් හෝ නොසිතූ වෙනයම් බිඳවැටීමක් ඔබේ ජීවිතයේ ඇතිවුණහොත් සමහර විට ඔබ පමා වැඩි විය හැකියි. ඒ විතරක් නෙමෙයි. නිවෙසේ වැරැදි ගැන එක් එක්කෙනා කියන කතා ඔබට මහත් හිසරදයක් හා කලකිරීමක් ඇති කරනවා නියතයි. සියලුම වාසනාවන් හෝ අවාසනාවන් වාස්තු විද්‍යාව මත රැඳෙනවා කියන එක නෙවෙයි මෙහි අදහස. නමුත්, පෙර දුර දිග නො බලා කළ දේවල් ගැන දෙවනුවට පසුතැවිලි වී වැඩක් නැහැ. මුලදීම නිවැරැදි දේ කිරීමට යොමු වීමයි සුදුසු වෙන්නේ.

“විද්‍යා - කලා ආදී නොයෙක් ශිල්ප ක්‍රම රැසක පෝෂණය ලබමින් ධාර්මික පසුබිමක සියවස් ගණනාවක් පැවත ආ දේවල් අපේ ශරීරයට පත්තියම් වී අවසන්. වාස්තු ශිල්පයත් මේ අතර එන ඉතා වටිනා විද්‍යාවක්. නො සැලකීම හෝ බැහැර කිරීම නිසා මේ විද්‍යාව විනාශ වේ නම්, එසේ වන්නේ මිනිසාගේ විනාශයෙන් මොහොතකට පසුවයි.”

 

නිවැරැදි තාක්ෂණය වැඩි දුරක් ඔබව ගෙනයයි

නවීන තාක්ෂණය කියන්නේ වැඩි වශයෙන් අද කාලේ කතාබහ කරන, ඉදිකිරීමක දී අප විසින් ළං කර ගත යුතු දෙයක්. මෙයින් අප බලාපොරොත්තු වෙන්නේ ප්‍රමිතියේ කිසිදු අඩු කිරීමක් නො කර, මුදල් නාස්ති වෙන අනවශ්‍ය දේ බැහැර කිරීමයි. එසේ කළහොත් පමණයි සීමිත මුදලකින් උපරිමයක් ඉදිකිරීමේ වැඩ කටයුතු සිදු කෙරෙන්නේ. ඉතා විශාල පරාසයක් තුළ මේ දේවල් කතා කිරීමට පුළුවන්. අපි සරල උදාහරණ කීපයක් ගනිමු.

නිවෙසක් ඉදි ඉදිකිරීමේ දී අත්තිවාරම් සඳහා බොහෝ විට අප යොදන්නේ කළුගල් සහ කොන්ක්‍රීට් පාදම් කණුයි. පසේ දරාගැනීමේ ශක්තිය එතරම් සතුටුදායක නැත්නම් සුදුසු ස්ථරයක් එනකම් මේ අත්තිවාරම ගැඹුරට යායුතුයි. නමුත්, සාමාන්‍ය නිවෙසක අත්තිවාරම් සඳහා ඉතා ගැඹුරු කාණු කැපීම කියන්නේ සෑම පැත්තෙන්ම වියදම් අධික වැඩක්. නිවැරැදි තාක්ෂණික උපදෙස් මත සාමාන්‍ය ගැඹුරක දී අපට අවශ්‍ය දත්තයන් සමඟ ගැළපෙන පරිදි පසේ ගුණාංගයන් සංවර්ධනය කරගන්න පුළුවන්. නිවැරැදි ආකාරයෙන් පස සම්පීඩනය කිරීමත් ඉහත සංවර්ධන කාර්යයේ ප්‍රධාන කොටසක්. නිසියාකාරව තැළූ බිමකින් විශාල බරක් දරාගන්න පුළුවන්. එවිට ඉදිකිරීම් වැඩ නොනවත්වා එක දිගටම කරගෙන යා හැකියි. ඉස්සර වගේ අත්තිවාරම දාලා පොළොවට ස්ථාවර වෙනකම් සති මාස ගාණක් බලා ඉන්න අවශ්‍ය නැහැ.

තනි තට්ටුවේ නිවාස සඳහා යොදන කොන්ක්‍රීට් ලින්ටල් ගැන ඔබ දන්නවා ඇති. බිත්තියේ උස අනුව නියමිත පරතරයකින් මේවා දැමිය යුතුයි. ඉහළ බලයන් යම් තුලනයකට පත්කර පහළට සම්ප්‍රේෂණය කිරීමත්, එකම පද්ධතියක් ලෙස මුළු ව්‍යූහයම සම්බන්ධ කිරීමත් මෙහි අරමුණයි. ඔබේ තට්ටු නිවෙසට මේ විදිහට ලින්ටල් හැම තැනදීම ඕනෙ නැහැ. ස්ලැබ් එකක් සමඟ යොදන තලාඳ (බීම් - Beam) කියන්නේ වඩාත් බර දැරිය හැකි අංගයකට. ඉතින් බීම් තිෙයන සෑම තැනකම ඊට යටින් වඩාත් ආසන්නව ලින්ටල් දැමීම අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි.

මේ කාරණාවන් ඔබට වැදගත් වන්නේ අඩු කාලයකින්, වැඩි වැඩ කොටසක් කරගන්නත් තියෙන මුදල් ආරක්ෂා කර කරගන්නත් ඕ ෙන නිසයි. මොකද ජීවිත කාලයම ගේ හද හද ඉන්න බැහැනේ.

 

හැමෝගෙම උපදෙස් එපා

අත්හදා බලන්නට කටයුතු කිරීමත්, හමුවෙන සියලු දෙනාගෙන් උපදෙස් ගැනීමත් මේ කර්මාන්තයේ දී ඉතා භයානක දෙයක්. ඔබට එක සිදුවීමක් ගැන කියන්නම්. මෙවැනි උදාහරණවලින් මීට පෙර කීප අවස්ථාවක දී ම ඔබව දැනුවත් කර තිබෙනවා මතක ඇති.

පේමසිරි කියන්නේ තේ කඩයක් කරගෙන එදිනෙදා වියහියදම් හොයාගත්ත අහිංසක ගැමියෙක්. ඔහුගේ ලෑලි කඩය තිබුණේ ප්‍රධාන පාරක් අයිනේ. උරුමයෙන් ඔහුට ලැබුණු මේ ඉඩමේ කඩයට පිටුපස කොටස පහත් වගුරු බිමක්.

කඩේට නිතර යන එන අය සමඟ කුළුපගු වීම, කතාබස් කිරීම ඔහුගේ සිරිතක්. මේ අතර සිටි එක්තරා පුද්ගලයෙක් දවසක් මෙහෙම යෝජනාවක් කළා. මුදලාලි .... හැමදාම මෙහෙම ඉඳලා බැහැනේ. මේ තේ කඩේ මීට වඩා ලොකුවට සිමෙන්තියෙන් හදන්න ඕනේ. බලන්න ..... ඉස්සරහ වාහනයක්වත් නවත්තන්න ඉඩ තියෙනවා ද කියලා. කඩේ ටිකක් පස්සට කරලා හොඳට පෙනුමට හැදුවොත් බලන්නකෝ මුදලාලි මාස දෙක තුනකින් තවත් තට්ටුවක් හදනවා. ඔහුගේ හිත යන කතාවට මුදලාලි රැවටෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ.

“දෙයියනේ.... මේ නම් මාව කරදරවලින් බේරගන්න ආපු ගැලවුම්කාරයා” යැයි සිතමින් මුදලාලි ලෑලි ජනේලයෙන් පිටුපස බැලුවා. “මගේ අතේ සල්ලිත් නෑ කොහොමද කඩේ මේ වගේ වෙලක හදන්නේ.....”

“ඕකට ගැළපෙන හොඳ අත්තිවාරමක් තියෙනවා මුදලාලි. ඒකට කියන්නේ පයිල් (Pile) ගහනවා කියලා... සල්ලි ද මුදලාලි අද කාලේ ප්‍රශ්නේ. මම ලෝන් එකක් හදලා දෙන්නම්. පොලියට සල්ලි දෙන රංජි අයියත් මගේ යාළුවනේ... කොහොමහරි සල්ලි ටික හොයාගෙන ඉක්මනින් වැඩේ පටන් ගමු.” මුදලාලි ඔහුට අයිති ඉඩමක් විකුණලා තව සල්ලි ටිකකුත් හොයාගෙන, අමාරුවෙන් ඒ කාලයේ හැටියට ලක්ෂ 13ක් හදාගත්තේ වැඩේ පටන් ගන්න හිතාගෙන. හැදුවාට පසුව කඩේ තියෙන ලස්සන සහ එයට යන එන ජන ගංගාව නිතරම ඔහුට මැවී පෙනුණා.

 

අතේ සල්ලිත් නෑ කරපු දේකුත් නෑ

කඩේ අත්තිවාරම දාන්න ඉදිකිරීම් සමාගමකට බාර දුන්නා. මොකද පයිල් කියන්නේ විශාල මුදලක් වියදම් වෙන, හැමෝටම කරන්න බැරි අත්තිවාරම් වර්ගයක්. ලක්ෂ හයක පමණ අත්තිකාරමක් ගෙන, වැඩේ පටන් අරගෙන, අන්තිමේ දී අත්තිවාරමේ වැඩ කටයුතු අවසන් වූ පසුව බිල දුටු මුදලාගේ ඉහ මොළ රත් වුණා. කලින් ඇස්තමේන්තුවට වඩා අවසාන බිල වැඩිවී තිබුනේ අමතර කාර්යයන් කිහිපයක් නිසාලු.

ඔහු සතුව තිබූ ලෑලි කඩෙත් දැන් නැත. කඩේ ඉවර කර ගන්නට තරම් අතේ මුදලුත් නැත. කරගත්ත දේකුත් නැත. ඔහු දැන් කඩේ කරන්නේ ගැලවූ පැරණි ලෑලි කඩය පයිල් අත්තිවාරම මත නැවත අටවා ගෙනයි.

ඉහත කාරණයේ ඇති සත්‍ය අසත්‍ය භාවයට වඩා ඒ තුළ ගැබ්වී ඇති ප්‍රයෝජනවත් දේ ගැන පමණක් සිත යොමු කරන්න. මේ කාරණය මා ඔබට කීවේ කෙනකු අසරණ වූ විට සරදම් කිරීමට නොවේ. තමා සතු දේ, තමාට අවශ්‍ය දේ සහ තමගේ හැකියාව ගැන මනා තක්සේරුවක්, දැනීමක් තමුන්ට තිබිය යුතුයි. මේ හැම දෙයක්ම සලකා බලා අවසන් තීරණය බුද්ධිමත්ව ගත යුත්තේ තමා විසිනුයි. නොදන්නා දේ ගැන උපදෙස් ලබා ගෙන ඉදිකිරීමේ කටයුත්තක් කිරීමේ දී එය සාර්ථක කරගැනීමට නිවැරැදි උපදෙස් හා තැනට උචිත නිසි තාක්ෂණික යෙදීම් යනු සාර්ථකත්වය ළඟා කරගැනීමට මහෝපකාර වන දෙයක් බව ඔබට පැහැදිලි ඇති. බුද්ධිමත්ව මේ කාරණා ගළපා ගෙන කටයුතු සාර්ථක කරගැනීම ඔබ සතු දෙයක්.

සිවිල්/ව්‍යුහාත්මක ඉංජිනේරු, වාස්තු විද්‍යා විශාරද ආචාර්ය
ගයාන් එරමුදුගොඩ ලියයි