ඔබේ අතත් මේ වගේද?

මැයි 19, 2025

 ‍ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී

නිරංගා බාලසූරිය

 

කරුණාව, සෙනෙහස වැනි සියුම් මිනිස් ධර්මතා ඉතා අඩුව පිහිටන මෙවැනි අත් හිමියෝ බොහෝවිට කෝපාවිෂ්ට ගති ලක්ෂණ දක්වති.

හස්ත රේඛා විද්‍යාව නම් වදන්වලින් ප්‍රකට වන අයුරින් එහි මූලික පදනම වන්නේ අත්ල සහ අත්ලේ ඇති සටහන්, පිහිටීම් වැනි දෑ බව අමුතුවෙන් කිව යුතු නොවේ. හස්ත පරීක්ෂාවේ ප්‍රධානම පියවර වන්නේ එම අත්ල කුමන වර්ගයකට, විශේෂයකට අයත් වේදැයි නිශ්චිත කොට ගැනීමයි. “කාවලස්“ නම් හස්ත රේඛා විද්‍යාවේදීයා අත් වර්ග හැත්තෑවකට බෙදා දක්වා ඇති අතර ට්‍රිකානස් එය විසි හතකට බෙදා කරුණු දක්වා ඇත. භාරතීය සාමුද්‍රික ශාස්ත්‍රයේදී විවිධ ගුරුකුලවල ඇති බෙදීම් සංඛ්‍යා එකින් එකට පරස්පර වෙයි. කේරළයේ ශ්‍රී පසුපති ගුරුකුලය අත් වර්ග තිස් හයක් දක්වන අතර එය සරල බෙදීම් දක්වා ලුහුඬින් දැක්වූ විට අත් වර්ග හයක් දැක්වෙයි.

 

පොදු සම්මතය පිළිබඳ සලකා බලන විට මෙම හස්ත විභේදනය කොටස් හතකට සීමා වන අයුරු දැකිය හැකි වේ. ඒ අනුව,

 

1. මූලික හස්තය

2. චතුරස්‍ර හස්තය

3. කාර්මික හස්තය

4. දාර්ශනික හස්තය

5. කලා හස්තය

6. චෛත්‍යක හස්තය

7. විෂ හස්තය

 

ඒ ඒ හස්තයන්ට අනුව පුද්ගල ස්වභාවයන් කොටස් කොට ඇත. ඔබේ අත්ල පරීක්ෂා කර ගැනීමේදී එය මේ සත් වැදෑරුම හස්තයන් අතරින් කුමකට සමාන වේදැයි මනාව නිශ්චය කරගත හැකියි.

 

01. මූලික හස්තය

 

මෙම හස්තයේ මහපට ඇඟිල්ල ඉතා කෙටිව පිහිටයි. අනෙක් ඇඟිලි ද සාපේක්ෂ ලෙස කෙටි ස්වභාවයක් ගනියි. අත්ල සහ පිට අත්්ලෙහි ගොරෝසු සමක් පිහිටන අතර ඇඟිලි පුළුල්ව ශක්තිමත්ව පිහිටයි. අත්ල තද බවක් ගන්නා අතර රේඛා ඉතා අඩුවෙන් පිහිටයි. කෙටි වූ ශීර්ෂ රේඛාවක්ද ගැඹුරු ජීවන රේඛාවක්ද පිහිටයි. දෛව රේඛාවද කෙටිව පිහිටන අතර බොහෝ විට හෘදය රේඛාව දක්නට නොලැබෙයි.

 

මෙවැනි හස්තයක් පිහිටි පුද්ගලයින් බැලූ බැල්මට සටන්කාමී ගති ලක්ෂණ ප්‍රකට කරන්නේ වී නමුදු බෙහෙවින් බියසුලු ගති ඇත්තන් වේ. ඉවසීම, කරුණාව, සෙනෙහස වැනි සියුම් මිනිස් ධර්මතා ඉතා අඩුව පිහිටන ඔවුහු බොහෝවිට කෝපාවිෂ්ට ගති ලක්ෂණ දක්වති.

 

විචාර බුද්ධිය ද, කල්පනා ශක්තිය ද අඩු මූලික හස්ත හිමියන්ට ඉතා හොඳ මතක ශක්තියක් පිහිටයි. බොහෝ කටයුතු කරන්නේ ක්ෂණිකව පහළ වුණු හැඟීමෙන් විනා සිතා මතා බැලීමකින් පසුව නොවේ. එබැවින් නොසිතූ විරූ ලෙස අනිසි ප්‍රතිඵල භුක්ති විඳීමටත් අන්‍යයන්ගේ කෝපයට සහ අගෞරවයට ලක් වීමටත් ඉඩ තිබේ.

 

බොහෝ බලාපොරොත්තු සහ ආශාවන්ගෙන් සිත පිරී ඇති නමුදු එම අදහස් ඉටු කර ගැනීමට නො වෙහෙසෙයි. ඒ සඳහා උපක්‍රම නොයොදයි. ඒත් අවස්ථාවක් ලද විට අළු යට සැඟවුණු ගිනි පුපුරක් සේ එය ක්ෂණිකව ක්‍රියාවට නඟයි. ආත්ම දමනයෙන් තොර වේ.

 

ජීවනෝපාය මාර්ග පිළිබඳ කටයුතුවලදී මෙවන් පුද්ගලයින් මනා ක්‍රියාශීලිත්වයක් දක්වයි. බොහෝ අයට කළ නොහැකි, කිරීමට අපහසු කටයුතු ඉතා සාර්ථක ලෙස ඉටු කිරීමේ සමත් වේ. මිථ්‍යා අදහස්වල අනවශ්‍ය තරමට එල්බ ගනියි. සිය මිතුරන් අතරෙහි දී පවා අනවශ්‍ය ලෙස ආධිපත්‍යය පතුරුවා අල්ලාන්නට උත්සාහ කිරීම නිසා බොහෝවිට අන්‍යයන්ගේ කෝපයට, ගර්හාවට හා පිළිකුලට ලක්වේ. මේ නිසාම හිත මිතුරුකම් බිඳ ගනියි.

 

සැප විඳීමෙහි අධික ආශා ඇත්තෙක් වේ. අත්ලට වඩා ඇඟිලි දිගු වී නම් කිසියම් බුද්ධිමත් බවක් දක්වයි. එහෙත් ඇඟිලි කෙටි වී, අත්ල විශාල වී නම් දුරදිග නොසිතා ක්‍රියාකරන ගති ඇති වේ. ශාස්ත්‍රවන්තයෙක් නොවූවද ඇතැම් විට මුඛරි ලෙස පටු තර්ක ඉදිරිපත් කරමින් කතා කරයි. ගෘහ ජීවිතය ඉතා රළු පරළු අන්දමින් ගත කරන්නෙකු වන අතර ආත්මාර්ථකාමී ගතිගුණ ප්‍රකට කරයි.

 

මූලික හස්තය සහිත පුද්ගලයන් දක්නට ලැබෙන්නේ අඩුවෙනි. අධ්‍යාපනයෙන් උසස් මට්ටමකට පත්වීමට තරම් තීක්ෂ්ණ බුද්ධියක් නොපිහිටන අතර තම අණසකට යටත් කර ගත හැකි යමෙක් වෙත්නම් ඔහු එම පුද්ගලයන් අපහසුවට පත්කරන තරමට සිය බලය පෙන්වයි.

 

එහෙත් බලවන්තයින් ඉදිරියේදී ආත්ම ගෞරවය පවා නොතකමින් බියගුල්ලෙකු ලෙස හැසිරීමට ද මොහු හට හැකියාව ඇත. මුදල්වලට දැඩි ආශාවක් දක්වයි. ඉතිරි කිරීමට පෙලඹෙයි. එහෙත් බැංකුවල තැන්පත් කිරීම වෙනුවට ප්‍රාථමික අයුරින් අහුමුලුවල සඟවා තබන්නට උත්සාහ කරයි.

 

මූලික හස්තයන් පිහිටන පුද්ගලයන් සමාජශීලි අය නොවන අතර තමන්ට රුචි තමන් වැනිම වූවන් සමඟ සමාගම් පවත්වයි. දූර්දර්ශිව නොසිතන, තීක්ෂ්ණ ලෙස කටයුතු නොකරන ඔවුන් වැඩි කලක් ආයු වැළඳීමෙහි සමත් වේ. ඇස්, කන් වැනි ඉන්ද්‍රියන් ඉතා තීක්ෂ්ණ වේ. මහලු වියට එළඹුණ ද එවන් ඉන්ද්‍රියන් දුර්වල වන්නේ ඉතා අඩුවෙනි.

 

ආගමට දහමට බියක් දක්වන නිසාම ඒ සම්බන්ධ කටයුතුවල යෙදෙතත් සිත තුළ ශ්‍රද්ධාවක් නොපිහිටයි. නිර්මාණාත්මක ජීවිතයක් නොව යාන්ත්‍රික ජීවිතයක් ගෙවන්නට යොමුවන මූලික හස්ත හිමියන් අතෘප්තිකර ජීවිත ගෙවයි. කෘෂිකාර්මික කටයුතුවලට මෙන්ම කය වෙහෙසා කරන කටයුතුවලට දක්ෂතාවක් දක්වයි. පරිසරයට, ගහ කොළට, ඇලුම් කරන ඔවුන් අන්ධ විශ්වාසයන් නිසා ඇතැම්විට ජීවිතය ද අවුලක් කර ගැනීමට පෙලඹෙන්නට ඉඩ ඇත.

 

Line Art - නිලක්ෂි ආරියරත්න