වර්ෂ 2025 ක්වූ May 19 වැනිදා Monday
හස්තයේ සලකුණු පෙන්වන නීරෝගිතාව

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ගුප්ත විද්‍යා ආචාරිණී
නිරංගා බාලසූරිය
අත්ලක මණ්ඩලවලින් වටවී ඇති මැද කොටස එනම් කුජ කලාව හස්ත රේඛා පරීක්ෂණයකදී සුවිශේෂ ප්‍රදේශයක් ලෙස සැලකේ. මෙම කුජ කලාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒ මහා චතුරස්‍රය සහ ත්‍රිකෝණය වශයෙනි.
ඇතැම් අත්ලක මහා ත්‍රිකෝණය දක්නට ලැෙබතත් මහා චතුරස්‍රය පැහැදිලිව දකින්නට ලැබෙන්නේ නැත. මහා ත්‍රිකෝණයේ ජීවන රේඛාව, ශීර්ෂ රේඛාව සහ සුබ රේඛාව එක් වීමෙන් තැනෙන අතර, මහා චතුරස්‍රය තැනෙන්නේ සුබ රේඛාව, ශීර්ෂ රේඛාව සහ හෘද රේඛාව එක්වීමෙනි.
ඇතැම් අත්වල ජීවන රේඛාව, දෛව රේඛාව සහ ශිර්ෂ රේඛාව එක් වීමෙන්ද ත්‍රිකෝණයක් නිර්මාණය වෙයි. එමෙන්ම දෛව රේඛාව, සුබ රේඛාව සහ ශිර්ෂ රේඛාව එක් වීමෙන්ද ත්‍රිකෝණය සෑදෙන අවස්ථා දැකිය හැකි වන අතර, ඒ සෑම ත්‍රිකෝණයක්ම ඉහළින් දෛව රේඛාවෙන්ද පහළින් සිකුරු සහ සඳු මණ්ඩලවලින්ද වට වී ඇත.
මහා ත්‍රිකෝණය
මහා ත්‍රිකෝණය වූ කලී කුජ ග්‍රහයාට මුළුමනින්ම අයත් වූ සුවිශේෂී ප්‍රදේශයකි. මෙම කොටස මනාව ඉලිප්පි දෑතෙහිම දක්නට ලැබේ නම් හෙතෙම ආක්‍රමණකාරී ගති ලක්ෂණ සහිත වූවෙක් බැව් කියවෙයි. දියුණුවීමේ දැඩි ආශාවක් ඇති මඳක් උඩඟු සිතිවිලි සහිත වූ නිර්ලෝභීව මුදල් හදල් වියදම් කරන්නා වූ අයකු වන අතර ඇතැම් විට නාස්තිකාරයකුද විය හැකිය. තම මතයම මුල්කොට වැඩ කටයුතු කරන අයෙකු වේ.
එහෙත් එක් අතක පමණක් මෙම කොටස මනාව වැඩී අනෙක් අතෙහි මහා ත්‍රිකෝණය මඳක් වළ ගැසුණු බවක් දක්නට ලැබේ නම් හෙතෙම නිර්භීත වූද සෘජු සිතුවිලි සහිත වූද අන්‍යයන්ගේ සැපට කෙසේ වෙතත් දුකට ළඟ ඉන්නා වූද අයකු වේ. යුක්තියත් සාධාරණත්වයත් වෙනුවෙන් සටන් කිරීමට නොපසුබට වන හෙතෙම සමාජයේ කැපී පෙනෙන චරිතයක් සහිත පුද්ගලයකු වේ.
යමෙකුගේ අත්ලෙහිම මහා ත්‍රිෙකා්ණය මනාව නොවැඩුණේ වී නම් එම පුද්ගලයා නිතර ආර්ථික පීඩාවලින් සිත් තැවුල් ඇති කරගන්නා අයෙකි. නිර්භීත බව පෙන්වීමට උත්සාහ කළද සැබවින්ම නිර්භීත නොවූ උඩඟු වූ අයෙකු ද වෙයි. එම පුද්ගලයෙකුගේ මහා ත්‍රිෙකා්ණය කුඩාවට පිහිටියේ නම් හෙතෙම වංචාකාරයකු වේ. නොයෙක් උප්පරවැට්ටි යොදමින් ජීවත් වන්නා වූ නීතිගරුක නොවූ බලය ඇත්තන්ට දැඩි සේ ගැතිකමක් දක්වන්නා වූ මෙවැනි පුද්ගලයන් කෙරේ කිසිසේත්ම විශ්වාසය තැබිය නොහැකි වෙයි. බොහෝ විට මෙවැන්නන් ආත්ම වංචාවෙන් යුතුව ජීවත් වෙති. නඩු හබවලට පැටලෙති. සමාජයේ අගෞරවයටත් අපහාසයටත් ලක් වෙති.
මහා ත්‍රිෙකා්ණය නිසි පරිදි සටහන් වී නොමැති නම් ඔවුන්ගේ ජීවිත කුමන පැත්තකින් හෝ අසාර්ථක වන බව සමුද්‍රික ශාස්ත්‍රයේ නියමයයි. බොහෝ විට සමාජශීලි අය නොවෙති. බියගුලු එමෙන්ම හීනමාන මානසික තත්ත්වයන් ඇති අය වෙති. ශීර්ෂ රේඛාව හෝ සුභ රේඛාව නැතහොත් ජීවන රේඛාව කැඩී බිඳී ගිය අයුරින් පිහිටීමත්, නැතහොත් රැලි සහිතව පිහිටීමක් නිසා ඇතිවන්නේද මේ ප්‍රතිඵලමයි.
ඒ හැරුණු කොට මෙසේ විකෘති ලෙස මහා ත්‍රිකෝණය අත්ලේ පිහිටා ඇති අය කිසිදු ගුණධර්මයකට ගරු නොකරන නීති රීති බිඳ දැමීම උසස් දෙයක් කොට සලකන අය වෙති. ඔවුහු ඉවක් බවක් නැතිව ක්‍රියා කිරීම නිසා බොහෝ කරදරවලට පැටලෙති. ඔවුනගේ ගෘහ ජීවිතය සාර්ථක වන්නේ ද නැත. අඹු දරුවන්ට නිසි අයුරින් සැලකීමට හෝ තම යුතුකම් ඉටුකිරීමට මෙවන් අත්ල හිමියන් උනන්දු වන්නේ නැත.
මහා ත්‍රිකෝණය තුළ රතු පැහැති ලප පිහිටීම රුධිර රෝගවලට සහ සිරුරේ හෝමෝන සමතුලිතතාව බිඳ වැටී ඇති බවට සලකුණකි. කාන්තාවකගේ නම් දරුගැබක් පිහිටි විට මේ ලක්ෂණය දැකිය හැකි වෙයි. මහා ත්‍රිෙකා්ණය තුළ සුදුපැහැ ලප පිහිටීම බිඳවැටුණු සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සලකුණකි. සෙම් රෝග, බ්‍රොන්කයිටිස් වැනි රෝග ද කාන්තාවක් නම් විවිධාකාර කාන්තා රෝග ද (මෙවැනි ලප පවතීනම්) වැලඳීමට ඉඩ ඇති බැව් මනාව වටහා ගත යුතු වේ. එසේම මහා ත්‍රිෙකා්ණය තුළ සුදු ලප පිහිටි විට කාන්තාවන්ට ගබ්සා වීම් ද සිදුවිය හැකිය.
මහා ත්‍රිෙකා්ණය මත කහ ලප පිහිටීම අක්මාව පිත්තාශය ආදී ඉන්ද්‍රියයන්හි රෝග ඇති බවට සලකුණක් වේ. උණ, සෙංගමාලය වැනි රෝග පිළිබඳව ද (ඔබේ අත්ලේ කහ පැහැ ලප ඇතොත්) නැඹුරුතාවයක් ඇතිවිය හැකිය.
මහා ත්‍රිකෝණය මත පිහිටන කළු ලප බෙහෙවින්ම අශුභපල ගෙන දෙයි. නෂ්ට කාමරෝග, දරුඵල හිඟවීම, ස්ත්‍රීන්ගේ සුද යාම ආදී විවිධ ලිංගික රෝගාබාධ ඇති බවට මේ කළු ලප සලකුණක් විය හැකිය. එබැවින් මහා ත්‍රිකෝණය තුළ පවතින ලප කැළැල් පිළිබඳව ඔබ නිරන්තරයෙන් පරීක්ෂාකාරී විය යුතුවේ. මහා කෝණය තුළ කතිර ලකුණක් පිහිටියේ නම් ජීවිතය බොහෝ ගැටලු මැද ගෙවී යයි. එහෙත් මඳක් උස් වූ ගොඩැල්ලක මනා ලෙස කතිර ලකුණ පිහිටියේ නම් නඩු හබවලින් දිනීමේ භාග්‍ය උදාවන බැව් පූර්වාචාරීන්ගේ මතයයි. මහා ත්‍රිකෝණය මැද තරු සලකුණක් පිහිටියේ නම් එය පෙර පින් මතුවන බවටත්, ඉතා කෙටි කලකින් භාග්‍ය උදාවන බවටත් සලකුණක් වේ. ඒ අනුව සියල් යසිසුරු ඔබ වෙත නිතැතින්ම ළඟා වන අතර මහා ධනවතෙකු බවට පත්වීමේ භාග්‍යමත් පෙර නිමිත්තක් ලෙස එය සැලකිය යුතුවේ.
එහෙත් දෙඅත්ලේම තාරුකා සලකුණු පිහිටීම ශුභ නොවේ. එයින් කියැවෙන්නේ ජීවිතයේ අවසානය හදිසි අනතුරකින් ළඟා වන බවයි. එමෙන්ම සුඛ රේඛාවට ළංව පිහිටි තරු ලකුණ ද ශුභ නොවේ. බොහෝවිට අක්ෂි රෝගවලට හේතුවන මේ සලකුණ පහළ වූ විට ඇස්වල ශල්‍යකර්ම කිරීමටද හේතු විය හැකිය. මහා ත්‍රිකෝණය තුළ ඇති කව සලකුණ ශුභඵල මෙන්ම අශුභ ඵලද ගෙන දෙන්නකි. මෙම කව සලකුණ තුළින් ස්ත්‍රී පුරුෂ සබඳතා පිළිබඳ සුවිශේෂ හෙළිදරවු කිරීමක් සිදුවේ. මෙවන් සලකුණක් අත්ලේ ඇතොත් හෙතෙම පුරුෂයෙක් නම් ස්ත්‍රීන්ගෙන්ද ස්ත්‍රියක් නම් පුරුෂයින්ගෙන් ද කරදර පැමිණෙයි. ධන හානි වේ. බොහෝවිට නමට කැළලක් වේ. සාමාන්‍ය සමාජය තුළ මෙවන් පුද්ගලයින්ගේ ගෞරවයට හානි සිදුවේ.
යම් ස්ත්‍රියකගේ දකුණතෙහි මහා ත්‍රිකෝණය තුළ කවයක් පවතී නම් ඕ කාම චේතනාවලින් වසඟව සිටින්නියකි. බොහෝ පුරුෂයන් ඇසුරට කැමැත්ත දක්වන අතර එවන් සබඳතා රැසක් ගොඩ නඟා ගනී. ප්‍රසිද්ධ අභිසාරිකාවක් වීමට වුවද ඉඩ ඇත. එහෙත් මේ පිහිටීම නිසා ඕ හට යස ඉසුරු බලතල යාන වාහන ගේ දොර ඉඩකඩම් ආදිය හිමි වේ. ඉසුරුමත් සැපවත් ජීවිතයක් ගත කිරීමට භාග්‍යය උදාවේ.
මෙවන් සලකුණු සහිත ස්ත්‍රීන් මනා රූ සපුවකින් යුතු මෘදු තෙපුල් සහිත මන මෝහනීය ලලනාවන් වෙති. බොහෝ විට ප්‍රසිද්ධ සහ ජනප්‍රිය කලා ශිල්පිනියන්ගේ අත්වල මෙම සලකුණ දක්නට ලැබේ. ලොව කැලඹූ මන මෝහිනියන් වන එළිසබත් ටේලර්, මැරිලින් මොන්රෝ, ඉතාලි ආඥාදායක බෙනිටෝ මුසොලිනිගේ පෙම්වතිය වූ ක්ලේරා පෙටාසි වැන්නන්ගේ අත්වල මෙන්ම රුසියානු බැලේ ශිල්පිනියක වූ ඇනා පවුලෝ වාගේ අතෙහිද මෙම සුවිශේෂ කව සටහන පිහිටා තිබුණු බැව් බ්‍රිතාන්‍ය ජාතික ප්‍රකට හස්ත රේඛා පර්යේෂකයකු වන බ්‍රොන් විල්හෙල්ම් පවසයි.
මහා ත්‍රිකෝණය තුළ චතුරස්‍ර සලකුණු පවතී නම් ජීවිතයේ භයානක අනතුරක් සිදුවීමට ඉඩ ඇති බවද එහෙත් එයින් වැළකීමට භාග්‍යය උදාවන බවද කියැවේ. නොසිතූ විරූ අයුරින් ජයග්‍රහණ හිමිකර ගැනීමට මෙම ත්‍රිකෝණ සලකුණු හේතු වෙයි.
මහා චතුරස්‍රය
මහා චතුරස්‍රය නිදහස්ව රේඛා සලකුණුවලින් මුක්තව පවතී නම් එය ඉතාමත්ම ශුභදායක වෙයි. මහා චතුරස්‍රය මනාව පිහිටන්නේ ශීර්ෂ රේඛාවත්, හෘදය රේඛාවත් මඳක් දුරස්ව පිහිටි විටය. එම රේඛා ළංව පිහිටි විට දුර්වල පුද්ගලයෙකු බැව් කියැවේ. බොහෝ දේ වියදම් වන නමුදු එවන් පුද්ගලයින් හිමිකර ගන්නා දෙයක් නොවේ. අවසානයේ හොඳ නමක්වත් ඇසීමට ඔවුනට හැකිවන්නේ නැත.
මහා චතුරස්‍රය තුළ රත් පැහැ ලප පිහිටීම ශුභ ලකුණක් නොවේ. එය හදිසි අනතුරක සේයාවකි. ඇතැම් විට කිසියම් හදිසි අනතුරකින් මිය යාමට වුවද සිදුවිය හැකිය. මහා චතුරස්‍රය මත විශාල කතිරයක් සලකුණුව ඇතොත් එය භාග්‍යමත් භවය ලක්ෂණයකි. ගුප්ත කතිරය ලෙස හඳුන්වන මේ කතිරේ නිසා නොසිතූ නොපැතූ භාග්‍යයන් උදාවන බව හස්ත රේඛා විද්‍යාවේ නියමයයි. මහා චතුරස්‍රය තුළ තරු ලකුණු පිහිටා ඇතොත් එය විශාල කීර්තියක් අත්කර දෙන බවට මනා සාධකයක් වේ. බොහෝ කීර්තිමත් පුද්ගලයන්ගේ අත්වල මේ සලකුණ පවතින බව හස්ත රේඛා පර්යේෂණවේදීන්ගේ නිගමනයයි. එමෙන්ම ව්‍යාපාරිකයකු ලෙස ඉතා ඉහළ සාර්ථකත්වයක් ලබා ගැනීමට මෙම තරු සලකුණ හේතු වෙයි. එහි බලපෑම හිමිවන කාල පරාසය තුළ එවන් සලකුණක් හිමි අත්ලක් ඇත්තා නොසිතූ විරූ ජයග්‍රහණයක් හිමිකර ගනියි.
මහා චතුරස්‍රය මැද චතුරස්‍රාකාර සලකුණක් පිහිටියේ නම් එවන් අත්ල හිමියන් ඉතා ඉක්මනින් ප්‍රකෝප වන පිරිසක් ලෙස හැඳින්වෙයි. එහෙත් ඉතා සුළු වේලාවකදී එම කෝපය නිවී යන අතර තම වැරදි අවබෝධ කර ගැනීමට තරම් ඔවුහු නිහතමානී වෙති. මහා චතුරස්‍රයේ කවාකාර සලකුණ දක්නට ලැබීම අශුභ ඵල ගෙන එන ලකුණක් වේ. මෙයින් හදිසි රෝග තත්ත්වයන්ට මුහුණ දීමට සිදුවන අතර එසේ ඇතිවෙන රෝගාබාධවලින් ආරක්ෂා වීමද ලෙහෙසි පහසු නොවේ. විශේෂයෙන් අක්ෂි ආබාධ ඇතිවිය හැකිය.
අත්ලේ මැද පිහිටි කුජ කලාව එනම් මහා ත්‍රිකෝණය සහ මහා චතුරස්‍රය සහිත ප්‍රදේශයේ මධ්‍යයෙහි මඳක් උස් වූ මණ්ඩලයක් පිහිටා ඇත්තේ නම් හෙතෙම මහා භාග්‍යවන්තයෙක් බව සාමුද්‍රික ශාස්ත්‍රයෙහි ගෙනහැර දැක්වේ. මනා ආයුෂ හිමිවන එවන් අත්ල හිමියන් කොතෙක් ගැටලුවලට මැදිව සිටියද සිටිවනම දියුණුවට පත්වේ. උගතුන් නැණවතුන් බලවතුන් ඇසුරට ඔවුනට අවස්ථාව උදාවන අතර ජීවිතය යස ඉසුරින් යුතුව දැසි දසුන් සහිතව භාග්‍යවත් අන්දමින් නිමා වන බව පූර්වාචාරීන්ගේ නියමයයි.
නිලක්ෂි ආරියරත්න