කොවිඩ් නිසා රැකියාව අහිමි කළොත් නීතියෙන් පිළිසරණක් තිබෙනවා ද?

මාර්තු 17, 2021

 

කෝච්චිය නියම වෙලාවට ඇවිත් ස්ටේෂමේ නැවැත්තුවා. වෙනදා ඇඟිල්ලක් වත් ගහන්න බැරි තරමට සෙනඟ ඉතිරිලා ඉන්න කාර්යාල දුම්රියේ දැන් ඉන්නේ සීට් ගාණට.

කොරෝනා නිසා හැමදේම වෙනස් වෙලා. කුමාරි දුම්රියට නැග්ගේ එහෙම හිතන ගමන්. සීට් පේළියේ තිබුණු පුංචි ඉඩක ඇයට ඉඳගන්නත් ලැබුණා. ඇය ඉඳගෙන හරි බරි ගැහිලා වටපිට බැලුවේ හඳුනන මුහුණක් වත් ඇත් ද හොයන්න. ඒත් හැමෝම මුඛ ආවරණ පැලඳගෙන. ඒ නිසා එක පාරටම කෙනෙක් අඳුනගන්නත් අමාරුයි. ගොඩක් දෙනෙක් තවම රැකියාවලට යන්නෙ නැහැ. සමහරු රැකියා කරන්නෙ ගෙදර ඉඳගෙන ඔන්ලයින්. වෙනදා යාළු මිත්‍රයෝ එක්ක හිනාවේවී කාර්යාලයට යන එන කෝච්චි ගමන් හරිම සුන්දරයි නේද කියල කුමාරිට හිතුණා. මහව කෝච්චියේ එක පෙට්ටියක හැමදාම මියුසිකල් ෂෝ එකක් වගේ පිරිස සිංදු කිය කිය තමයි ගියේ. ඒත්, අද?

ඒ ගැන සිහිවෙද්දී හිතට මහා දුකක් දැනුණා. කෝවිඩ් කළ හරියක්. හිතට දැනුණු පාළුව මකා ගන්න ඇය දුම්රිය මිතුරියකට දුරකතන ඇමතුමක් ගත්තා.

‘‘හෙලෝ ෂානි. ගුඩ් මෝනිං. මම කුමාරි‘‘

‘‘ හෙලෝ කුමාරි. ගොඩක් දවසකින්. ඉතින් මොකෝ මේ හදිසියේ මාව මතක් වුණේ.?‘‘

‘‘මම අද ඔෆිස් යනවා. කෝච්චියට නැග්ගා. පාළුවේ බෑ අනේ.‘‘

‘‘ ආ. ඔයා ඔෆිස් යනවද? මගේ ජොබ් එක නැති වුණානේ අනේ. මට මේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ.

‘‘ ඔයා ලොකු කම්පනි එකක නේද වැඩ කළේ. ?‘‘

‘‘ ඔව්. මාත් මේ මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරිව ඉන්නේ. හස්බන්ඩ්ගේ ජොබ් එකෙනුත් දෙන්නේ පඩියෙන් භාගයයි.‘‘

‘‘ අනේ සොරි ෂානි. මම වෙලාවක ජගත් එක්ක ඔයාලා බලන්න එන්නංකො. එහෙනං මම තියනවා.‘‘

කුමාරිගේ සිතට මහා බරක් දැනුණා. දෙවියනේ. ඒ විදිහට රස්සාවක් නැති කරන්න පුළුවන් ද?

හදිසියේ වත් මගේ රස්සාව නැති වුණොත්.

මේ ප්‍රශ්නය ඔබටත් බලපාන්න පුළුවන්. ඔබේ පවුලේ කෙනකුට වෙන්න පුළුවන්.

ඇත්තටම එහෙම හිටි හැටියේ සේවයකයකුගේ රැකියාව අහිමි කරන්න පුළුවන්ද? එහෙම වුණොත් උසාවි යන්න බැරිද? ඒ පිළිබඳව ඇති නීතිමය තත්ත්වය කුමක් ද?

ඇත්තටම මෙය කතා බහ කළ යුතුම දෙයක්. එයට හේතුව කෝවිඩ් 19 බලපෑමත් සමඟ සමස්ථ ලෝකයම ආර්ථික, සාමාජීය හා නෛතික වශයෙන් ඉතාමත්ම අසීරු තත්ත්වයකට පත්ව තිබීමයි. යම් යම් ආයතන විසින් සේවකයන්ගේ වැඩුප් කපා හැරීම සහ සේවකයන් සේවයෙන් ඉවත් කිරීම ආරම්භ කර තිබීම හෝ දැනටමත් සේවයෙන් ඉවත් කර තිබීම මෙහි එක් පැතිකඩකි. මෙහිදී අප පළමුව එම තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමු.

සැබැවින්ම මේ තත්ත්වය පිළිබඳව සලකා බලන්නට වන්නේ ශශ්‍රී ලංකාවේ කම්කරු නීතියට අනුවයි.

අපේ රටේ සේවා යෝජකයන් සිය සේවයකයන් සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය විස්තර කර ඇත්තේ පහත සඳහන් පනත් මඟිනි.

*1954 අංක 19 දරණ සාප්පු සහ කාර්යාල සේවකයන් පිළිබඳ පනත. මෙය සේවය හා වේතන විධිමත් කිරීමේ ආඥා පනත ලෙසත් හඳුන්වනවා. (Shop and Office employees’ (Regulation of Employment and Remuneration)Act.)

*සේවක අර්ථ සාධක අරමුදල් (විශේෂ විධිවිධාන) පනත.

(Employees Provident Fund (Special Provisions) Act.),

*1971 අංක 45 දරන කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධි විධාන) පනත. (Termination of Employment of Workers (Special Provisions) Act.)

* 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත (Industrial Disputes Act.)

දැන් අපි එම පනත් යටතේ වන නීතිමය තත්ත්වය සලකා බලමු.

මුලින්ම වැටුප් කපා හැරීම පිළිබඳව සලකා බැලීමේදී අප දැනුවත් විය යුත්තේ එහි නීතිමය පදනම වන 1954 අංක 19 දරණ සාප්පු සහ කාර්යාල සේවකයන් පිළිබඳ පනත ගැනයි. සේවය හා වේතන විධිමත් කිරීමේ ආඥා පනත ලෙසත් හඳුන්වන මේ පනතට අනුව වේතන ගෙවීම් යටතේ සේවකයාගේ කැමැත්ත ඇතිව ඔහුගේ/ඇයගේ වැටුපෙන් බලය දී ඇති මුදලක් අඩු කිරීමේ හැකියාව ඇති අතර එය 60% නොඉක්මවිය යුතුය. ඒ අනුව ඔබගේ වැටුපෙන් කිසියම් මුදලක් කපා හරින්නේ නම් එය සිදු කළ හැක්කේ ඔබගේ කැමැත්ත මත පමණක් බවයි. එසේ නොවන අවස්ථාවක ඔබට නීතියේ පිහිට පැතිය හැකියි.

සේවයකයන් සේවයෙන් ඉවත් කිරීම පිළිබඳව සැලකීමේදී එය විනය (Disciplinary) සම්බන්ධ හෝ විනය විරෝධී (Non-disciplinary) නොවන යනුවෙන් වර්ගීකරණය කළ හැකිය. සේවකයකු සේවයෙන් ඉවත් කිරීමේදී 1971 අංක 45 දරන කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධි විධාන) පනත සහ 1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනත යන පනත් විෂයෙහි අවධානය යොමුකළ යුතුවේ. එහිදී සේවකයාගේ ලිඛිත අවසරයකින් හෝ කම්කරු කොමසාරිස්වරයාගේ අනුමැතිය යටතේ එය සිදු කළ හැකිය.

කෙනකුගේ රැකියාව අහිමි කිරීම පිළිබඳව සැලකීමේදී එය සැලකිය හැක්කේ 1971 අංක 45 දරන කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (විශේෂ විධි විධාන) පනත යටතේය. ඒ අනුව විනය විරෝධී (Non-disciplinary) නොවන ක්‍රියාවක් සම්බන්ධයෙන් සේවය අවසන් කිරිමේදී මෙම පනතේ කොන්දේසි වලට යටත්ව සේවා යෝජක (Employer) විසින් එය කළ යුතුය. මෙම පනත අනුව කිසිදු සේවා යෝජකයකුට තම සේවා නියුක්තිකයාගේ (Employee) ලිඛිත අවසරයකින් තොරව හෝ කම්කරු කොමසාරිස්වරයාගේ අවසරයකින් තොරව සේවය අවසන් කළ නොහැක. ( සේවකයන් 15 දෙනකුට වඩා අඩුවෙන් (පසුගිය මාස 6 ට සේවය) කරන ආයතනයකට මෙය අදාළ නොවේ.)

ඒ අනුව විනය විරෝධී (Non-disciplinary) නොවන කරුණක් සම්බන්ධයෙන් සේවකයා සේවයෙන් ඉවත් කරන්නේ නම් ඉහත කරුණු දෙකට පටහැනිව කරන ඉවත් කිරීම් බලාත්මක නොවන අතර පවතින කෝවිඩ් 19 බලපෑම හමුවේ කරනු ලබන ඉවත් කිරීම් වලට ද මෙම නීතිය මේ ආකාරයෙන්ම බලාත්මක වන බව කිව හැකිය. ඒ අනුව මෙවැනි සේවය අහිමි කිරීමකදී හෝ සේවයෙන් ඉවත් කිරීමකදී අදාළ පුද්ගලයාට නීතියෙන් කටයුතු කළ හැකියි.

කෙසේ වුවද කෝවිඩ් 19 නිසා ලොව පුරා රැකියා අහිමිවීම් මිලියන 25කට වඩා වැඩිවනු ඇතැයි පැවසේ. එහෙත් අප වැනි විශාල අයවැය හිඟයන්ට හා බරපතල ලෙස ණය බරින් මිරිකෙන රටවලට කෝවිඩ් 19 හේතු කොට ගෙන රැකියා ආරක්ෂා කිරීමේ ශක්තියක් නොමැත.

එහෙත් පවතින තත්ත්වය යටතේ යම්තාක් දුරකට සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ නීති සකසමින් කාලානුරූපීව නව නීති ගෙන ආ යුතුවේ.

මෙහිදී රජය, සේව්‍ය හා සේවක යන තෙපාර්ශවයම සහභාගත්වය සහ එකඟතාව මත එවන් නව නීති හෝ රෙගුලාසි ගෙන එන්නේ නම් එම නීති වඩාත් පලදායී වනු ඇත.

මෙවන් වසංගත තත්ත්වයකදී හෝ ස්වභාවික ආපදා වලදී රටක සේවාවන් පවත්වාගෙන යාමට හෝ ඉහත කී පරිදි සේවක රැකියා ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය නව නීති සම්පාදනය කිරීම වැදගත් වන්නේය.

 

උපදෙස්
නීතිඥ ජයමුදිතා ජයසුරිය

 

ඔබේ නීති ගැටලුවත්
ලියා එවන්න අපට

නීතියයි ඔබේ ජීවිතයයි
තරුණී
ලේක්හවුස් කොළඹ

 

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
4 + 16 =
Solve this simple math problem and enter the result. E.g. for 1+3, enter 4.