ඔබේ පුංචි ලෝකයෙන් එබී පිටත බලන්නට...

එන්න තටුසලා නිදහසේ සිතන්න
සැප්තැම්බර් 19, 2022

 

ඔබේ කතාව පාරින්ද්‍යාගේ  කතාව ම විය යුතු නැත

 

පාරින්ද්‍යා කියන්නෙ වයස අවුරුදු 37ක් වුණු ආදරණීය මවක්. ඇයගේ වැඩිමහල් දියණියට වයස අවුරුදු දහයයි. පුංචි පුතාට අවුරුදු හතයි. දෙන්නම පාසල් යනවා.

 

පාරින්ද්‍යාගේ සැමියා තාරක ඇයට වඩා වසරකින් වැඩිමහල්. මෘදුකාංග පරිගණක ඉංජිනේරුවකු වූ තාරක, ලස්සනට අඳින පලඳින හැඩට ඉන්න කැමැති පුද්ගලයෙක්.

එකම විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය හදාරද්දි ආදරයෙන් බැඳිලා විවාහ දිවියට ඇතුළත් වුණු මේ දෙන්නා අද දවස වනවිට පුදුමාකාර විරසකයකින්. පාරින්ද්‍යා චෝදනා කරන්නෙ තාරකට වෙනත් සම්බන්ධයක් තියෙනවා කියලයි. තාරක කියන්නෙ ඔවුන් අදහස් අතින් හරිම පරස්පර විරෝධියි. දෙන්නට දෙන්නා නො ගැළපෙන නිසා එකට ගමනක් යන්න බෑ කියලා.

පාරින්ද්‍යා හිතන්නෙත් මේ විවාහය ඵලක් නෑ කියලයි. විශ්වාසය කඩ කරපු, අහසට පොළොව වාගේ අදහස් නොගැළපෙන තාරකගෙන් දික්කසාද වෙන්න ඇය දෙපාරක් හිතන්නෙ නෑ. ඒත් විවාහයෙන් වෙන් වෙන්න බැරි එකම හේතුව තමා පාරින්ද්‍යාට ආර්ථික ස්ථාවරත්වයක් නොමැතිකම.

පිළිගත් විශ්වවිද්‍යාලයක උපාධිධාරිනියක් වුණත් ඇය කිසිම දවසක රැකියාවක් කර තිබුණේ නැහැ. විශ්වවිද්‍යාලයෙන් පිට වෙලා ටික කාලයකින්ම විවාහ වෙලා. ඊට පස්සෙ දරුවෝ හදනවා කියන මතයේ සිටි නිසාම ඇයට රැකියාවක් පිළිබඳ හැඟීමක් තිබුණෙත් නෑ. අධ්‍යාපනයට අමතරව කිසිම වෘත්තීමය සුදුසුකමක් ලබාගෙන නොතිබුණු පාරින්ද්‍යාට රැකියාවක් කියන්නෙම විශාල අභියෝගයක්. රැකියාවක් නොමැතිව දරුවන්ව පෝෂණය කරන්න, ඔවුන්ගෙ අඩුපාඩු සපයන්න ඇයට වෙනත් ආදායම් මාර්ගයකුත් නැහැ. ඒනිසා කොයිතරම් අපහසුතා, මදිපුංචිකම්, නොසලකා හැරීම් තිබුණත් අමාරුවෙන් විඳ දරාගන්නවා හැර විකල්පයක් නෑ කියලයි ඇය පවසන්නේ.

ආර්ථික අස්ථාවර බව නිසාම මේ විදිහට අසරණ වුණු, මදිපුංචිකම් ඉවසා දරාගන්නට වුණු පාරින්ද්‍යා වාගේ කාන්තාවන් මේ සමාජය තුළ කොතෙකුත් නම් සිටිනවා ද? තමන්ගෙ කියලා හීන දකින්න, ඒවා ඉටුකර ගන්නට විතරක් නෙමෙයි ජීවිතයේ ඉලක්ක පසුපස හඹා යන්නට අසමත් යුවතියන්, ගැහැනුන් මේ සමාජයේ බොහෝමයි. මොහොතක් සිතන්න.

 

කුඩා ලෝකයක....

බොහොමයක් ගැහැනු දරුවන්ගේ ලෝකය හරිම කුඩායි. තම මව, පියා, සහෝදර, සහෝදරියන් එක්ක ගෙවන ජීවිතයට පස්සෙ හිතන්නෙ තමන්ගෙම කියලා කැදැල්ලක් හදාගෙන ඒ තුළ ගත කරන ජීවිතයයි. දියණිය කියන භූමිකාවට පස්සෙ බිරිය, මව, ගෘහිණිය අනතුරුව මිත්තණියක ලෙසින් ජීවිතයෙන් සමු ගැනීම තමා ඔවුන් දකින ලෝකය. ඊට අමතරව තමන්ගෙන් මේ රටට, සමාජයට යම් සේවයක්, මෙහෙවරක් ඉටුවිය යුතු යැයි සිතනා කාන්තාවන් හරිම අවමයි.

විශේෂයෙන්ම මේ ආකාරයට සිතන්න, දකින්න, ඒකාකාරී රාමුවකින් වටවූ ජීවිතයක් ගත කරන්න පෙලඹෙන්නෙ නගරයෙන් තරමක් ඈතට වන්නට ග්‍රාමීය ප්‍රදේශවල ඉපිද හැදී වැඩෙන ගැහැනු දරුවන්. ඔවුන්ගෙ ජීවිත වපසරිය ඉතා කුඩායි. පාසල් අධ්‍යාපනයෙන් පස්සෙ වෙනත් වෘත්තීය සුදුසුකම් සපුරා ගන්නට පෙලඹෙන්නේ අතළොස්සක පිරිසකි. ඊට අමතරව විභාගය සමත්ව විශ්වවිද්‍යාල අධ්‍යාපනය හදාරන යුවතියක් පවා බොහෝ වෙලාවට හිතන්නෙ ටිකක් නිදහසේ වැඩ කළ හැකි රජයේ රැකියාවක්. එහෙමත් නැතිනම් ඉක්මන් විවාහයක්. අතීතයේ පමණක් නොව වර්තමානයේ පවා මෙහෙම හිතන ගැහැනු දරුවන් සිටීම ඇත්තෙන්ම කනගාටුවට කරුණකි.

 

 

 

හීනයක් තිබිය යුතුමයි

ගැහැනු හෝ පිරිමි වේවා අපි හැමෝටම හීන තිබිය යුතුයි. ලස්සනට අඳින්න පලඳින්න, තමන්ගෙම කියලා වාහනයක් පදවාගෙන නිදහසේ ඇවිදින්න, ආසා දෙයක් කන්න බොන්න, හිතේ සතුටින් තවත් කෙනකුට උදවු කරන්න, සමාජයේ වැදගත් විදිහට ජීවත්වන්න, සමාජයට තම සැමියාට බරක් නොවූ රැකියාවක් කරන්න, මේ ලෝකයට පැමිණි නිසා ජීවත් වෙනවා වෙනුවට සමාජයට යම් සේවයක් කරන්න මේ ආදී වශයෙන් අපිට හීන තිබිය යුතුයි. අනතුරුව ඒ හීන ඉලක්ක කරගෙන අරමුණු කරා පියනඟන්න ඔබට හැකියාව තිබිය යුතුයි.

ඒ හැකියාවන් ඉබේ ඔබ තුළ මතුවන්නේ නෑ. ඒ වෙනුවෙන් කැපවෙන්න. නිසි වයසට හොඳ අධ්‍යාපනයක් ලබන්න. අමතර සුදුසුකම් සපුරාගන්න ඔබ කැමැති වෘත්තියේ නියැළීමට අවශ්‍යතා සුදුසුකම් සකසා ගන්න. එවිට ඔබ රැකියාවක් සොයනවා වෙනුවට රැකියාවන් බොහොමයක් ඔබ වෙත පැමිණේවි. වඩාත් සුදුසු මෙන්ම තුටින් සේවය කළ හැකි තැනක් එවිට ඔබටම තෝරා ගත හැකියි.

 

රුචියට ගැළපෙන සුදුසුකම්

අධ්‍යාපනයේ කඩඉම් විභාග අසමත් වූවා යැයි දුක් නොවන්න. ඔබ සතු දක්ෂතා මෙන්ම ඔබේ රුචිකත්වයට ගැළපෙන වෘත්තියකට සුදුසුකම් සපුරා ගන්න. ඉවුම් පිහුම්, පරිගණක, අත්කම්, මැහුම්, මෝස්තර නිර්මාණ, වගා කටයුතු මේ ආදී කුමන හෝ ක්ෂේත්‍රයක් පිළිබඳ ඉගෙන ගන්න. එවිට ඔබේම ව්‍යාපාරයකට, ස්වයං රැකියාවකට මඟ පාදා ගත හැකියි.

ඔබේ මේ ආර්ථික සවිමත්බව සැමියාට සහ පවුලට මහත් සහයෝගයකි. දරුවන්ට අභිමානයකි. ආඩම්බරයකි. ඔබේ මවුපියන්ට, සහෝදර සහෝදරියන්ට සුවිසල් රැකවරණයකි.

දියණියක ලෙස ඉපිද, ගැහැනියක ලෙසින් යුතුකම් ඉටු කොට, දරුවන් හදා වඩා ඔවුන් වෙනුවෙන්ම කැප කරන ජීවිතය තවත් අර්ථවත් කරමින් අපේ රටට බරක් නැති, මවුබිමට සේවයක් කරනා සමාජ මෙහෙවරක නියැළෙන උතුම් කාන්තාවන් වන්නට අපි ඔබට ආරාධනා කරන්නෙමු.

 

උප ෙදස්

ඉෂානි කාරියවසම් ව්‍යවහාරික මනෝවිද්‍යාඥ,

ශ්‍රී ලංකා තාක්ෂණ විශ්වවිද්‍යාලය, පාදුක්ක