උඩඟුකමින් ලොව ජයගත් කිසිවෙක් නැත ජීවිතේ:

සැප්තැම්බර් 19, 2022

ශ්‍රේෂ්ඨ පුද්ගලයන් ඉහළට පියාසර කළේ හදිසියේ නොවේ . ඔවුන්ගේ සගයන් රාත්‍රිය පුරා නිදා සිටිය ද ඔවුන් ඉතා අසීරුවෙන් බඩගාමින්, වෙහෙසෙමින් ඔවුහු අනන්ත අප්‍රමාණ කැප කිරීම් කරන්නට ඇත.

තමන්ට අයත් කර ගත හැකි යැයි මිනිසා සිතන ඕනෑම දෙයක් ඔහුට අයත් කර ගත හැකියි. යහපත් මිනිසුන් තමන්ම නො නවත්වා ශක්තිමත් වෙති.

 

භගවත් ගීතාවේ සඳහන් වන පරිද්දෙන් දැනීම්, හැඟීම් සහිත ලෝකයේ මේ ආත්මය සරසන විට දිව්‍යමය සතුට ද භුක්ති විඳින්න. ශාන්ත භාවයෙහි සිහිලස විඳින්න. ශාන්ත මනසක්, ශක්තිමත් මනසක්, සෑම රෝගයක්ම සුව කරන සුව කාරකයකි. ඖෂධයකි. ඉරණමට එහෙමත් නැත්නම් ඔරලෝසුවකට මිනිසා යටත් විය යුතු නැත. ඔහුගේ ජීවිතයේ සෑම මොහොතක්ම ප්‍රාතිහාර්යයෙන් පිරි අසිරිමත් මොහොතකි.

 

පින්තූරය හරියට දකින්න නම් ඔබ එතුළින් එළියට පැමිණිය යුතුය. වැලක් වෙන්න එපා. යටට මුල් ඇදුණ ගසක් වන්න. අනුන්ගේ යහපත දැක සතුටු වන්න පුරුදු වන්න. බොහෝ වරප්‍රසාද ලැබූ අය දෙස ඊර්ෂ්‍යා මුසු හැඟීම් ඇතිකර ගැනීම අපහට ඒවා නො ලැබීමට හේතු වේ. ඒ යටිහිත අනවශ්‍ය දේ ලබා නොදෙන බැවිනි. තමන්ගේ ආගම සිහිකරන්න. ශුද්ධ වූ හෝරාවක් දිනපතා තබා ගන්න. ගුණවතුන්ව අගය කරන්න. නිහතමානි බව පොරවා ගන්න. උඩඟු කමින් ලොව ජයගත් කිසිවෙක් නැත. බිය නැති කරගන්න. හයිනා නමැති කුඩා සතා දුටුවිට, විශාල සතුන් පවා මඟ හැර යයි. බිය දැනෙන ඉන්ද්‍රීයයන් ඒ සතාට පිහිටා නැත. සමහරවිට විචක්ෂණශීලී වීමට සිදුවේ.

 

මිනිසෙක් තමා වැඩ ගත් බූරුවා මහලු වූ විට උපක්‍රමශීලීව මරණයට පත් කිරීමට සිතා වළක් කපා බූරුවා එයට ලා කෙමෙන් පස් දැමීය. උපක්‍රමශීලී වූ බූරුවා තමන්ව මරන්නට දමන පස් ටික උඩ කෙමෙන් නැග පොළොව මට්ටමට පැමිණි විට පැන දුවා දිවි ගලවා ගති. ඔබට උගුල් අටවන බාලයන් ගැන තැවීමට මොහොතක් හෝ ගත නො කරන්න. රාජාලියාට සියලු කුරුල්ලන් බිය වුවද කපුටා බය නැත. කපුටා රාජාලියාගේ බෙල්ලේ ලැග ඊට කොටමින් සිටී. එහෙත් එය ගණන් නො ගන්නා රාජාලියා කෙමෙන් ඉහළ අහසට පියඹයි. කෙමෙන් ඔක්සිජන් අඩුවී කපුටාට පසු බැසීමට හෝ මරණයට පත්වන්නට සිදුවේ. මිනිසුන්ට හෘදයාංගමව හා ගෞරවනීය ලෙස කතා කරන්‍න. ඔවුන් වැදගත් බව හඟවන්න. අපූරු කීර්තියක් ඔවුන් හිස මත පටවන්න. එවිට ඔවුන් එය බිම තැබීමට පසුබට වනු ඇත. ඉහළ මට්ටමේ දේවල්වලින් ඔබ, ඔබම සැලකුම් ලබන්න. එවිට ඔබ වැදගතෙක් බව ඔබේම යටි සිතට කා වැදීමක් සිදුවේ. ඔබ සමීපයට එන කෙනාට වඩා යහපත් කෙනෙක් ඔබෙන් පිටව යන ලෙස නිම විය හැකි නම් ඔබ උතුම් මිනිසෙකි. පූජනීය මිනිසෙකි. ඔබේ ජීවිතයේ මුණ ගැසෙන අමුත්තන් දේවත්වයෙන් සලකන්න. කියවන්න. මැඩෝනා සමාජ ශාලාවකට යනවිටත් කියවීමට පොතක් රැගෙන ගිය බව පැවසේ. කරුණාකර, ස්තුතියි යන වචන නිතරම මුවගේ රඳවාගෙන ඔබ තුළ ඇතිවන සුන්දර වෙනස අත්විඳින්න. දිවිඅරුත පතුරන්න. සුන්දරබර වචන තෙපලන්න. වචනවල ද බලයක් ඇත. බොල් වචන වෙනුවට දැවන්ත, අප්‍රමාණ, සුධීමත්, සුළවත්, සුපිරිසුදු, අප්‍රමාණ වචන ඔබේ ශබ්දකෝෂයට එකතු කර ගන්න. කුරුමිණියන්ට ජීවිතය කා දැමීමට ඉඩ නො දෙන්න. වැළක්විය නො හැකි දේ සමඟ එකඟ වන්න. කාර්යය නියුක්තිය ද චිකිත්සාවකි. සංගීතය, නින්ද, ආගම, සිනාව, ප්‍රිය ඇසුර ඔබව ආනන්දනීය පුද්ගලයකු බවට පත් කරයි. ලිහිල් කරවයි. ඔබේ හෙට දවස හැම දිනකම රාත්‍රියේ සැලසුම් කරන්න. තිරිංග පාගාගෙන සාර්ථකත්වය නම් වාහනය එළවන්න එපා. අරමුණු සහිත පින්තූර රහස්‍ය ලෙස ඔබේ කාමරයේ එල්ලා ගැනීම ඉතා හොඳ ශිල්පීය ක්‍රමයකි.

 

-----------------------

අද දුර්භාග්‍යය හෙට සෞභාග්‍යය සඳහා පාර කපනු ඇත.

* අදට සීමාවූ කුටියක ජීවත් වෙමු.

* වැළක්විය නො හැකි දේ සමඟ එකඟ වෙමු.

* ආගම, සංගීතය, නින්ද, කාර්ය නියුක්තිය සන්තාපය පිටු දකී.

* "ශ්‍රේෂ්ඨතම නිමැවුම්කරු හොඳින් සිතා මතා මෙලොවට එවන ලද අයෙකි ඔබ." ජනප්‍රිය ලේඛක මැක්ස් ලුකාඩෝ එසේ පවසා ඇත.

* දුර්භාග්‍යය තුළ සිට වුව යහපත ගැන සිහින දැකීමට බාධාවක් නැත.

* අපේ සිහින දරුවන් මෙන් රැක බලාගත යුතුයි.

* සාර්ථකත්වය ගමන් කරන්නේ ඊට අදාළ වූ නියත මඟකය.

* ශ්‍රේෂ්ඨ චිත්‍ර ශිල්පී මයිකල් ආන්ජලෝ පවසන පරිදි අපගේ අභාග්‍යය විසල් අරමුණු තබා නො ගැනීමයි. වඩාත්ම ඛේදවාචකය තබාගත් කුඩා අරමුණ ඉටු වීමත් සමඟ අනවශ්‍ය විසල් සතුටකින් උඩ පැනීමයි.

* අප බොහෝ දේ කරන්නේ අන් අය සතුටු කිරීමටය. ජීවිතයේ අංක එක තෝරා ගෙන ඔහු/ඇය සතුටු වන දේ කිරීම හොඳ උත්පේරකයක් (පෙලඹවීමක්) බව පැවසේ.

* 99%ක් සියලු පරාජයන් පැමිණ ඇත්තේ සමාවට හේතු දක්වන පුද්ගලයන් ගෙන් බව ජෝර්ජ් වොෂින්ටන් කාර්වර් පවසා ඇත. ඔහු රටකජු ඇටයකින් ගත හැකි ප්‍රයෝජන 325ක් සොයාගත් රසායන විද්‍යා‍ඥයාය.

 

ඇතැම් සම්මුඛ පරීක්ෂණවල දී නව නිපැයුම් කිරීමේ විභව්‍යතාව සොයා බැලීමට අසන ප්‍රශ්නයක් වන්නේ පැන්සලක් වැඩි දියුණු කළ හැකි ආකාර දක්වන්න යන්නයි.

 

බොහෝ විට ප්‍රතිඵලය රඳා පවතින්නේ කරන දේ මත නොව, කරන දේ සම්බන්ධයෙන් අප දක්වන ප්‍රතිචාරය මතය.

 

 

 

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ
නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් - අලෙවි
පාලිත දිසානායක මහතාගෙන්
ඔබේ දිවිමඟට පහන් වැටක්