වර්ෂ 2024 ක්වූ November 25 වැනිදා Monday
අඹ වලින් රුචිය වඩන රස පිරි කෑම
උදා වී ඇත්තේ වසරේ වසන්ත සෘතුවයි. ගහ කොළ මලින් පලින් බරවෙන කාලයයි. ඒ වගේමයි වෙසක් පොසොන් සමය පරිසරය බොහොම සෞම්‍යයයි. මේ තමයි අඹ වාරය. අඹ කියන්නෙ අපේ රටේ ඕනෑම දේශගුණයක් ඇති පළාතක බොහොම අපූරුවට හැදෙන පලතුරක්. බොහොම රසවත් අඹ අපි පලතුරක් විදිහටම නෙවෙයි ව්‍යංජන, චට්නි, අච්චාරු ලෙසිනුත් ආහාරයට එකතු කර ගන්නවා. අරපිරිමැස්ම ඉතිරිය ගැන නිරන්තරයෙන්ම කතාකළ ඒ වගේම එහි වටිනාකම බෙහෙවින් දැනුණු මේ කාලයේ ඒ සඳහා අදහසක් දෙන්නයි මේ උත්සාහය. එබැවින් මේ වාරයේ අඹ අපතේ නොයා ආහාරයට එකතු කර ගත හැකි අන්දමයි අද රසාර කෑම අතිරේකය ඔබට තිළිණ කරන්නේ.
උපදෙස්:- සූපවේදී
නිශාන්ත කුමාර විමලරත්න
අඹ චට්නි
අඹ බහුල කාලයට අපතේ යන ප්‍රමාණයත් වැඩියි. අඹ වලින් චට්නි එකක් සාදා ගත් විට වැඩි කාලයක් තබා ගෙන ප්‍රයෝජනයට ගත හැකියි.
ආහාර රුචිය වර්ධනය කරගන්නට සමත් අඹ චට්නි ඔබටත් ගෙදරදීම සාදා ගන්නට මෙන්න අවස්ථාව.විනෝද චාරිකාවක් යාමේදී ගෙන යාමටත් අගෙයි.
අවශ්‍ය ද්‍රව්‍ය
තරමක් ඉදුණු අඹ ග්‍රෑම් 500 ක්
කජු ග්‍රෑම් 50 ක්
ප්ලම්ස් ග්‍රෑම් 50 ක්
මිරිස් කුඩු මේස හැඳී 1 ක්
ඉඟුරු, සුදුලූනු මේස හැඳී 1 ක්
විනාකිරි තේ කෝප්ප 2 ක්
රස අනුව ලුණු කුඩු හා ගම්මිරිස් කුඩු
සීනි ග්‍රෑම් 100 ක් (රස අනුව එකතු කරන්න)
සාදාගන්නා ආකාරය
පළමුව පොත්ත ඉවත්කර තරමක කුට්ටිවලට කපා ගත් අඹ වලට විනාකිරි, මිරිස්, ඉඟුරු, සුදුලූනු, රස අනුව ලුණු කුඩු, ගම්මිරිස් කුඩු එකතුකර මඳ ගින්නේ උයාගන්න. පසුව කජු, ප්ලම්ස්, සීනි එකතුකර මිශ්‍රණය රන්වන් පාට වනතුරු අඩු ගින්දරේ උයාගන්න.
නිවෙන්නට හැර පිරිසුදු බෝතල්වලට දමන්න.
2020/05/27 තරුණි පුවත්පත බලන්න.