එළවළු කපන ක්‍රමවල වැදගත්කම දන්නවාද?

ප්‍රවීණ සූපවේදී ආචාර්ය පබ්ලිස් සිල්වාගෙන්
ජුනි 9, 2021

 

ආහාර වර්ගවල නියම රසය ලබා ගැනීමට නම් එය කපන ආකාරය ද වැදගත් ය.

ඇතැම් අමුද්‍රව්‍ය ඉතා කුඩාවට කැපීමෙන් එහි ඇති පෝෂ්‍ය ගුණය විනාශ විය හැකියි.

 

සූපවේදය ලොව හැම වේදයකට ම වඩා පැරැණි බව කිවහොත් එය මුසාවක් නොවේ. මන්ද ලොව ජීවය ඇරැඹි දා සිට අද දක්වා ම විවිධ අයුරින් මිනිසාගේ ආහාර රටාව වෙනස් වී ඇති බැවිනි.

සූපවේදය යනු ආහාර පිළිබඳ අධ්‍යාපනය යි. ආහාර ලබා ගැනීමේ දී ආහාරයට සුදුසු ද්‍රව්‍ය ගැන මෙන්ම ඒවා සකසන ආකාරය, ඒවා ආහාරයට ගත යුතු ප්‍රමාණ මෙන්ම ඒවා ආහාරයට ගැනීමෙන් පසුව ලැබෙන ප්‍රතිඵල ගැන ද සූපවේදියකු දැන සිටිය යුතුය.

නිවෙසේ සිටින සූපවේදියා වන ගෘහණිය නැතිනම් මව විසින් එසේත් නැතිනම් නිවෙසේ ආහාර සකසන පුද්ගලයා මේ පිළිබඳ යම් තරමකට හෝ දැන සිටීම වැදගත් ය. එම දැනුම දිනෙන් දින වැඩි දියුණු කරගැනීම පවුලේ සෞඛ්‍ය රැක ගැනීමට මෙන්ම රසවත්, පෝෂ්‍යදායී ආහාර ලබා ගැනීමට ද රුකුලකි.

ආහාර පිසීමේ දී වැඩි දෙනකු වැඩි සැලකිල්ලකට නොගන්නා, එහෙත් ඉතා වැදගත් අංගයක් වන්නේ ඒ ආහාරයට අවශ්‍ය පරිදි අමුද්‍රව්‍ය කපන ආකාරය යි. එය ද කලාවකි. විවිධ හැඩතලයන්ගෙන් කපා ගැනීම මඟින් ආහාරයේ වෙනස්කම් රාශියක් ඇති වෙයි. එමෙන්ම අනුගමනය කරන කැපුම් ක්‍රම හේතුවෙන් පිසගැනීමේ දී මෙන්ම ආහාරයේ රසයට හා අලංකාරයට ද බලපෑමක් ඇති කළ හැකියි.

විවිධ කැපුම් ක්‍රම භාවිත කිරීමෙන් අප හිතනවාට වඩා ප්‍රයෝජන අප සකසන ආහාරයට ලබා ගත හැකිය.

ඉන් එක් ප්‍රයෝජනයක් වන්නේ ආහාරයෙහි ඇති පෝෂ්‍ය ගුණය රැක ගැනීම සහ ආහාරය හඳුනා ගැනීමට ඇති හැකියාවයි. ඇතැම් අමුද්‍රව්‍ය ඉතා කුඩාවට කැපීමෙන් එහි ඇති පෝෂ්‍ය ගුණය විනාශ විය හැකි අතර ඇතැම් ද්‍රව්‍ය විශාල කැබැලි ලෙස කැපීමෙන් එහි ඇති පෝෂ්‍ය ගුණය ආහාරයට ලබා ගැනීමට නොහැකි විය හැකිය.

ආහාර මනාව පිස ගැනීමට ලැබෙන පහසුව මෙහි ඇති දෙවැනි ප්‍රයෝජනය යි. ඇතැම් ආහාර හොඳින් තැම්බීමට නම් නියමිත ප්‍රමාණයට කැපිය යුතුය. නැතිනම් භාගයක් අමු විය හැකිය. එමෙන්ම කුඩාවට කැපීමෙන් ඇතැම් ආහාර අනවශ්‍ය ලෙස තැම්බී හෝ පොඩි වී යාමට හැකිය.

ආහාර කපන ක්‍රම නිසා ලැබෙන අනෙක් ප්‍රයෝජනය වන්නේ ආහාරයේ ඇති ස්වභාවික වර්ණය ඉතිරිකර ගැනීමට හැකි වීමයි. බෝංචි, බටු, කැරට්, පලා වර්ග ආදිය මෙන්ම අප ගන්නා සෑම ආහාර වර්ගයකට ම ස්වභාවයෙන් ම ලැබුණු එයට ම ආවේණික වූ වර්ණයක් ඇත. එම වර්ණ විවිධ ය. එම වර්ණ රැකෙන අයුරින් ආහාර සකසා ගැනීම මඟින් ආහාරය ප්‍රිය වේ.

ආහාරයේ අලංකාරය සඳහා ද ආහාර කපන ක්‍රමවලින් වාසියක් අත් වේ. විවිධ ආහාර විවිධ ක්‍රමවලට කපා තිබීමෙන් බත් පතේ අලංකාරය ද වැඩි වේ. නැතිනම් හැම එළවළුවක් ම එකම ආකාරයට කපා තිබීමෙන් එය නෙතට ද ප්‍රියතාවක් ගෙන නොදේ. විවිධ ආකාරයන්ට කැපීම මඟින් ආහාරවලට ලැබෙන අලංකාරය අත් විඳීම සිතට ද සුවයකි.

ආහාරයට ගැනීමට ඇති පහසුව ද මෙයින් ලැබෙන තවත් එක් ප්‍රයෝජනයකි. ඇතැම් ආහාර ඉතා විශාල කැබැලි ලෙස කැපීමෙන් ආහාරයට ගැනීමට අපහසු වන අතර තවත් ආහාර වර්ග ඉතා කුඩාවට කැපීම නිසා ද ආහාරයට ගැනීමට අපහසු විය හැකිය. එම නිසා සෑම ආහාරයක් ම එයට සුදුසු ලෙස කපා ආහාරයට සකසා ගැනීම සුදුසු ය.

ආහාර විවිධාකාරයට කැපීමෙන් ආහාර ගැනීමේ දී රසය දැනීමේ සංවේ දී බව ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබේ. මන්ද ඇතැම් ආහාර වර්ගවල නියම රසය ලබා ගැනීමට නම් එය කපන ආකාරය ද වැදගත් ය. මේ නිසයි බොහෝ විට එකම අමුද්‍රව්‍ය වුවත් විවිධ ක්‍රමවලට සැකසීමේ දී විවිධාකාර හැඩයන්ට කැපීම සිදු කරනුයේ.

ඔබට මේ දිනවල දී ආහාර සකස් කරන විට මේ ආහාර කැපීමේ වැදගත්කම ගැන ද සිහියේ තබා ගෙන ඒ පිළිබඳ විවිධ අත්හදා බැලීමට ද පුළුවන.