පෝෂණීය බිම්මල්වලින් රසවත් ආහාර

නොවැම්බර් 15, 2021

 

බිම්මල් එසේත් නැතිනම් හතු බොහෝ දෙනකුගේ ප්‍රණීත ආහාරයක්. බිම්මල් වලින් සාදාගන්න ආහාර රැසක් විවිධ රටවල ප්‍රචලිතව පවතිනවා.

සොබාදහමේ අපූර්වතම නිමැවුමක් ලෙස සැළකිය හැකි 'බිම්මල්', මේ වනවිට ලොව පුරා ඉතා ජනප්‍රියයි.

වර්තමානයේ හතු වගාව සැලකිය යුතු පිරිසකගේ විනෝදාංශයක් මෙන් ම, අමතර ආදායම් මාර්ගයක් බවට ද පත්ව තිබේ.

හතු හටගන්නේ දිලීරයක ප්‍රති ක්‍රියාවක් මගිනි.

බිම්මල්වල දියවැඩියාව, වෛරස් ආශ්‍රිත යම් යම් රෝග සහ හදවත් රෝග සඳහා ද ගුණදායක රසායනික අන්තර්ගතයි. ප්‍රෝටීන්, කාබෝහයිඩ්රේට්, යකඩ, විටමීන්, කැල්සියම් සහ නියෝමයිසින් බිම්මල්වල අඩංගුයි.

හොඳ ප්‍රෝටීන සැපැයුමක් ශරීරයට ලබා දෙන නිර්මාංශික ප්‍රභව අතරින්, හතුවලට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. ප්‍රෝටීන සැපයුමත් සමඟ මේවා මඟින් ශරීරයට ලැබෙන තවත් වාසි බොහොමයක් ඇත. රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම අවම කිරයි.

නීරක්තිය දුරලයි. පිළිකා මැඬලයි. දියවැඩියාව පාලනය කරයි. අස්ථි සෞඛ්‍යට ගුණදාකයි.

ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි දියුණු කරයි. අධික රුධිර පීඩනය වළක්වාලයි. යකඩ උරා ගැනීම කාර්යක්ෂම කරයි.

පිදුරු හතු, ලේනහතු, ඉඳලෝලු හතු, වැලිහතු වැනි වර්ග ගමේ ගොඩේ වටාපිටාවෙන්, වෙල් එළියෙන් , දෙණිකඩෙන් පහසුවෙන් ම සපයා ගත හැකියි.

වගා කරන හතු වර්ග අතර 'අමෙරිකන් ඔයිස්ටර්' වඩාත් ජනප්‍රියවී ඇත. මෙරට වෙළෙඳසල්වලින් බොහෝ විට අළෙවියට තබා ඇත්තේ අමෙර්කන් ඔයිස්ටර් හතු වර්ගයයි.

ලොව පුරා බිම්මල් වර්ග සිය දහස් ගණනක් හඳුනාගෙන ඇත. සමහර හතු විෂ සහිත ය.

සමහර අලංකාර හතු ප්ලාස්ටික් වැනි ය. කෙසේ වෙතත්, හතු අමුවෙන් ආහාරයට ගැනීම සුදුසු නොවේ. මෙවා වියළාගත් විට, කල්තබාගත හැකි ය.

ස්වයං රැකියාවක් විදියටත් මේ වෙනකොට ප්‍රසිද්ධ වෙලා තියන බිම්මල් අපි කවුරුත් කන්න ආස කෑමක්නේ.

අද අපි ගෙනාවේ බිම්මල් වලින් ලේසියෙන් හදාගන්න පුළුවන් කෑම වර්ග ටිකක්. කරි එකක්, සුප් එකක්, ස්ටාටර් එකක් ව​ගේ මේ ඕනම දෙයක් බිම්මල්වලින් හදාගන්න පුළුවන්.

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න

 

 

ක්‍රීම් මෂ්රූම් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් ඔයිල් මේස හැඳි 2ක්

බටර් මේස හැඳි 2ක්

තලාගත් ලූනූ මේස හැඳි 2ක්

තලාගත් සුදු ලූනූ බික් 3ක්

බට්න් මෂ්රූම් පැකට් එකක් 1ක්

පාන්පිටි මේස හැඳි 1ක්

වතුර කෝප්ප 3ක්

ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2ක්

ලුණු රස අනූව

ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප ¼ක්

 

සාදන ක්‍රමය

පෑන් එකක් ගෙන ඔයිල් දමා රත්වන විට බටර් ටික දාන්න. බටර් දියවෙනකොට තලාගත් ලූනූ හා සුදුලූනූ දමා හො​ඳට කලවම් කරගන්න. හො​ඳට හෝදලා දෙකට කපාගත් මෂ්රූම් ටික එකතු කරන්න. විනාඩියක් වගේ හො​ඳින් හැඳිගාන්න. තවත් විනාඩි 5ක් ළිපේ තියාගන්න. මෂ්රූම් ටික හො​ඳට තැම්බිලා රන්වන් පාටට ෆ්‍රයි වෙලා තියෙයි දැන්. මේකට පාන්පිටි මේස හැඳි 1ක් දාගන්න.

දැන් වතුර කෝප්ප 3ක් එකතු කරන්න.

ගම්මිරිස් කුඩු එකතු කරගන්න. ලුණු රස අනුව දාගන්න. හො​ඳට හැඳි ගාන ගමන් විනාඩි 5ක් වගේ තියාගන්න. දැන් සුප් එක උතුරගෙන එනකොට ළිප ඕෆ් කරලා මෂ්රූම් කෑලි ටිකක් අරගෙන ග්‍රයින්ඩ් කරලා අර සුප් එකට දාගන්න.

ළිප ආයේ ඔන් කරන්න. දැන් ෆ්‍රෙශ් ක්‍රීම් කෝප්ප කාලක් එකතු කරගන්න. හො​ඳට කලවම් කරන්න.

විනාඩියකින් වගේ ළිප ​නිවා ගම්මිරිස් කුඩු ටිකක් උඩින් ඉසගන්න.

************************

මෂ්රූම් පකෝරා

 අවශ්‍ය ද්‍රව්‍ය

 

බිම්මල් පැකට් 1ක්

කෝන්ෆ්ලා කෝප්ප කාලක්

හාල්පිටි කෝප්ප කාලක්

පාන්පිටි කෝප්ප කාලක්

ලුණු පින්ච් එකක්

ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2ක්

කහකුඩු තේ හැඳි 1/2ක්

ගරම්මසාලා ස්වල්පයක්

බිස්කට් කුඩු

බැදගැනීමට තෙල්

 

සාදන ක්‍රමය

පළමුව බිම්මල් ටික ගෙන හොඳින් සෝදා වතුර මිරිකලා හරින්න. ඉන්පසු දිග තීරු වලට ඉරා ගන්න.

දැන් බෝල් එකක් අරගෙන ඒකට කෝන්ෆ්ලා, පාන්පිටි, හාල්පිටි, කහකුඩු, ගම්මිරිස්කුඩු, ගරම්මසාලා, ලුණු දාලා කලවම් කරගන්න. වතුර ටික ටික එකතු කරමින් ඝ​න බැටර් එකක් හදාගන්න.

තීරු වලට ඉරාගත් හතු මේ බැටර් එකේ දමා බිස්කට් කුඩු තවරගෙන ගැඹුරු තෙලේ බැදගන්න.

**************************

 ගාලික් මෂ්රූම්

 අවශ්‍ය ද්‍රව්‍ය

බටර් මේස හැඳි 2ක්

ඔලිව්තෙල් මේස හැඳි 1ක්

තලාගත් ලූණු කෝප්ප කාලක්

බට්න් මෂ්රූම් පැකට් 1ක්

වියළි තයිම් මේස හැඳි 1ක්

සිහින්ව කපාගත් පාස්ලි

මේස හැඳි 2ක්

තලාගත් සුදුලූණු මේස හැඳි 2ක්

ලුණු ස්වල්පයක්

ගම්මිරිස් කුඩු මේස හැඳි ½ක්

 

සාදන ක්‍රමය

පෑන් එකට බටර් ටික දාලා දියවෙනකොට ඔලිව්තෙල් ටික දාගන්න. තෙල් රත්වෙනකොට තලාගත් ලූනූ ටික දාගන්න. ලූණු ටික බැදීගෙ​න එනකොට මෂ්රූම් ටික එකතු කරගන්න.

මෂ්රූම් ටික බැදිලා රන්වන් පාට වේගෙන එනකල් හො​ඳට හැඳි ගාන්න. දැන් වියළි තයිම් දාගන්න. සිහින්ව කපාගත් පාස්ලි මේස හැඳි 2ක් දාගෙන හො​ඳට කල​වම් කරගන්න. දැන් තලාගත් සුදුලූණු ටික දාගන්න. ලුණු රස අනුව දාගෙන අන්තිමට ගම්මිරිස්කුඩු ඉසගන්න

************************

චිලි මෂ්රූම්

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

බැටර් එක සඳහා

පාන්පිටි කෝප්ප 1/2ක්

කෝන්ෆ්ලා කෝප්ප 1/4ක්

මිරිස්කුඩු මේස හැඳි 1/4ක්

ගම්මිරිස්කුඩු මේස හැඳි 1/4ක්

ඉඟුරු, සුදුලූනූ පේස්ට් මේස හැඳි 1/4ක්

ලුණු ස්වල්පයක්

වතුර කෝප්ප 1/2ක්

මෂ්රූම් පැකට් 1/2ක්

බැදගැනීමට තෙල්

 

සෝස් එක සඳහා

ඔයිල් මේස හැඳි 3ක්

තලාගත් සුදු ලූනූ මේස හැඳි 1ක්

තලාගත් ඉඟුරු තේ හැඳි 1ක්

අමුමිරිස් කරල් 2ක්

ලූනූ කොළ මේස හැඳි 2ක්

තරමක කෑලි කපාගත් බී ලූනූ පෙති 6-8ක්

කොටුවට කපාගත් මාළු මිරිස් කෝප්ප 1/2ක්

තක්කාලි සෝස් මේස හැඳි 2ක්

චිලී සෝස් මේස හැඳි 1ක්

විනාකිරි මේස හැඳි 1ක්

සෝයා සෝස් මේස හැඳි 1ක්

ගම්මිරිස්කුඩු මේස හැඳි 1/2ක්

සීනි මේස හැඳි 1/4ක්

ලුණු ස්වල්පයක්

කෝන්ෆ්ලා දියකරගත් වතුර

මේස හැඳි 2ක්

 

සාදන ක්‍රමය

තෙල් සහ මෂ්රූම් හැර බැටර් එකට අවශ්‍ය අනෙකුත් සියලුම ද්‍රව්‍ය එකතු කරලා ඝ​න බැටර් එකක් හදාගන්න. දැන් දෙකට කපාගත් මශ්රූම් ටික මේ බැටර් එකට දාගෙන ගැඹුරු තෙලේ බැදගෙන පසෙකින් තියාගන්​න.

දැන් වෙනම පෑන් එකක් අරගෙන තෙල් ටික දාලා රත්වෙනකොට ගත් සුදුලූනූ හා ඉඟුරු ටික දාගන්න. අමුමිරිස් ටික දෙකට පලලා දාගන්න.

කලවම් කරන ගමන් ලූනූ ටික දාගන්න. මාළු මිරිස්, තක්කාලි සෝස්, චිලී සෝස්, විනාකිරි, සෝයා සෝස් සහ ගම්මිරිස්කුඩු එකතු කරගන්​න.

සීනි දාගෙන කලවම් කරලා ලුණු දාගන්න. කෝන්ෆ්ලා වතුර ටික දාගන්න. කලවම් කරන ගමන් බැටර් ෆ්‍රයි මෂ්රූම් ටික දාගෙන හොඳට හැඳි ගාන්න. අන්තිමට සිහින්ව කපාගත් ලූනූ කොළ ටිකක් ඉසගන්න.

****************

හතු ව්‍යාංජනය

අවශ්‍ය ද්‍රව්‍ය

 

හතු පැකට් එකක්

කරපිංචා ඉති 2ක්

සුදු ලූනූ බික් 2ක්

රතු ලූනූ ගෙඩි 3-4ක්

අබ ස්වල්පයක්

මිටි පොල් කිරි කෝප්පයක්

තුනපහ කුඩු

කහ කුඩු

මිරිස් කුඩු

ලුණු රස අනූව

 

සාදන ක්‍රමය

 

බඳුනක් ළිප තබා එයට තෙල් මේස හැඳි තුනක් පමණ එක් කරන්න. තෙල් රත් වීගෙන එන විට එයට කුඩාවට කපා ගත් සුදු ලූනූ, රතු ලූනූ, කරපිංචා, අමු මිරිස් එක්කර හොඳින් තෙම්පරාදු කරන්න. දැන් මෙයට අබ ඇට මේස හැන්දක් පමණ එක් කරන්න.

මේ සියල්ල හොඳින් තෙම්පරාදු වෙද්දී ඔබට පුළුවන් ලුණු වතුරෙන් සෝදාගත් හතු එකතු කරන්න. එය මද වෙලාවක් තෙලෙන් තැම්බෙන්න දී, එයට තුනපහ තේ හැන්දක්, කහ කුඩු ස්වල්පයක් සහ මිරිස් කුඩු ස්වල්පයක් එක්කරන්න.

එය මද වෙලාවක් තෙලෙන් තැම්බෙන්න හරින්න. පසුව එයට මිටි කිරි එක්කරන්න.

එය හිඳීගෙන එන විට අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක්කර ළිපෙන් බා ගන්න.