අලුත් අවුරුද්දේ කෑම මේසයට අලුත් මුහුණුවරක්

දෙසැම්බර් 27, 2021

2020 වසර වගේම 2021 වසරත් දන්නෙම නැතිව ගෙවිලා ගියා. නිවෙසේ සාමාජිකයන් ඔක්කොම වගේ රැඳිලා සිටි නිසා කෑම බීම හැදිල්ලේ නම් අඩුවක් තිබුණේ නැහැ.

මේ කෝවිඩ් කාලේ සාමාන්‍යයෙන් තුන්වේල පමණක් උයාපිහා සිටි මුළුතැන්ගෙවල්වල අමතර කෙටි කෑම, බත් වර්ග, අතුරුපස වර්ග වගේ නොයෙකුත් දේවල් අත්හදා බැලීම් සිදුවුණා.

ඉතිං අද තරුණී රසාර වෙන්වන්නේ අලුත් අවුරුද්දේ ඔබේ නිවෙසට පැමිණෙන අමුත්තන්ට, පවුලේ සාමාජිකයන්ට රිසි සේ රසවිඳිය හැකි ආහාර වේලක් පිළිබඳ කියාදෙන්න. ඔබ අසා පුරුදු ආහාර වට්ටෝරු වුවත් මේවා පිළියෙලකර ගනිද්දී පුංචි පුංචි වෙනස්කම් කිහිපයක් එක්කාසු කර ඇති බව ඔබට ම වැටහේවි.

Live Cooking සඳහා සුවිශේෂි හැකියාවක් දක්වන ප්‍රවීණ සූපවේදිනී නදී අමරසිංහ මෙවර තරුණී සමඟ අත්වැල් බැඳ ගනියි. ක්ෂේත්‍රයේ වසර 15ක පමණ අත්දැකීම් ඇති ඇය ප්‍රසිද්ධ සමාගම් කිහිපයකම සූපවේදී සන්නාම යටතේ ප්‍රධාන සූපවේදිනියක් ලෙස කටයුතු කළාය. සූපවේදී වැඩසටහන් මෙහෙයවන්නියක් ද වන ඇය රූපවාහිනි නාලිකා කිහිපයකට සූපවේදී අත්දැකීම් බෙදාගන්නියක ද වන්නීය.

 

 

ඉදිරිපත් කිරීම

ප්‍රවීණ සූපවේදිනි

නදී අමරසිංහ

 

 

සුදු ලූනූ කංකුන්

අවශ්‍ය ද්‍රව්‍ය :

*කංකුන් මිටි 1ක් (හොඳින් සෝදා ගත් )

*සුදු ලූනූ ග්‍රෑම් 50 යි (සෝදා තළාගත් )

*සීනි තේ හැඳි 1/2 යි

*සෝයා සෝස් මේස හැදි 2

*රස අනුව ලුණු

*තල තෙල් මේස හැඳි 2 යි

 

සාදන ආකාරය :

* තාච්චියක් ළිප තබා වැඩි ගින්දරේ ‍රත් කර එයට තෙල් එක් කර ගන්න .

*තළාගත් සුදු ලූනූ එක් කර රන්වන් පාට වන තෙක් බැද එයට කංකුන්, සීනි, ලුණු හා සෝයා සෝස් එක් කර හොඳින් මිශ්‍රකර ගන්න .

*කංකුන් එක් කළ පසු වැඩි වේලාවක් පිසීමෙන් වළකින්න .

----------------------------------------------

 මිශ්‍ර එළවළු බත්

අවශ්‍ය ද්‍රව්‍ය :

* තම්බා සිසිල් කර ගත් බත් ග්‍රෑම් 500 යි

*කැරට් ග්‍රෑම් 50 යි ( සිහින්ව කපා ගත් )

* ලීක්ස් ග්‍රෑම් 50 යි ( සිහින්ව කපා ගත් )

*තම්බා ගත් කුකුළු මස් ග්‍රෑම් 50 යි ( සිහින්ව ඉරා)

* තම්බා ගත් ඉස්සන් ග්‍රෑම් 50 යි

* සොසේජස් ග්‍රෑම් 50 යි ( කපා ගත්)

* තලා ගත් සුදු ලූනූ මේස හැඳි 1 යි

* තලා ගත් ඉඟුරු තේ හැඳි 1 යි

* බී ලූනූ ග්‍රෑම් 50 යි ( චොප් කර ගත් )

* සීනී තේ හැඳි 1 යි

*බිත්තර 2 යි

*රස අනුව ලුණු/ ගම්මිරිස්

* තල තෙල් මේස හැඳි 1 යි

* එළවළු තෙල් මේස හැඳි 2 යි

 

සාදන ආකාරය ;

* භාජනයක් ළිප තබා එළවළු තෙල් එක්කර රත් කර ගන්න.

*එයට ඉඟුරු ,සුදු ලූනූ හා බී ලූනූ එක්කර බැද ගන්න.

* තම්බා ගත් කුකුළු මස්,ඉස්සන් හා සොසේජස් ද එක්කර තෙම්පරාදු කරන්න.

* බිත්තර දෙක හොඳින් ගසා එක්කර බැද ගන්න.

* දැන් මනාව සිසිල් කර ගත් බත් එක්කර අධික තාපයකින් බත් බැද ගන්න.

*රස අනුව ලුණු / ගම්මිරිස් හා සීනී එක්කර ගන්න.

*අවසානයට ළිප නිවා කැරට් ,ලීක්ස් හා තල තෙල් එක්කර හොඳින් මිශ්‍ර කර ගන්න.

----------------------------------------------

 

ඉස්සෝ ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය :

* සෝදා පිරිසුදු කර ගත් ඉස්සන් ග්‍රෑම් 350 ක්

* තළා ගත් සුදු ලූනූ මේස හැඳි 1 ක්

* තළා ගත් ඉඟුරු මේස හැඳි 1/2 ක්

* කපා ගත් බී ලූනූ

* කපා ගත් මාළු මිරිස්

* කපා ගත් තක්කාලි

* චිලි පේස්ට් මේස හැඳි 2 ක්

* සීනී මේස හැඳි 1 ක්

* තක්කාලි සෝස් මේස හැඳි 3 ක්

* සෝයා සෝස් මේස හැඳි 1 ක්

* රස අනුව ලුණු, ගම්මිරිස්

* තෙල් මේස හැඳි 2 ක්

 

සාදන ආකාරය :

* ඉස්සන්වලට ලුණු ගම්මිරිස් එක්කර එහි වතුර ගතිය හිඳෙන තෙක් තම්බා ගන්න.

* තම්බා ගත් ඉස්සන්වලට තෙල් එක් කර බැද ගන්නා අතරතුර එයට ඉඟුරු, සුදු ලූනූ, චිලි පේස්ට් සීනී, තක්කාලි සෝස්, සෝයා සෝස් එක්කර පිස ගන්න.

* අවසානයට ළිප නිවා ලූනූ, මාළු මිරිස්, තක්කාලි එක්කර හොඳින් මිශ්‍ර කර රස බලන්න.

 

----------------------------------------------

 

ගොටුකොළ බැදුම

 

අවශ්‍ය ද්‍රව්‍ය :

*ගොටුකොළ මිටි දෙකක්

* කෑලි මිරිස් රස අනුව

* බැදගත් වියළි මිරිස් කැබැලි

* රටකජු

* සීනී ස්වල්පයක්

* දෙහි යුෂ

* රස අනුව ලුණු

* තෙල්

 

සාදන ආකාරය :

* ගොටුකොළ සෝදා තෙත ගතිය ඉවත් කර ගන්න.

*තෙල් රත් කර ගොටුකොළ ගැඹුරු තෙලේ බැද ගන්න.

* බැදගත් ගොටුකොවලට රස අනුව කෑලි මිරිස්, බැදගත් මිරිස් කැබැලි, රටකජු, සීනි, දෙහි යුෂ හා

රස අනුව ලුණු එක්කර හොඳින් මිශ්‍රකර රස බලන්න.

 

------------------------

බැටර් ෆ්‍රයිඩ් මෂ්රූම්ස්

අවශ්‍ය ද්‍රව්‍ය :

* ඔයිස්ටර් මෂ්රූම්ස් (හතු) ග්‍රෑම් 500 ක්

* පාන් පිටි ග්‍රෑම් 200 ක්

* බිත්තර 2ක්

* මාළු මිරිස් ග්‍රෑම් 100 ක්

* චීලී පේස්ට් මේස හැඳි 5 ක්

* ලූනූ කොළ ස්වල්පයක්

* සීතල වතුර කෝප්ප 1 1/2 ක්

* රස අනුව ලුණු,ගම්මිරිස්

* තෙල් අවශ්‍ය පමණ

 

සාදන ආකාරය :

* හතු පිරිසුදු කර ඉරා ගන්න.

* පාන් පිටි බෝල් එකකට දමා එයට බිත්තර රස අනුව ලුණු ගම්මිරිස් එක් කර අයිස් වතුර ටික ටික එක් කරමින් අනා උකු බැටරයක් සාදා ගන්න.

* බැදීමට තාච්චියක් ගෙන තෙල් එක්කර ළිප තබා ගන්න. මෂ්රූම් කැබැල්ල කැබැල්ල බැටරයේ තවරා ගැඹුරු තෙලේ බැද ගන්න.

* බැද ගත් සියල්ල පසෙකින් තබා ගන්න.

* නැවතත් භාජනයක් ළිප තබා තෙල් තේ හැන්දක් එකතු කර එයට මාළු මිරිස් ,ලූනූ කොළ හා චීලී පේස්ට් එක් කර තෙම්පරාදු කර එයට බැද ගත් හතු එක් කර රස අනුව ලුණු ස්වල්පයක් ද එකතුකර මිශ්‍ර කර ගන්න.

 

------------------------------------------

 අන්නාසි කරිය

අවශ්‍ය ද්‍රව්‍ය :

*අන්නාසි ග්‍රෑම් 300 ක් (පොතු ඉවත් කර තරමක් ලොකු කොටු කැබැලි කපා ගන්න)

* රතු ලූනූ ගෙඩි 2,3 ක් (ලියා ගත්)

* සුදු ලූනූ ගෙඩි 2,3 ක් (තළා ගත්)

* අමුමිරිස් කරල් 2,3 ක් (සිහින්ව කපා ගත්)

* රම්ප කරපිංචා ස්වල්පයක්

* බැද ගත් පහේ කුඩු මේස හැඳි 1 1/2 ක්

* මිරිස් කුඩු මේස හැඳි 1 ක්

* කහ කුඩු තේ හැඳි 1/4 ක්

* පැණි හෝ සීනි තේ හැඳි 1 /4 ක්

* කුරුඳු කැබැල්ලක්

* රස අනුව ලුණු

* තෙල් මේස හැඳි 1 ක්

* මිටි කිරි කෝප්ප 1 ක්

 

සාදන ආකාරය :

* මැටි භාජනයක් ළිප තබා තෙල් රත් කර එයට සුදු ලූනූ, අමුමිරිස්, රම්ප කරපිංචා, කුරුඳු පොතු කැබැල්ල එක් කර සුවඳ හමන තෙක් තෙම්පරාදු කර ගන්න.

* එයට ම මිරිස් කුඩු හා බැදපු පහේ කුඩු ද එක් කර බැද ගන්න.

* කහ කුඩු හා අන්නාසි කැබැලි ද එක් කර තෙම්පරාදුකර රස අනූව ලුණු හා පැණි හෝ සීනි එක් කර වසා පිස ගන්න.

* අන්නාසි පිසී වතුර ගතිය සිඳුණු පසු මිටි කිරි එක් කර හොඳින් කලවම්කර කිරි ටික ද සිඳෙන තෙක් පිස ගන්න.

-----------------------------------

 

එළවළු චොප්සුයි

අවශ්‍ය ද්‍රව්‍ය :

* කැරට් ග්‍රෑම් 100 ක්

* ගෝවා ග්‍රෑම් 100 ක්

* බෝංචි ග්‍රෑම් 100 ක්

* බී ලූනු ගෙඩි 1ක්

* සීනී තේ හැඳි 1 /2 ක්

* සෝයා සෝස් මේස හැඳි 1 ක්

* ඔයිස්ටර් සෝස් මේස හැඳි 2 ක්

* තෙල් මේස හැඳි 1 ක්

* රස අනුව ලුණු

 

සාදන ආකාරය :

 

* භාජනයක් ළිප තබා තෙල් එක්කර හොඳින් රත්කර ගන්න.

* තෙල් රත් වූ පසු කපා ගත් බී ලූනූ, කපා ගත් කැරට්, බෝංචි හා ගෝවා එක්කර ඉහළ තාපයකින් තත්පර කිහිපයක් පිස එයට සීනී, සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් හා රස අනුව ලුණු එක්කර රස බලන්න.