පලතුරු හා චොකලට් පිරි රස වෑහෙන කේක් එකක්

පෙබරවාරි 28, 2022

පාට පාට පලතුරු, චොකලට් බෝල, කේක් එකේ පෙනුම දැක්කම කන්නමයි හිත. උපන්දින හෝ වෙනත් විශේෂිත සැමරුම් වෙනුවෙන් සකසා ගත හැකි මේ කේක් එක ඔබත් රස බලන්න.

 

අපි මුලින්ම චොකලට් කේක් එක හදමු.

 

අවශ්‍ය දේවල්

 

පිටි ග්‍රෑම් 300ක්

සීනි ග්‍රෑම් 375ක්

බටර් ග්‍රෑම් 375ක්

බිත්තර 6ක්

කොකෝ පවුඩර් ග්‍රෑම් 75ක්

බේකිං පවුඩර් ග්‍රෑම් 15ක්

වැනිලා එසන්ස් තේ හැඳි 1ක්

කිරි මේස හැඳි 2ක්

 

සාදමු

 

මුලින්ම පිටි, කොකෝ පවුඩර්, බේකිං පවුඩර් එකට එකතුකර හලාගෙන පැත්තකින් තබන්න.

සීනි, බටර් හා එකතුකර බීට් කරන්න. එයටම බිත්තර එක බැගින් එකතුකර බීට් කරන්න. වැනිලා එකතුකරන්න. බටර්, සීනි, බිත්තර මිශ්‍රණය ට පිටි මිශ්‍රණයෙන් ටික ටික එකතුකරමින් ලෝ ස්පීඩ් බීට් කරන්න. කිරි එකතුකරන්න. අවන් එක සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 8කට කලින් රත් කරගන්න. බේකිං පේපර් දමා සකස් කරගත් අඟල් 6 සයිස් රවුම් තැටි තුනකට කේක් මිශ්‍රණය දමා ගන්න. සෙල්සියස් අංශක 180ක උෂ්ණත්වයෙන් විනාඩි 25ත් 30 ත් අතර බේක් කරගන්න.

සාදාගත් චොකලට් කේක් හොඳින් නිවෙන්න තියන්න. ඒ අතරේ අපි කේක් එක රස ගැන්වීමට අවශ්‍ය පලතුරු සිරප් එක හදාගනිමු. ඒ සඳහා ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 250 පුංචි කොටස්වලට කපා බඳුනකට දමන්න. එයට සීනි මේස හැඳි 3ක් හා වතුර මේස හැඳි 2ක් එකතු කර ළිප තබා උණු කරන්න.

 

එය නිවෙන්න තියන්න.

 

ක්‍රීම් මිශ්‍රණය හදමු.

 

අවශ්‍ය දේවල්

 

විපිං ක්‍රීම් හෝ හෙවි ක්‍රීම් මිලිමීටර් 500ක්

අයිසිං සීනි මේස හැඳි 4ක්

ක්‍රීම් චීස් ග්‍රෑම් 250ක්

 

හෙවි, විපිං ක්‍රීම් එක ඝනකම් කිරි එකක්. බීට් කරන්න කලින් ශීතකරණයේ තබා ගන්න.

ශීතකරණයේ තියලා ගත්ත හෙවි හෝ විපිං ක්‍රීම් සමඟ අයිසිං සීනි එකතුකර හයි ස්පීඩ් බීට් කරන්න. අවශ්‍ය පමණට බීට් වූ විට නවත්වන්න. (හිම වගේ බීට් වුණාම ඇති.) දැන් එයට ක්‍රීම් චීස් එකත් එකතුකර පොඩි වෙලාවක් ලෝ ස්පීඩ් බිට් කරන්න. නිවුණු කේක් තුනෙන් එකක් මුලින්ම තබා එය උඩට සාදාගත් පලතුරු සමඟ යුෂ එක් කරන්න. එයට උඩින් සාදාගත් ක්‍රීම් එකෙන් ටිකක් තියා ඒ මත අතුරන්න

දැන් ආයේ අනිත් කේක් එක තියා උඩින් කලින් වගේම පලතුරු කැබලි සමඟින් සිරප් එක එකතුකර, ක්‍රීම් අතුරන්න. ඊට උඩින් ඉතුරු කේක් එක තබා මුලු කේක් එකම ක්‍රීම් එකෙන් උඩ සහ වටේ කවර් කරගන්න. එය විනාඩි 40ක් පමණ ශීතකරණයේ තබන්න.

ඒ අතරේ මිල්ක් චොකලට් ග්‍රෑම් 100කට ෆ්‍රෙෂ් මිල්ක් මේස හැඳි 2ක් එකතුකර මයික්‍රෝවේව් එකේ විනාඩියක් තබා දිය කරගන්න.

නැත්නම් රත් කරගන්න. එය නිවෙන්න තබන්න. ශීතකරණයේ තැබූ කේක් එක පිටතට ගෙන උඩ සහ වටේට දියකරගත් චොකලට් වත් කරන්න.

ස්ට්‍රෝබෙරි, චොකලට්වලින් කැමැති විදියට උඩ සරසගන්න. ශීතකරණයේ තබා ආදරණීයයන්ට පිළිගන්වා සතුටින් රස බලන්න.

 

 

උපදෙස් හා ඡායාරූප ඉතාලියේ පර්මාහි සූපවේදිනී

ජනනි ගුරුසිංහ