දේශීය කෑම රසයෙන් පිරුණු අලුත් අවුරුදු කෑම මේසය

අප්‍රේල් 11, 2022

 

කොරෝනා වසංගතයත් එක්ක වසර දෙකක් හිරවෙලා කොටුවෙලා සිටි නිසාම මෙවර උදාවන අවුරුද්ද සමරන්න හැමෝම උනන්දුවෙන් ඉන්නවා. ඒත් මෙවර සිංහල අලුත් අවුරුද්ද උදාවෙන්නෙ අපට තරමක් අසීරු අවස්ථාවක.

ඒ නිසා නිවෙසේ ආර්ථිකයට බරක් නොවන්න අවුරුදු කෑම මේසය සකස් කිරීමේ අභියෝගය මවට නැතිනම් ගෘහණියට තිබෙනවා. ඒ සඳහා කිසියම් සහනයක් ගෙන එන්නට අප කල්පනා කළා.

හැමදාම කෑම මේසයට එක්වන තරමක මිලක් වැයවන කෑම වෙනුවට ඉතාමත් අඩු මිලකින් එහෙමත් නැතිනම් පරිසරයෙන් සපයාගත හැකි දේවලින් කෑම මේසයට වෙනසක් එක් කරන්නට හැකි ආහාර වට්ටෝරු කිහිපයක් ‘රසාර‘ අතිරේකය පල කෙරෙනවා.

අලුත් අවුරුද්දේ අලුත් දෙයක් අත්හදා බලන්න කැමැති ගෘහණියන්ට මේ අලුත් අවුරුද්ද වඩාත් රසවත් වේවි .

මෙවර අපගේ අවුරුදු කෑම මේසය හරිම රසවත්ය. එසේම එය ඔබට අලුත්ම අත්දැකීමකි. දේශීයත්වය හා අපේකම ලොවට කියන අලුත් අවුරුද්දේ කෑම මේසය මෙවර හැඩ වෙන්නේ නියම දේශීය කෑම වට්ටෝරු එකතුවකිනි.

මේ කෑම වට්ටෝරු පෙළ ඔබට ඉදිරිපත් කරන්නේ ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ දේශීයව හා අන්තර්ජාතිකව විවිධ වැඩසටහන් සංවිධානය කරන FIAN SRI LANKA ආයතනය මඟින් සංවිධානය කළ කෑම වට්ටෝරු තරගයකින් තෝරාගත් කෑම වර්ග කිහිපයකිනි. එම ආයතනය මඟින් දේශීය ආහාර ජනප්‍රිය කරලීමේ අපේක්ෂාවෛන් සංවිධානය කළ මේ තරගය වැලිගෙපොළ ඒකාබද්ධ කාන්තා මහා සංගමය සමඟ පසුගිය සතියේ දී පවත්වන ලදී. එම තරගය සඳහා කෑම වට්ටෝරු සිය ගණනක් ඉදිරිපත් කරන තිබූ අතර තරගකාරියන් විශාල සංඛ්‍යාවක් සහභාගි විය. මේ තරගයේදී තෝරාගත් කෑම වට්ටෝරු 100ක් වැලිගෙපොළ මංසන්ධිය අසලදී ප්‍රදර්ශනය කරනු ලැබූ අතර මෙම වට්ටෝරු ඇතුළත්ව කෑම වට්ටෝරු පොතක් ද මුද්‍රණය කිරීමට සංවිධායක මණ්ඩලය අපේක්ෂා කරයි.

 

 

හත් මාළුව

 

අවශ්‍ය ද්‍රව්‍ය

වට්ටක්කා දලු කිහිපයක්

කජු මද ග්‍රෑම් 50ක්

කොස් ඇට 10ක්

වම්බටු ගෙඩි 2, 3ක්

මෑ කරල් මිටක්

කිරි අල හෝ අර්තාපල්

ගෙඩි 2ක්

අමුමිරිස් කරල් 5ක්

රතුලූනු ගෙඩි 7, 8ක්

මිරිස් කුඩු මේස හැඳි 01ක්

තුනපහ කුඩු තේ හැඳි 01ක්

උළුහාල්, කහ, දියලුණු අවශ්‍ය ප්‍රමාණයට රම්පෙ, කරපිංචා, කුරුඳු,

පොල් ගෙඩියක මිටිකිරි කෝප්ප 01ක් හා දිය කිරි කෝප්ප 1 1/2ක්.

 

 

 

 

 

සාදන ක්‍රමය

එළවළු වර්ග ටික හා අමු මිරිස්, රතුලූනු සෝදා පසෙකින් තබන්න. දිය බේරෙන්නට හැර සියලුම එළවළු වර්ග, රතුලූනු, අමුමිරිස් කපා ගන්න. ඉන්පසු ඇතිළියකට සියල්ල දමා මිරිස් කුඩු, තුනපහ කුඩු, උළුහාල්, දිය ලුණු, රම්පෙ, කරපිංචා, කුරුඳ, කහ කුඩු දමා කලවම් කර පසෙකින් තබන්න. එයට දිය කිරි ටික දමා ළිප තබා හොඳින් තැම්බුණු පසු මිටිකිරි දමා හොඳින් ඉස්ම හිඳුණු පසු ළිපෙන් බා ගන්න. අවශ්‍ය නම් තෙම්පරාදු කර ගන්න.

 

 

 

පී. එම්. ආර්. පී. මැණිකේ

ගල්පාය

-------------------------------

රතැඹුල සම්බෝලය

කෙසෙල් මුව රතු පොතු 3 - 4ක්

උම්බලකඩ ග්‍රෑම් 50ක්

රතුලූනු ග්‍රෑම් 250ක්

පොල් තෙල් බෝතල් 1/2ක්

දෙහි ගෙඩි 5ක්

ලුණු කුඩු අවශ්‍ය ප්‍රමාණයට

කරපිංචා කිනිති 2 - 3ක්

කෑලි මිරිස් ග්‍රෑම් 50ක්

 

 

 

කෙසෙල් මුව, රතුලූනු, කරපිංචා සෝදා වතුර බේරෙන්න තබන්න.

කෙසෙල් මුව පතුරු ටික සිහින්ව ලියා ගන්න. රතුලූනු හා කරපිංචා හා සිහින්ව ලියාගන්න. බඳුනක් ළිප තබා තෙල් දමා රත්කර කෙසෙල් මුව ගැඹුරු තෙලේ බැද තෙල් බේරෙන්නට දමන්න. ලියාගත් රතුලූනු, කරපිංචා, ලුණු කුඩු, කෑලි මිරිස්, උඹ්බලකඩ එකම භාජනයකට දමා කලවම් කර කෙසෙල් මුව බැදගත් තෙල්වලින් ස්වල්පයක් දමා කරවෙන තුරු බැදගන්න. එයට බැදගත් කෙසෙල් මුව ටික එකතු කර ළිපෙන් බා දෙහි යුෂ එක්කර පළිගන්වන්න.

 

පී. එම්. ආර්. පී. මැණිකේ

ගල්පාය

----------------

කහ බත

 

 

කීරි සම්බා හාල් කිලෝ ග්‍රෑම් 01ක්

පොල් ගෙඩියක පමණ කිරි

අබ තේ හැඳි 01ක්

වියළි මිදි ස්වල්පයක්

කහ කුඩු ස්වල්පයක්

ලුණු කුඩු ස්වල්පයක්

රම්පෙ, කරපිංචා, එනසාල්

කරාබුනැටි, සුදුලූනු, ඉඟුරු ස්වල්පයක්

කජු ග්‍රෑම් 100ක්

ගම්මිරිස් ඇට 10 - 15ක්

 

 

පළමුව සහල් සෝදා ගෙන පොල් කිරි, කහ, ලුණු, කජු හා ගම්මිරිස් ඇට ස්වල්පයක් එක්කර බත පිසගන්න. බත තැම්බුණාට පසුව පිරිසුදු පොල්තෙල් ළිප තබා තෙල් හොඳට රත්වූ පසු ඉඟුරු, සුදුලූනු, කරපිංචා, රම්පෙ, අබ තෙලේ බැදගන්න. ඉන්පසු ඒවා බතට කලවම් කර කෑම මේසයට යවන්න.

 

ටී. ඩබ්ලිව්. ශ්‍රියාවතී

ගල්පාත

*******************

පොලොස් ඩෙවල්

 

පොලොස් ගෙඩි 01ක්

සුදුලූනු ගෙඩි 06ක්

අමු මිරිස් කරල් 05ක්

කුරුඳු කැබැල්ලක්

රම්පෙ

කරපිංචා

මිරිස් කුඩු මේස හැඳි 3ක්

කහ කුඩු ස්වල්පයක්

තුනපහ කුඩු මේස හැඳි 1/2ක්

තක්කාලි සෝස්

බී ලූනු ගෙඩි (පොඩි) 02ක්

තක්කාලි ගෙඩි 03ක්

නයි මිරිස් කරල් 06ක්

ලුණු අවශ්‍ය තරමට

උම්බලකඩ ස්වල්පයක්

 

 

පොලොස් ගෙඩියේ කටු ඉවත්කර පෙති කපා කහ සහ ලුණු දමා තම්බාගන්න. තම්බාගත් පොලොස් හීනි පෙතිවලට කපා ගැඹුරු තෙලේ බැද වෙනම භාජනයකට දමා ගන්න. ඉන් අනතුරුව වෙනම වළඳක් ළිපතියා තෙල් දමා රත්වූ පසුව එයට සුදුලූනු, අමුමිරිස්, කුරුඳු, රම්පේ, කරපිංචා, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු, තක්කාලි සෝස්, ලුණු, බී ලූනු, දමා ගලවම්කරමින් බැදගන්න. එයට ගැඹුරු තෙලේ බැද ගත් පොලොස් ටික දමා ගන්න. විනාඩි 5 - 10 ක් පමණ තිබෙන්නට හැර ළිපෙන් බා වෙනම භාජනයකට දමා ගන්න. එයට කපාගත් තක්කාලි, නයි මිරිස්, බී ලූනු හා උම්බලකඩ ස්වල්පයක් එකතු කර ගන්න.

 

යූ. එම්. චන්දිමා සඳමාලි

තෙළඹුගහඅතුර

*****************

බේදුරු ව්‍යංජනය

බේදුරු කොළ ග්‍රෑම් 500ක්

සුදුලූනු බික් 4 - 5ක්

රතුලූනු ගෙඩි 4 - 5ක්

අමුමිරිස් කරල් 5 - 6ක්

ගොරකා බික් 3ක්

ලුණු ස්වල්පයක්

මිරිස් කුඩු මේස හැඳි 1ක්

කහ කුඩු ස්වල්පයක්

තුනපහ කුඩු මේස හැඳි 1/2ක්

උළුහාල්, රම්පෙ, කරපිංචා

කුරුඳු පොතු කැබැල්ලක්

පොල් බෑයක කිරි

පොල් තෙල්

වියළි මිරිස් කරල් 2ක්

අබ ස්වල්පයක්

 

බේදුරු කොළ සෝදාගෙන අඟල් එකක ප්‍රමාණයට කෑලි කඩාගෙන නැවත බූව යනතුරු හොඳට තුන්පාරක් පමණ සෝදා ගන්න. එයට ලුණු, ගොරකා දමා අවශ්‍ය පමණ වතුර මිශ්‍රකර ළිප තබා හොඳට තම්බා ගන්න. ඊට පසු එයට රතුලූනු, සුදුලූනු, අමුමිරිස්, කුරුඳුපොතු කැබැල්ල, රම්පෙ, කරපිංචා, තුනපහ සහ මිරිස් කුඩු එක්කර පොල් කිරි දමා නැවත උයා ගන්න. ඉස්ම හිඳුණු පසු වෙනත් භාජනයක මාරු කරන්න. ඇතිළියට තෙල් දමා රත්කර එයට කරපිංචා, වියළි මිරිස් කරල් කෑලි දමා රන්වන් පාට වනවිට අබ තේ හැන්දක් දමා පිපිරුණු පසු සාදාගත් මාළුව දමා ගන්න.

 

 

යු. කේ. නිමාලී දැල්කඳුර

ඉලක්කුඹුර

 

*******************

 

මාළු ඇඹුල්තියල්

 

බලමාළු ග්‍රෑම් 500ක්

ගම්මිරිස් ග්‍රෑම් 50ක්

ගොරකා ග්‍රෑම් 50ක්

ලුණු කුඩු මේස හැඳි 1ක්

කරපිංචා කිනිති කීපයක්

 

 

 

මාළු කැබලිවලට කපා හොඳින් සෝදන්න. ගොරකා තම්බා අඹරාගන්න. ගම්මිරිස් කුඩුකර ගන්න. අඹරාගත් ගොරකා, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු, කරපිංචා, ගොරකා තැම්බූ වතුරෙන් අනා දවටයනය සකසා ගන්න. මාළු කෑලි එම දවටනයට දමා හොඳින් කලවම් කරගන්න. මැටි වළඳකට කෙසෙල් කොළයක් දමා දවටනයෙහි ඇතිරූ මාළු කැබැලි අසුරන්න. මඳ ගින්නේ තම්බාගෙන නිවුණු පසු ආහාරයට ගන්න.

 

ආර්. එච්. ඉනෝකා උදයංගනී

ගල්පාය