පසුම්බියට වාසි ගෙනෙන ගෙදර හදන සොසේජස්

මැයි 22, 2023

සොසේජස් කන්න හැමෝම ආස වුණත්, එහි සෞඛ්‍යාරක්ෂිත බව ගැන ගැටලුවක් තිබෙනවා. කුඩා දරුවන් කොච්චර ආසා වුණත් අම්මලා සොසේජස් දෙන්න දෙවරක් හිතන්නේ ඒ නිසයි. ඉතින් අපි අද ඔබට සෞඛ්‍යාරක්ෂිතව රස ම රසට ගෙදරදී ම සොසේජස් හදන හැටි කියා දෙනවා. මේ විදිහට සොසේජස් හැදුවොත් බය නතුව පොඩ්ඩන්ට දෙන්නත් පුළුවන්.

 

 

බිම්මල් සොසේජස්

 

බිම්මල් පැකට් එකක්

ලූනු

සුදුලූනූ

ඉඟුරු

කරපිංචා

ලුණු

මිරිස්කුඩු

කහ කුඩු

තුනපහ කුඩු

සහල් පිටි ග්‍රෑම් 60ක්

 

 

බිම්මල් පිරිසුදු කර, කුඩා තීරුවලට ඉරා විනාඩි දහයක් ස්ටීම් කරගන්න. ඉන්පසු ඉතුරු ද්‍රව්‍ය සියල්ල සමග මිශ්‍රකර බ්ලෙන්ඩ් කරගන්න. මෙය පරිප්පු මිශ්‍රණය සේ ඝන එකක් නොවෙයි. ඒ නිසා සහල් පිටි ටික ටිකෙන් ටික එක්කර අවශ්‍ය පදමට සකසා ගන්න.  මේ මිශ්‍රණය සොසේජස් හැඩයට ෆොයිල් කොළවල ඔතා ගන්න. ස්ටීමර් එකේ විනාඩි විස්සක් පමණ ස්ටීම් කරන්න.

 

-----------------------

පොලොස් සොසේජස්

තම්බා ගත් පොලොස් ගෑම් 400ක්

ලූනු

සුදුලූනු

ඉඟුරු

කරපිංචා

ලුණු

මිරිස්කුඩු

කහ කුඩු

තුනපහ කුඩු

කඩල පිටි ගෑම් 60ක්

තෙල්

 

පොලොස්ටික හොඳින් පොඩි කරගන්න. ඉන්පසු කඩල පිටි හැර ඉතිරි සියල්ල තෙලට දමා තෙම්පරාදු කරගන්න. ඉන්පසු මේ මිශ්‍රණය නිවුණු පසු බ්ලෙන්ඩ් කරගන්න. කඩල පිටි එක්කර අවශ්‍ය පදම සකසා ගන්න. මේ මිශ්‍රණය සොසේජස් හැඩයට ෆොයිල් කොළවල ඔතා ගන්න. ස්ටීමර් එකේ විනාඩි විස්සක් පමණ ස්ටීම් කරන්න.

 

දැන් ඔබට ඉතා පහසු, ලාබදායී සහ සෞඛ්‍යාරක්ශිත සොසේජස් රෙසිපි දෙකක් තිබෙනවා. තෙල් දමා හෝ තෙලේ බැද ආහාරයට ගෙන රස බලන්න!

 

උපදෙස්

විධායක සූපවේදී

සුජිත් ආරියරත්න