වෙසක් සමයට ගැළපෙනම නිර්මාංස ආහාර වේල

මැයි 20, 2024

 

මේ උදාව ඇත්තේ බුදුන්ගේ තෙමඟුල සිහිපත් කරන වෙසක් මාසයයි. වෙසක් මාසය කියන්නේ හැමෝගෙම සිත් පහන් සිතුවිලිවලින් පිරී ඉතිරී සැදැහැවත්ව ගත කරන කාලයකි. පහන් සිතුවිලිත් එක්ක මේ කාලේදී නිර්මාංස අාහාර රටාවක් ගෙනියන්න කවුරුත් අමතක කරන්නේ නැහැ. ඒ නිසාම අපි හිතුවා තරුණී වෙතින් රසවත් නිර්මාංස ආහාර වේලක් තිළිණ කරන්න.

 

අල කිරට

අල කිරට උයන්න හැමෝම දැනගෙන හිටියට කිරි රහට අල කරියක් හදන විදිහයි අද කියලා දෙන්නේ.

මේ සඳහා අර්තාපල් ග්‍රෑම් 300ක්, කපාගත් අමු මිරිස් කරල් 2ක්, කුරුඳු කෑල්ලක්, ලියාගත් ලූනූ ගෙඩි 1/2ක්, කරපිංචා, රම්පෙ, කහකුඩු තේ හැඳි 1/2ක්, අබ කුඩු තේ හැඳි 1/4ක්, සූදුරු කුඩු තේ හැඳි 1/4ක්, උළුහාල් තේ හැන්දක්, මිටිකිරි කෝප්ප 2ක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

 

පළමුව අල ටික ලුණු දමා තම්බගන්න. කෑලි කපාගන්න. ලොකු භාජනයකට පොල්කිරි සහ අනෙක් සියල්ලම එකතු කරන්න. ඉන්පසු රස අනුව ලුණු එකතු කරගෙන උතුරනකම් හැඳිගාන්න. කිරි උතුරගෙන එනකොට අල ටික දාලා ටිකකින් ළිප නිවාගන්න.

 

පළමුව අල ටික ලුණු දාලා තම්බාගන්න. පොතු හැර කෑලි කපාගන්න. ලොකු භාජනයකට පොල්කිරි එක්ක අනික් සියල්ලම දාලා රස අනුව ලුණු එකතු කරගෙන උතුරනකම් හැඳිගාන්න. කිරි උතුරගෙන එනකොට අල ටික දාලා ටිකකින් ළිප නිවාගන්න. හදලම බලන්න වෙනදා හදන අල හොද්ද වගේද මේක කියල. 

------------------------------

අන්නාසි සලාදය

බත් පතකට අන්නාසි සලාදයක් එකතු වෙනවා කියන්නේ වැඩියෙන්ම ආස වෙන්නේ පොඩ්ඩෝ. කවුරුත් රස බලන්න කැමැති අන්නාසි සලාදයකුත් මේ විදිහට එකතුකර ගනිමු.

 

මේ සඳහා අන්නාසි ගෙඩි 1ක්, තක්කාලි ගෙඩි 2ක්, අමු මිරිස් කරල්  2 ක්, බී  ලූනු ගෙඩි  2 ක්, සුදුලූනු තේ හැඳි 1ක්, මී කිරි මේස හැඳි 2ක්, සීනි  තේ හැඳි 2ක්, දෙහියුෂ, ලූණු සහ ගම්මිරිස්  කුඩු අවශ්‍යයි.

 

අන්නාසි ගෙඩිය  පොතු හැර  කොටු  හැඩයට    කපාගන්න. තක්කාලිත්  කොටු  හැඩයට  කපාගන්න. අමු මිරිස්  ඇලයට  කපන්න. බී ලූනු හා සුදුලූනු සිහින්ව  ලියා ගන්න. දැන් මේ සියල්ල  එකට  මිශ්‍ර කරගෙන  රස  පදමට  ලුණු හා  ගම්මිරිස්  එකතුකර ගන්න.

 

-------------------------------

කඩල පරිප්පු බත

විවිධ විදිහේ බත් වර්ග රස බලා තිබුණත් තවමත් කඩල පරිප්පු බතක රස බලා නැති අයටයි මේ රසවත් බත. බත් නොකන පොඩි අයත් හරිම ආසාවෙන් රස බලාවි. මේ විදිහට හදලා බලන්නකෝ.

 

මේ සඳහා කීරි සම්බා සහල් ග්‍රෑම් 250 ක්, කඩල පරිප්පු ග්‍රෑම් 250, රතුලූනූ 150ක්, සුදුලූනූ 2-3ක්, අමු මිරිස් කරල් 2ක්, බටර් ස්වල්පයක්, තුනපහ තේ හැඳි බාගයයි, සූදුරු තේ හැඳි බාගයක්, කහ තේ හැඳි කාලක් සහ රස අනුව ලුණු අවශ්‍යයි.

 

මුලින්ම පෑන් එකකට බටර් ටික දාගන්න. රත්වන කොට සුදුලූනූ, අමු මිරිස්, රතුලූනූ, කුඩුකර ගත් සූදුරු, කහ, තුනපහ එකතුකර බැද ගන්න. එය⁣ට පරිප්පු, හාල් එකතුකර ගෙන හොඳින් බැදගන්න. අවශ්‍ය ප්‍රමාණයට වතුර එක්කර සාමාන්‍ය බතක් පිස ගන්නා ආකාරයට මෙය පිස ගන්න.

 

------------------------------

වම්බටු මෝජු

වම්බටු මෝජුව හදන්න වම්බටු ග්‍රෑම් 500ක්, රතුලූනූ ග්‍රෑම් 250ක්, අමු මිරිස් ග්‍රෑම් 100ක්, සුදුලූනූ බික් 4ක්, ඉඟුරු කෑල්ලක්, විනාකිරි මේස හැඳි 3ක්, අබ කුඩු තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැඳි 1ක්, මිරිස් කුඩු තේ හැඳි 1ක් සීනි මේස හැඳි 2ක්, ලුණු කුඩු තේ හැඳි 1 සහ පොල් තෙල් අවශ්‍යයි.

 

මුලින්ම වම්බටු සෝදලා හීනි පොඩි තීරුවලට කපලා කහ පොඩ්ඩක් අතගාලා පැත්තකින් තියාගන්න. ඊට පස්සේ රතු ලූනූ හෝදලා සුද්දකර ගන්න. අමු මිරිස් දිග අතට මැදින් දෙකට පළාගන්න.

සුදුලූනූ , ඉඟුරු හොඳට තළලා තලපයක් හදාගන්න. සුදුලූනූ ඉඟුරු පේස්ට් එක වුණත් මේකට එකතුකර ගන්න පුළුවන්.

 

දැන් වම්බටු ටික රන්වන් පාට වෙනතුරු බදින්න. බැදගත්තට පස්සෙ වම්බටුවල තෙල් ටික බේරෙන්න තියන්න. රතුලූනූ ගෙඩි ටිකත් ගැඹුරු තෙලේ විනාඩියක් විතර බැදලා තෙල් ටික බේරෙන්න තියන්න.දිග අතට කැපූ අමු මිරිසුත් ගැඹුරු තෙලේ පොඩ්ඩක් බැදලා තෙල් ටික බේරන්න.

දැන් මැටි භාජනයක් ළිපේ තියලා ඒකට විනාකිරි දාලා රත්වීගෙන එනකොට ඉඟුරු සුදු ලූනූ තලපය, අබ කුඩු, මිරිස් කුඩු, සීනි, ලුණු කුඩු එකතුකරලා හොඳට හැඳිගාන්න.

දැන් අපි කලින් බැදගත්ත වම්බටු, රතුලූනූ, අමු මිරිස් එකතු කරලා පොඩි වෙලාවක් විනාකිරෙන් තැම්බෙනකම් කලවම් කරලා ළිපෙන් බාගන්න.

සීනි, ලුණු රස අනුව අඩු වැඩිකර ගන්න පුළුවන්. දවස් තුන හතරක් තියාගෙන කන්න පුළුවන්. තව ඕනි නම් රස වෙන්න උම්බලකඩ, හාල්මැස්සන් එකතු කරන්නත් පුළුවන්. හැබැයි මේ වෙසක් සමය කියන්නේ නිර්මාංසව සැදැහැ සිතින් ගත කරන කාලයක්නේ. ඒ නිසා ඒවා එකතුකර ගැනීම අවශ්‍යම නැහැ.

----------------------

මුගුණුවැන්න කොළ මැල්ලුම

ඕනෙම බත්පතකට මැල්ලුමක් වරද්දන්න එපා කියනවනේ. ඒ නිසා මේ කෑම වේලට මුකුණුවැන්න මැල්ලුමක් එකතුකර ගනිමු.

මේ සඳහා මුගුණුවැන්න කොළ, රතුලූනු, අමු මිරිස්, ගාගත් පොල්, ලුණු සහ දෙහි මුගුණුවැන්න සිහින්ව කපාගෙන ඒකට රතුලූනූ සහ අමු මිරිස් එකතුකර ගන්න.ලුණු රස පදමට දාපු ගාගත් පොල් මිශ්‍රණය කොළ එක්ක මිශ්‍ර කරලා යාන්තම් මලවා ගන්න. ඊට පස්සේ දෙහි ටිකක් එකතුකර ගන්න.

--------------------------

වෙජි කට්ලට්

වෙසක් සමය නිසා මාංසවල රස බලන්න විදිහක් නැහැ කියලා හිතුවට ඒ රසම එන වෙජි කට්ලට් එකක් ඒ වෙනුවට බත් බතට එකතුකර ගන්න පුළුවන්.

එහෙනම් වෙසක් සමයට හරියටම ගැළපෙන වෙජි කට්ලට් මෙහෙම හදමු.

පිරවුම සඳහා හීනියට කපාගත් සුදුලූනූ සහ ඉඟුරු තේ හැඳි 1ක්, ලූනූ ගෙඩියක්, අමු මිරිස්, කැරට් අල 2ක්, බෝංචි කරල් කිහිපයක්, ග්‍රීන් පීස් කෝප්ප 3/4ක්, තම්බාගත් විශාල ප්‍රමාණයේ අල  2ක්, කහ කුඩු තේ හැඳි 1ක්, මිරිස් කුඩු තේ හැඳි 1/2ක්, අවශ්‍ය ප්‍රමාණයට ලුණු, කරපිංචා ස්වල්පයක්, කොත්තමල්ලි කොළ කිහිපයක් සහ තෙල් අවශ්‍යයි.

දැවටුම සඳහා පාන් පිටි, වතුර සහ බිස්කට් කුඩු අවශ්‍යයි. අල සහ කැරට් තරමක් තම්බා කුඩාවට කපාගන්න. අමු මිරිස්, බෝංචි, ලූනූ, කරපිංචා, කොත්තමල්ලි කොළ කුඩාවට කපාගන්න. පෑන් එකකට තෙල් ස්වල්පයක් දමා සුදුලූනූ, සහ ඉඟුරු එකතුකර ගන්න. විනාඩියකට පමණ පසුව ලූනූ එකතුකර ගන්න. ලූනූ තැම්බීගෙන එනවිට එයට සියලුම එළවළු ටික එකතුකර ගෙන හොඳින් මිශ්‍රකර ගන්න. කහ කුඩු, මිරිස් සහ ලුණු එකතුකර ගන්න. වතුර කෝප්ප 1/4ක් එකතුකර පියනකින් වසා තම්බාගන්න. ජලය වාෂ්පවී එළවළු හොඳින් තැම්බුණු පසු ළිපෙන් ඉවත්කර සම්පූර්ණයෙන්ම නිවෙන්නට තබන්න. සාදාගත් මිශ්‍රණයෙන් හැන්දකට අල්ලන ප්‍රමාණයෙන් කොටස බැගින්ගෙන බෝල ආකාරයට සාදාගන්න. සාදාගත් බෝල තරමක් පැතලිකර ගන්න.

 

වෙනත් බඳුනකට පිටි සහ වතුර ස්වල්පයක් එකතුකර බැටරය සාදාගන්න. සාදාගත් කට්ලට් බෝල බැටරයේ දවටා අනතුරුව බිස්කට් කුඩුවල දවටා ගැඹුරු තෙලේ මදගින්නේ බැදගන්න. මතක ඇතිව තෙල් බේරෙන්නට ටිෂූ පේපර් එකක් මත තබන්න.

පොලිතීන් බෑගයක නිසි පරිදි අසුරා තබා අධි ශීතකරණයක තැන්පත්කර මාසයක් – දෙකක් කල්තබා ගන්න පුළුවන්. බැදීමට පෙර ශිතකරණ ලද කට්ලට් විනාඩි 30-45ක් පමණ කාමර උෂ්ණත්වයේ තබා බැදගන්න.

 

---------------------------

අඹ වෑංජනය

මේ අඹ වාරේ නිසා ගෙඩි පිරුණු අඹ ගහක් නැති ගෙවත්තක් නැති තරම්. ඉතින් අඹ ගෙඩි කිහිපයකින් මේ විදිහට රසවත්ව අඹ වෑංජනයක් හදලා බලමු.

 

මේ සඳහා පැහීගෙන එන අමු අඹ ගෙඩි 4-5ක්, ලියාගත් රතුලූනු ගෙඩි 6-8ක්, රම්පේ, කරපිංචා, කපාගත් අමු මිරිස් කරල් 2-3ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කහ කුඩු තේ හැඳි 1/4 ක්, බැදපු තුනපහ කුඩු තේ හැඳි 1ක්, ගම්මිරිස් කුඩු ස්වල්පයක්, බැදගත් උළුහාල් ඇට ස්වල්පයක්, අබ ඇට ස්වල්පයක්, කුරුඳුපොතු කැබැල්ලක්, රස අනුව ලුණු, සීනි මේස හැඳි 1-2ක්, පොල්තෙල් ස්වල්පයක්, මිටි කිරි අඬු කෝප්ප 1 1/4 ක් පමණ සහ දිය කිරි අඬු කෝප්ප 3/4 ක් පමණ අවශ්‍යයි.

අඹ ටික හොඳින් සෝදා පිරිසුදුකර ලෙල්ල පිටින්ම දික් තීරු ලෙස කපාගෙන බඳුනකට දමා ගන්න. එයටම කහ කුඩු, මිරිස් කුඩු, බැදපු තුනපහ කුඩු හා ගම්මිරිස් කුඩු දමා අත ගා ගෙන පසෙකින් තබා ගන්න. දැන් මැටි වළඳක් හෝ සුදුසු භාජනයක් ළිප තබා ගෙන එයට තෙල් ටික දමා ළිප තබා ගන්න. තෙල් ටික රත් වීගෙන එන විට එයට රම්පේ, කරපිංචා, කුරුඳු පොතු කැබැල්ල සහ රතුලූනූ එකතුකර ටිකක් බැදෙන්න හරින්න. ඒවා යන්තමින් රන්වන් පාට වීගෙන එන විට එයටම අබ ටික එකතුකර පියනකින් වසාගෙන අබ පුපුරවා ගන්න. අබ පිපිරුණු පසුව එයට පහේ අත ගා ගත් අඹ ටික එකතුකර හොඳින් කලවම්කර විනාඩියක් පමණ පියනෙන් වසා තබන්න. දැන් එයට අමු මිරිස්, උළුහාල් ඇට හා දියකිරි ටික එකතුකර විටින් විට හැඳි ගාමින් පිස ගන්න.

 

පසුව දියකිරි නටාගෙන එන විට එයට රස අනුව ලුණු එකතුකර ගන්න. අඹ හොඳින් තැම්බී කිරි හිඳීගෙන එන විට එයටම මිටි කිරි ටික ද මිශ්‍රකර උතුරන තෙක් හැඳි ගාමින් අඩු ගින්දරේ පිස ගන්න. ඉන්පසුව රස අනුව සීනි ටික ද එකතුකර ගන්න. අවසානයේ දී කිරි හිඳෙන තුරු හෝ ඔබට අවශ්‍ය ප්‍රමාණයට හොද්ද උකුවන තෙක් පිසගෙන ළිපෙන් බා ගන්න.

 

 

උපදෙස්

සූපවේදී

සුජිත් ආරියරත්න