කිරිඅල පිත්තෙන් හදමුද සුපිරි කරියක්

සැප්තැම්බර් 16, 2024

 

කිරිඅල පිති මාළුව


කිරිඅල කොළ සහ කිරිඅල පිත්ත කියන්නේ කට කසන කෑමක් කියලයි සමහරු නම් කියන්නේ. අද කියන්න යන්නේ කට කසන්නේ නැති වෙන්න හදන්න පුළුවන් කිරිඅල පිති කරියක් හදන හැටි. මේ කිරිඅල පිති මාළුව හදන්න කිරිඅල පිති කිහිපයක් (පිත්තේ ඇති කොල පාට කොටස අතින් නූල් හැර ඉවත් කර සිහින් පෙති කපා ගන්න), ලියාගත් සුදු ලූනූ, අමු මිරිස්, කොච්චි හෝ නයි මිරිස්, රතු ලූනූ, කරපිංචා, රම්පේ හා තක්කාලි, උකු පොල්කිරි මේස හැඳි 2ක්, කහ, තුනපහ කුඩු, බැදපු තුනපහ කුඩු හා මිරිස් කුඩු, අබ ස්වල්පයක්, ගොරකා කැබලි 2ක්, පදමට ලුණු අවශ්‍යයි.

දැන් අපි මේ මාළුව සකසා ගනිමු. මුලින්ම කිරිඅල පිති ලුණු වතුරේ දාලා මිරිකා ගන්න. භාජනයක් ළිප තබා එයට තෙල් ටිකක් දාලා රත් වෙනකොට අබ පුපුරුවා ගන්න. එයට ලියාගත් ද්‍රව්‍ය ටික දාලා ටික වෙලාවක් හොඳින් තෙම්පරාදු කර ගන්න. ඒ ගමන් තක්කාලි කෑලි ටිකත් හැන්දකින් පොඩි කරන්න.
දැන් කිරිඅල පිති, තුනපහ වර්ග, ගොරකා සහ පොල්කිරි ටික එකතු කර ටික වේලාවක් පිස ගන්න.
 

*****************

ලංකාවේ ආහාර සංස්කෘතියට තියෙන්නේ ලොකු ඉතිහාසයක්. මොකද ඒ තරමට වට පිටාවේ තියෙන්නේ ආහාරයට ගත හැකි ගහ ‍ෙකාළ, පොතු වර්ග, මල් වර්ග, ගෙඩි වර්ග, අල වර්ග. නිවෙසෙන් එළියට බැස්සත් අපිට අතේ දුරින් කන්න පුළුවන් දේවල් හොයා ගන්න පුළුවන් තරමටම මේ රට වාසනාවන්තයි.

අපේ පැරැන්නෝ පුරාණ වෙදැදුරන් දැක්වූ මඟ ඔස්සේ යමින් ගමේ තමන්ගේ වටපිටාවේ පරිසරයේ හැදෙන වටිනා ඔසු පැළෑටිවලින් ඉතා විශාල ලෙස ශරීර සෞඛ්‍ය වෙනුවෙන් ප්‍රයෝජන ගත්තා.

හැබැයි ඒ දැනුම ගැමි පරිසරයේ හැදුණු බොහෝ දෙනාට තිබුණා. අදටත් ඇතැමුන්ට ඒ අවබෝධය තියෙනවා.

ගමේ උදවිය හොඳින් දන්නා ‘ගහල’ ඉතා ගුණවත් ඖෂධීය ගුණයෙන් පූර්ණ වූ දෙයක්. මෙහි විද්‍යාත්මක නාමය වන්නේ කොලකේසියා ස්කියුලෙන්ටා (Colocasia esculenta) යන්නයි. සිංහල වහරට අනුව ගහල, කඳල, තඳල, මඬල, දෙහි අල කියාද කියනවා.

මෙය ‘ගහල’ වී ඇත්තේ කඳේ ඇතිවන අල යන අර්ථයෙනි. මෙහි ප්‍රභේදයන්ද කිහිපයකි. දණ්ඩ කළු පැහැගත් හා දණ්ඩ සුදු පැහැගත් ආදී වශයෙන් දෙකකි. සරල පත්‍ර සහිත විශාල පැළෑටියකි. මෙහි ජන්ම භූමිය වශයෙන් හැඳින්වෙන්නේ අග්නිදිග ආසියානු කලාපයයි.

මේ වෙද්දී මෙම පැළෑටිය ඉන්දියානු භූමියේ සිට ඊජිප්තුවට ගොස් අද වෙද්දී යුරෝපයෙත් ඇතිවී තිබෙනවා. ඉන්දියාවෙත් ලංකාවෙත් මෙය සුලභව දැකගන්නට පුළුවන්. ජලය රැඳෙන සාරවත් වූ පස මීට ඉතා හිතකරයි.

මෙම අලයේ ඉහළ ප්‍රමාණයක් පිෂ්ටය හා ප්‍රෝටීන අඩංගුයි. කොළ සහ නටුද වෑංජනයක් ලෙස සකසා ගනියි. බොහෝ ගම්වල අලකොළ වෑංජනය කියලත් හඳුන්වනවා.

මෙහි රසායනික සංයුතිය හා ඔසුමය වටිනාකම ගැන වඩාත් පැහැදිලි කරනවා නම් ගහල විටමින් බී බහුල පැළෑටියක්. කැල්සියම්, පොස්පරස් හා යකඩ ගතියෙන් අනූනයි. මෙහි අලය මලපහ කරන ගුණයෙන් යුතුයි. මුත්‍ර වර්ධනය කරවයි. මවුකිරි ප්‍රමාණය වැඩි කරයි. කොළ හා නටුවේ යුෂ ධමනිවලින් ලේ ගැලීම වළක්වන්නට යොදා ගනී. ගහල අලයේ යුෂ අර්ශස්වලට ඉතාමත් ගුණයි. දෙබර හා බඹර විෂටත් ගුණයි. අලය පුලුස්සාගෙන එහි අළු අරන් ඊට මී පැණි මිශ්‍ර කර මුඛයේ උෂ්ණ බිබිළිවලට ආලේප කරන පුරුද්දක් පැරැන්නන් අතර තිබෙන්නේ මෙය පාරම්පරික වෙදකමෙත් ප්‍රබලම දෙයක් නිසයි. තද දම් පැහැති වර්ගයේ කොළ, දඬු, යුෂ, ලුණු සමඟ මිශ්‍ර කරලා ඉදිමුම්වලටද ආලේප කරයි. හිසකෙස් ගැලවී යනවා නම් ඊටත් ගුණයි. කෑම අරුචියට මෙහි අලකොළ මාළුව ඉතා ගුණයි.

මෙය ඖෂධීය ගුණයෙන් බහුල වෑංජනයක් විදියට සකස් කර ගැනීමත් ගුණදායි දෙයක්. ගහල දලු කපාගෙන ඒවා දිනක් තබා හෝ දලු පවනේ වියළා ගෙන ගැට ගසා තබා පිසිද්දී තුනපහ සමඟ දමා දිය කිරෙන් ළිප තබා පසුව බැදගත් තුනපහ සමඟ මිටි කිරි යොදා රසවත් වූ ඖෂධීය වෑංජනයක් සකස් කරගත හැකියි.

බොහෝ කය වෙහෙසූ නුවණැති පැරැන්නෝ මෙම ආහාරය බෙහෙවින් භාවිතයට ගෙන තිබෙනවා. කුඹුරු වැඩ කරද්දී ඇඹුල සමඟ මේ ඔෟෂධීය වෑංජනය වරද්දන්නේ නැහැ. මහන්සි වී වැඩ කරන අයකුට අලකොළ ආහාරය ගැනීම ශක්තිය යළි ලබාගත හැකි දෙයක් කියලයි පාරම්පරික වෙදකමේ සඳහන් වෙන්නේ.

කොහොම වුණත් අර්ශස්වලට ඉතා ගුණ ගහල අල කොළ මාළුව අත්හදා බැලුවට වරදින්නේ නැහැ.

කිරිඅල කියන්නෙත් සාත්තුවක් නොමැතිව ඉබේම වැඩෙන අල වර්ගයක්. වෙල් ආශ්‍රිතව බඩවැටිවල හැදෙන කිරිඅල එදා සිටම ගැමියන්ගේ ජනප්‍රියම ආහාරයකි. අලය, පිත්ත සහ අල කොළ යන මේ ශාකයේ සියලුම කොටස් ආහාරයට ගත හැකිය.

කුඹුරු ආශ්‍රිතව, දිය සීරාව සහිත ගංගා ඇළ දොළ දෙපස වගුරු බිම්වල සුලභව දැකිය හැකි ශාකයක් ලෙස අල කොළ හඳුනාගත හැකියි. අප රටේ සුලබව දක්නට ලැබුණත් ආහාරයට නොගෙන නිකරුණේ අපතේ යන ආහාරයක් වන මෙම අලකොළ ශාකය රසය මෙන්ම ගුණය අතින්ද ඉතාම ඉහළ ආහාරයකි.

පෝෂණ ගුණය

අලකොළවල පවතින ප්‍රතිඔක්ශසිකාරක ගුණය නිසා හදවත් රෝග ඇතිවීම පාලනය ක‍රනවා. අලකොළ යනු රුධිරයේ සහ මොළයේ යහපත් පැවැත්මට අවශ්‍ය  විටමින් K බහුල ආහාරයක්.
ශරීරයට අත්‍යවශ්‍ය විටමින් C,A,E යන විටමින් වර්ග ද අල කොළවල අන්තර්ගත වන අතර එමඟින් හිරුගේ අහිතකර පාරජම්බුල කිරණවලින් සම ආරක්ෂා කිරීමේ ගුණය අලකොල සතුයි. මිනිසුන් වයසට යාමේ ක්‍රියාවලිය වේගවත් කරන විනාශකාරී ප්‍රෝටීනයක් වන ඒ.ජී.ඊ.එස්.(AGEs) හී ක්‍රියාකාරිත්වය නි‍ෙශ්ධනය කර තරුණ බව රැකදීමේ හැකියාව තිබෙනවා.

ශරීරයේ නීරෝගී පැවැත්මට අත්‍යවශ්‍ය යකඩ, කැල්සියම්, පොස්පරස්, සින්ක්, පොටෑසියම්, මැග්නීසියම්, මැන්ගනීස්, සෙලනියම් සහ තඹ ඇතුළු ඛණිජ ලවණ බොහෝ ප්‍රමාණයක් අලකොළවල අන්තර්ගතයි. තන්තු සහිත ආහාරයක් නිසා බඩවැල්වල හිතකර ක්ෂුද්‍ර ජීවීන්ගේ පැවැත්ම තහවුරු කර ආහාර ජීර්ණ පද්ධතිය ආරක්ෂා කරයි. ශරීරයේ අසාමාන්‍ය බර වැඩිවීම පාලනය කරයි.

අලකොළවල අඩංගු ලුටින් සහ සීඇක්සැන්ටින් නම් විටමින් ඒ ප්‍රභේද මඟින් අහිතකර කිරණවලින් ඇස් ආරක්ශා කරයි. පිළිකා අවදානව අවම කරයි.
ශරීරයට අත්‍යාවශ්‍ය ප්‍රෝටින් බොහෝ ප්‍රමාණයක් අලකොළවල අන්තර්ගත වෙලා තිබෙනවා.
රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි. පොටෑසියම් අන්තර්ගත නිසා අධි රුධිර පීඩනයට ද මහඟු ඔසුවකි.
රුධිරය කැටි ගැසීමට ලක් කරන හෝමොසිස්ටීන් මට්ටම සමතුලිත කර රුධිර කැටි ඇතිවීම වළකාලයි. මැග්නීසියම් අන්තර්ගත නිසා ශරීරයේ අශ්ථි පද්ධතිය ශක්තිමත් කර ඔස්ටියෝපොරෝසීස් තත්ත්වයන්ගෙන් ශරීරය ආරක්ෂා කරයි. අලකොළ යනු ශරිරයේ පවතින විෂබීජ විනාශ කළ හැකි ප්‍රබල විෂබීජ නාශකයකි.