වර්ෂ 2025 ක්වූ February 03 වැනිදා Monday
සපරුන්ගේ පලා රජ්ජුරුවෝ මියන
ඉතින් ලේ අඩු වුණු ගමන්, ඇස් යට සුදු වුණු ගමන් අපේ මිනිස්සු මියන හොය හොයා කනවා.
ඔබ පානදුර රත්නපුරේ වංගු පාරේ එහෙට මෙහෙට පැද්දි පැද්දි ගිහින් තියෙයි නම් මම මේ කන්න යන, රසට නෙක ක්‍රමයට උයන්න යන පලාව ගැන දැනගන්න ඕනෑ. කළු ගඟ නිම්නයේ සරුවට හැදෙන මේ පලාවට අපි කියන්නේ මියන දලු කියලා. මියන කියන්නේ මීවනයක්. ගඟ අයිනේ රොන්මඩේ ලස්සනට උඩට එන මේ මීවනය අපිට මාර රස දල්ලක් දෙනවා. ඇත්තටම දිව්‍යලෝක රසක් තමයි දිව උඩ තියලා කාපං කාපං කියන්නේ.
මියන දලු කියලා කියන්නේ මගේ ජීවිතේ එක්ක බැඳුන කෑමක්. අපේ ලොකු අම්මා ජීවත්වුණේ කිරිඇල්ලේ හැරණියාවක කළුගඟ කොමළිය අසල ලස්සන චූටි ගෙදරක. ගේ ඉස්සරැහින් මිදුලෙන් ගඟට බහිනකොට කෙකටිය ගාල් එක්ක හරි හරියට තරගයට ලස්සනට හිනා උනේ, අනේ මාව කන්නකෝ කියලා අපි එක්ක කතා කළේ මියන ගස්. මියන දලු.
බැලූ බැල්මට මේකත් ඔය කැරැන් කොකු බරකොකු ඩෙංකුටු වගේ නම්වලින් හඳුන්වන මීවන ජාතියක්. හැබැයි මේ සේරටම වඩා රස රජ්ජුරුවෝ තමයි මියන කියන්නේ. ලංකාවේ කන්න පුළුවන් පලාවන් 255ක් විතර තියෙනවා කියලා කියනවා. මම මේ ළඟදි දවසක ඒ ලිස්ටුව කියවලා බැලුවා. ඒ ගොඩක් රස මම විඳලා තියෙනවා. හැබැයි ඒ රස අස්සේ මියන රස කියන්නේ පලා රස රජ්ජුරුවෝ කියලා මට නම් බය නැතුන් කියන්න ඇහැක්.
කළු ගඟට රත්නපුරේ නගරයට උඩින් සහ පහළින් වැටෙන වේ ගඟ, හංගමු ගඟ අතර නිම්නයේ ජීවත් වුණ අපිට හැමදාම එක එක විදිහට මියන දලු කන්න පුළුවන් වුණා. පානදුර - රත්නපුර පාරේ ඉංගිරිය සහ රත්නපුර අතර කෑල්ලේ පාර අයිනේ මියන දලු තියාගෙන ජීවිතේ රැකගන්න වෙහෙසෙන මියන යුවතියන් ඕනෑතරම් ඉන්නවා. ඒ තරමට මේ දල්ලට සපරුන්ගේ දිව හුරුයි. අද වෙනකොට මහරගම පොළේ, දෙල්කඳ පොළේ, හොරණ, මතුගම වගේ නගරවලත් මම මියන ඕසෙට දැකලා තියෙනවා. ඒ නිසා මෙහෙම මියන ගැන කයි ගැහුවට කමක් නෑ.
සපරුන්ගේ පළාතේ ඇති ප්‍රධාන මල්වතු-සියම් විහාරස්ථාන පහෙන් එකක් කියලා කියන කිරිඇල්ලේ නැඳුන් රජ මහා විහාරයට නුවර රජ්ජුරුවෝ අක්කර 12000ක ඉඩමක් පරිත්‍යාග කරලා තියෙනවා කියලා ඉතිහාසය කියනවා. මේ විහාරයේ වැඩ හිටිය කරඳන දේව රක්ඛිත හාමුදුරුවෝ මුතුවන් අකුරින් ධර්ම ග්‍රන්ථය ලියා දීම ගැන රජ්ජුරුවෝ සතුටට පත්වෙලා දේව රක්ඛිත හාමුදුරුවන් ට ව්‍යංජනයට ‘මියනදළු’ කඩා ගන්න තමයි මේ නින්දගම දීලා තියෙන්නේ. ඉතිං හිතන්නකෝ රත්නපුරේ මිනිස්සු අතීතයේ ඉඳලා මියන කාපු කෑම ගැන..!
අපේ අම්මලා බදාදා, සෙනසුරාදා, කෙම්මුර දවස්වලට මියන කැඩුවෙවත් කෑවෙවත් නෑ. ඒකට හේතුව මියන කියන්නේ මාංසයක් කියලා ඔවුන් හිතපු එක. ලේ තියෙන පලාවක් කියලා තමයි කීවේ. මියන කොක්කක් ටක්ස් ගාලා දෙකට කැඩුවාම එන සුවඳ ටිකක් ලේ සුවඳට කිට්ටු නිසා මේ අදහස ආවා වෙන්න පුළුවන්. ඉතින් ලේ අඩු වුණු ගමන් ඇස් යට සුදු වුණු ගමන් අපේ මිනිස්සු මියන හොය හොයා කනවා. ඇත්තටම මියන දලු කෑවාම ලේවල රතු රුධිරාණු උඩ යනවා බලාගෙන ඉන්නැද්දී.. මියන කියලා කියන්නේ පෝෂණයෙන් ඉහළ ලෙඩ රෝග ගොඩක හොය හොයා කන පලාවක් කියන එක මතක තියාගන්න.
මියන දලු මාළුව
රත්නපුරේ අපි කරියට නැත්තම් ව්‍යංජනයට කිව්වේ මාළුව කියලා. ඉතිං මියන දළු හැමවෙලාවෙම අපි කෑවේ මාළුව විදිහට. මම මුලින්ම කීවනේ මේක අපි මසක් මාංශයක් විදිහට තමයි සැලකුවේ කියලා. ඉතින් කළුවට කළුවේ දඩමස් හදන්නැහේ තමයි හැදුවේ.
මුලින්ම මියන දලු මිටිය හොඳට සෝදලා කපාගෙන, නැත්තං අතේ ටකස් ටකස් කඩාගෙන, මිරිස් තුනපහා කබලේ දාලා කරකරලා කැස්ස එනකොට බාලා, ඒක මියන දලු උඩට දාලා, කහ, රතු ළූනු, සුදු ළූණු කරපිංචා ගම්මිරිස් උළු හාල් උම්බලකඩ හිතේ හැටියට දාගෙන, කලවම් කරගෙන, ඒකට පොල් කිරි උකුවට ඕසෙට දාගෙන, ගොජ ගොජ ගාලා හෙමින් හෙමින් උතුර උතුරා හිඳෙන්න තමයි හැදුවේ.
මෙහෙම ලැසි ගමනේ හදලා සුවඳ හමන වෙලාවට හොද්ද උඩ නැත්තන් බොරය උඩ තෙල් කට්ට පෑදීගෙන එනකොට බාගත්තා නම් ඉතින් රුවන්වැලිය වගේ බත් කන්දක් කන්න පුළුවන්. මෙහෙම උයලා ඒක තෙලට දාලා ගත්තාම මේ රස දෙගුණ වෙනවා.
චාව් ගාලා මියනේ තෙලට විසි කරන්න කලින් තෙලට දාගන්න ඕනෑ වේළපු මිරිස් කරලක් දෙකක් ලුණු වතුරේ සනහපු. ඒකට ඊළඟට දාගන්න ඕනෑ අබ. අබ නම් ඉතිං කබලේ සුටු සුටු ගාලා පුපුරන්න බැදගෙන ඒක නෑබිලියේ පොඩි කරලා මේ තෙල් එකට විසිකරලා ගත්තා නම් රසත් හොඳයි සුවඳත් හොඳයි.
සුදුලූනු, ලොකු ලූනු කපලා ඒක රන්වනට හැරෙන කොට තමයි මියන මාළුව ඒකට දාලා එහෙට මෙහෙට විසිකරලා කලතලා සනහලා ගන්න ඕනෑ. රතු බත් මරන්න පුළුවන්. රෝස් පාන් මරන්න පුළුවන්. එතකොට රොටී..!
මියන ඌරා
අපි ඉතිං අපේ ජීවිතේ වැඩි හරියක් මියන දළු කෑවේ ඔය උඩින් ලියපු ක්‍රමයට තමයි. ඒත් මම උයන්න පටන් ගත්තාම මම එක එක ක්‍රමවලට මේක උයලා බැලුවා. මොකද උයනවා කියන්නේ කලාවක්. හැම කෑමක් අස්සෙම රස කතාවක් තියෙනවා. ඉතිං රස කතාවක් කියනවා වගේ වැඩක් තමයි උයනවා කියලා කියන්නේ. සමහරු උයනකොට ගම් හතකට සුවඳයි. ඒ වගේම රසයි. අපි කියනවා ඒක අත් ගුණය කියලා. ඔව් ඒක ඇත්ත. එහෙම උයන්න හේතුව තමයි ඔහු රස කතාකාරයෙක් වීම.
ඉතිං මට දවසක් හිතුනා ඌරුමස් එක්ක මියන උයන්න ඕනෑ කියලා. මොකද මම ඒ වෙනකොට නිවිති ඌරා කාලා තිබුණා. නිවිති ඌරා සෝයා සාරුවේ තැවරිලා ආවට මට හිතුනා අපේ සාම්ප්‍රදායික මියන මාළුවට ඌරු මස් සීරුවට පෙත්තට කපලා දාලා උයලා කාලා බලන්න. අම්මෝ ඒකේ රස. පට්ට පදුරු රසයි.
ඔබටත් මෙහෙම මියන ඌරා උයන්න ආසනම් උඩ ක්‍රමයට ඌරා ළිපේ තියලා ඒක රස්නේ ගොජ ගොජ ගානකොට මියන දළු ඒකට එකතු කරගන්න විතරයි තියෙන්නේ. මස් හොඳට තැම්බුනාට පස්සේ මියන දළු ඒකට දැම්මාම මියනේ කොළට කොළේ හිනාවෙලා තමයි අපිට රස දෙන්නේ.
මියන කිරි හොද්ද
අපේ අම්මා කිරි හොදි හදන්නේ හරි අපූර්ව ක්‍රමයකට. උන්දැට අඩුම පොල් ගෙඩියක්වත් තියෙන්න ඕනෑ කිරි සොද්දක් හදන්න. දිය කිරි එහෙම ගන්නේ නෑ. මිටි කිරි පමණයි. ඉතිං කහ ගානට පදමට දාලා ඒකට කොළ මිරිස් ඕසෙට දාලා රතු ළූණු සුදු ළූණු ලොකු ළූණු පදමට දාලා උළු හාල් මිටක් දාලා රම්පේ කරපිංචා එක්ක උම්බලකඩ අහුරක් දාලා තමයි මේ හොද්ද හැදිගාන්නේ. ලුණු හරියට පදමට දැම්මාම කිර කැටි ගැහෙන්නේ නෑ කියලා තමයි අම්මා කියන්නේ. ඉස්සර අපි කොස් කන්නෙම මේ කිරි හොද්දේ පා කරලා.
ඉතිං මට හිතුනා සුමිහිරි මේ කිරි හොද්දට, ඇත්තටම අපි ආදරේට කීවේ සොද්ද කියලා, මේ සොද්දට මියන දළු මිටක් දාලා බලන්න. අම්මෝ ඔයාලත් දාලා කාලා බලන්න. ආස හිතෙයි!. කිරි හොද්ද හොඳට උතුරනකොට දාගත්තා නම් කොළට කොළේ මස් වගේ චරස් චරස් ගාලා හැපෙන මියනේ දිවට දෙන්නේ පුදුම සැපක්..!
මේ විදිහටම ඌරුමස් ස්ටූ හදනකොට හරක් මස් ස්ටූ හදනකොට මියන දළු එක්කාසු කරගන්න පුළුවන්. ඒක මාර රස රසායනයක්. ඒ වගේම ඔය මස්වර්ග ටිකක් පැණි රසට සෝයා සාරුත් එක්ක සමන්නලා එහෙම නැත්තං තක්කාලි සාරු එක්ක සමන්නලා බයිටට හදාගන්නකොට චරස් ගාලා හැපෙන්න ඒකට මියන දළු ටිකක් දාගෙන බලන්න. පුදුම බයිටක් වෙයි ඒක.
මේ කොළය ඒ තරමට ඕනෑම මසකට ගහට පොත්ත වගේ සෙට් වෙනවා. ඇත්තටම එහෙම සෙට් වෙන්න පුළුවන් කොළ ජාති අතරේ මියන කියන පළාව මුදුනේම රජ්ජුරුවෝ වගේ හිනාවෙලා ඉන්නවා කියලා මට බය නැතුව ඔයාලට කියන්න පුළුවන්.
ඉතිං කෑමවල රස තියෙන්නේ ඔයාගේ අතේ. වට්ටෝරු කියන්නේ වැඩක් නැති දෙයක්. ඔයා කතාකාරයෙක් නම් ඔයාට එක එක රසට එක එක සුවඳට දිව නැළවෙන හිත සැනහෙන කෑම උයන්න පුළුවන්. කෑම කියන්නේ අපි සතුටු වෙන එක විදිහකට. පවුලක් ගත්තොත් රසට කෑම කනවා නම් ඒ පවුල සතුටින්. රස කෑමක් කියන්නේ රස කතාවක්.
ඉතිං මේ කෑම හදලා බලන්න. අලුත් අලුත් ජාති හදන්න ට්‍රයි කරන්න. එහෙම කරලා පහළ ඊමේල් එකෙන් මටත් ඒ ගැන කියන්න.