සීතල දෙසැම්බරය වර්ණවත් කරන Sweets

දෙසැම්බර් 16, 2024

දෙසැම්බර් මාසේ ඇවිත් තවත් අවුරුද්දක් ඉවර වෙන්න ඔන්න මෙන්න. ලංකාවෙ අපිට ඍතු භේදය බලපාන්නේ නැති වුණත් දෙසැම්බර් මාසේ අපි හැමෝම කැමති මාසයක්. පොඩිත්තො නම් මේ කාලෙට ගොඩක් කැමතියි ඉස්කෝලේ නිවාඩුවත් ලැබෙන නිසා.

හැමදෙයක්ම අතරින් නත්තල් කෑම මේසයට හිමිවෙන්නේ විශේෂ තැනක්. පවුලේ හැමෝම එකතු වෙලා එකට ඉඳගෙන රස විඳින මේ රස කැවිලි භෝජන සංග්‍රහය සීතල දෙසැම්බරයේ විශේෂම භෝජන අවස්ථාව කියලා කියන්නත් පුළුවන්. ඉතින් ඒ වර්ණවත් වූ රස කැවිලි කෑම මේසයට එකතු කරගන්න පුළුවන් විදිහේ නත්තල් තේමාවට හොඳින්ම ගැළපෙන රස කැවිලි කීපයක් තමයි මේ.

උපදෙස්

ප්‍රවීණ සූපවේදීනී

සර්වදර්ශනී අප්සරා

 

ක්‍රිස්මස් ජෙලි කැන්ඩි

අවශ්‍ය ද්‍රව්‍ය

රස නොගැන්වූ ජෙලි

කැමැති වර්ගයකින් පලතුරු යුෂ

සීනි (අවශ්‍ය පමණ)

ලෙමන් යුෂ

 

සාදන ක්‍රමය

බඳුනක් ගෙන ජෙලටින් සහ සීනි, පලතුරු යුෂ එයට දමන්න.

විනාඩි පහක් පමණ රත් කර උෂ්ණත්වය අඩු කරන්න.

ජෙලටින් දිය වූ පසු ලෙමන් යුෂ එකතු කරන්න.

 

විවිධ හැඩයේ අච්චුවලට දමා ශීතකරණයේ තබන්න.

-------------------------

කැන්ඩි මින්ට්ස්

 

අවශ්‍ය ද්‍රව්‍ය

අයිසිං සීනි කෝප්ප 1ක්

ටින්කිරි මේස හැඳි දෙකක්

පෙපර් මින්ට් රසකාරක තේ හැඳි එකක්

කොළ පාට වර්ණ තේ හැඳි 01ක්

අයිසිං සීනි, ටින්කිරි, පෙපර් මින්ට් රසකාරක බඳුනකට දමන්න. ඉන්පසුව කොළ පාට හෝ ඔබ කැමැති වර්ණයකින් තේ හැන්දක් ද එකතු කර ගන්න.

වේගයෙන් බීට් කරන්න. විනාඩි කිහිපයක් හොඳින් මිශ්‍ර වනතුරු බීට් කරන්න.

විවිධ ආකාරයේ අච්චුවලට දමන්න.

පැය 24 ක් පුරා ශීතකරණයේ තබන්න.

------------------------------

Christmas Tree Cookies

අවශ්‍ය ද්‍රව්‍ය

බටර් හෝ මාගරින් කෝප්ප 1/2ක්

අයිසිං සීනි කෝප්ප 2ක්

කිරි මේස හැඳි 2ක්

ගාගත් පොල් කෝප්ප 3ක්

වැනිලා තේ හැඳි 1/2ක්

කොළ පාට කලරින්

 

සැරසීමට

චොකලට් චිප්ස් කෝප්ප 3/4ක්

බටර් හෝ මාගරින් තේ හැඳි 1ක්

කිරි මේස හැඳි 1ක්

mini M & M (smarties)

 

සාදන ක්‍රමය

 භාජනේකට බටර් දමා ඩබල් බොයිල් කර මෙල්ට් කර ගන්න. එයට අයිසිං සීනි, කිරි, පොල් සහ වැනිලා අවශ්‍ය පමණ කලරින් දමා හොඳින් මිශ්‍ර කර ගන්න.

එම මිශ්‍රණයෙන් කුඩා බෝල කඩාගෙන අතේ තබා රෝල් කර කෝන් එකක් ආකාරයට සාදාගන්න.

කේක් තැටියකට පාච්මන්ට් පේපර් එකක් දමා එය මත සාදා ගත් කෝන් තබා පැය 2 - 3ක් ශීතකරණයේ යට කොටසෙහි හෝ ෆීසර් එකේ විනාඩි 45ක් තියන්න.

චොකලට් ටික මෙල්ට් කර ගන්න. එයට බටර් සහ කිරි දමා අඩු ගින්දරේ හැඳි ගාන්න.

ඉන්පසු සාදා ගත් කෝන් උඩට වක් කර ගන්න. හිම වගේ පෙනෙන්න.

ඒ මත mini M&M හෝ smarties තබා හැඩකර ගන්න. නැවත පිළිගන්වනතුරු ශීතකරණයේ තියන්න.