වර්ෂ 2024 ක්වූ December 30 වැනිදා Monday
කිරි උතුරන නව වසරට මෙන්න වෙනස්ම කිරිබත්
වර්ෂ 2025 වාසනාවේ සෞභාග්‍යයේ සුබ අලුත් අවුරුද්දක් වේවායි තරුණී අප ඔබට පළමුව සුබ පතන්නෙමු. හා හා පුරා කියා නව වසරේ කිරිබත් අඩංගු කෑම වට්ටෝරු කිහිපයක් අපි ඔබට තිළිණ කරන්නෙමු.
මේවා අතරින් ඔබ කැමැති අාකාරයේ කිරිබත් වර්ගයක් සාදා ආදරණීය නිවැසියන් අසල්වැසියන් සමඟ නව වසර උදාවත් සමරන්න පුළුවන්. ඒ වගේම ඔබගේ රැකියා ස්ථානයට ගෙනියන්නත් සුදුසුයි. සාමාන්‍ය කිරිබත්වලට වඩා විශේෂ ද්‍රව්‍ය එක්කර සාදන කිරිබත්වලට අපේ පොඩිත්තන් නම් හරිම කැමතියි. ඔබ දන්නවා කිරිබත් හදන්න ප්‍රධාන වශයෙන් යොදා ගන්නා කැකුළු සහල් කියන්නේ සෞභාග්‍යයේ සංකේතයක්. ඒ සෞභාග්‍යයේ වාසනාව ඔබේ නිවෙසේ කෑම මේසය මතට ගෙන එන්න ඔබට පුළුවන් වේවි. වසරම ඔබට සුබ වේවි.
සිංහල කිරිබත
සුදු හෝ රතු කැකුළු සහල් කිලෝ 01ක්
මිටි කිරි අඬු කෝප්ප 06ක්
අවශ්‍ය පදමට ලුණු
අවශ්‍ය තරමට වතුර
01. සහල් හොඳින් සෝදාගන්න. එයට අවශ්‍ය තරමට (සාමාන්‍යයෙන් අතේ මැද ඇඟිල්ලේ දෙවැනි පුරුක ළඟට එන තුරු) වතුර තියන්න. අවශ්‍ය පදමට ලුණුද එයටම එකතු කර බත හොඳින් පිසගන්න.
02. හොඳින් බත පිසී අවසන් වූ පසු එයටම කිරි ටික දමා හොඳින් කලවම් කරන්න.
03. පිසුණු බතට හොඳින් කිරි අල්ලා ගත් පසු බන්දේසියකට දමා තුනී කර නිවෙන්නට හරින්න.
04. නිවුණු පසු කිරිබත් හැඩයට කපා සුදුසු බඳුනක තබා කෑම මේසෙට තබා පිළිගන්වන්න.
හකුරු කිරිබත
සුදු කැකුළු සහල්
ග්‍රෑම් 500ක්
මිටිකිරි කෝප්ප 03ක්
හකුරු ග්‍රෑම් 250ක්
වියළි මිදි ග්‍රෑම් 50ක්
අවශ්‍ය තරම් වතුර
රස අනුව ලුණු
01. පළමුව හකුරු ටික සිහින්ව ලියා පැත්තකින් තබාගන්න. වියළි මිදි සෝදා පසෙකින් තබන්න.
02. දැන් සාමාන්‍ය පරිදි කිරිබත සාදාගන්න.
03. කිරිබත ළිපෙන් බා ගැනීමට විනාඩි පහකට පමණ පෙර සිහින්ව ලියා පසෙකින් තබාගත් හකුරු ටික එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. ළිපෙන් කිරිබත ඉවත් කරගෙන බන්දේසියකට දැමීමට පෙර එයට සෝදාගත් මිදි ටිකද එකතු කර කලවම් කරන්න. බන්දේසියට දමා තුනී කර කිරිබත් හැඩයේ කෑලිවලට කපාගෙන මේසයට පිළිගන්වන්න.
04. හකුරුවල රසයට මෙන්ම මිදිවලටත් කුඩා දරුවන් ආසා කරන නිසා හකුරු මිශ්‍රණය කිරිබත ඔවුන් ආසාවෙන් රස බලාවි.
මුං කිරිබත
කැකුළු සහල් ග්‍රෑම් 500ක්
මුං ඇට ග්‍රෑම් 100ක්
අවශ්‍ය තරමට ලුණු
මිටිකිරි අඬු කෝප්ප 2/3ක් පමණ
01. මුං ඇට ටික ගරා හොඳින් සෝදා වතුර බේරෙන්න තියන්න.
02. මඳක් කබලේ බැදගන්න. එවිට කිරිබත් සෑදූවිට හොඳින් සුවඳ දැනේ.
වතුර දමා මුං ඇට ටික තම්බා ගන්න.
03. සහල් ටික හොඳින් සෝදා එයට වතුර දමා බත පිස එයට තම්බාගත් මුං ඇට සහ ලුණුද එක්කර ගන්න. මිටිකිරි එකතු කරගන්න.
04. වරින් වර හොඳින් කලවම් කරමින් කිරිබත්වලට මුං ඇට හොඳින් එකතු වන තෙක් මඳ ගින්දරේම ළිපේ තබා කිරිබත සාදා ගන්න.
05. බන්දේසියකට දමා තුනී කර කිරිබත් හැඩයට කපා පිළිගන්වන්න.
උම්බලකඩ මිශ්‍ර ලුණු මිරිස් හෝ මාළු ඇඹුල් තියල් මුං කිරිබත්වල රසය තවත් වැඩි කරාවි.
මාබල් කිරිබත
සහල් කිලෝ එකකින් සාදා ගත් කිරිබතක්
රෝස, දම්, කහ වර්ණක
01. සාදාගත් කිරිබත් උණුවෙන්ම කොටස් තුනකට වෙන් කර ගන්න.
02. එක් කොටසක් කැමැති නම් කිරිබත් පාටින්ම තබා ඉතිරි කොටස් සඳහා රෝස,දම්,කහ වර්ණක දමා වෙන වෙනම හොඳින් කලවම් කරගන්න.
03. බන්දේසියක් ගෙන එහි තැනින් තැන පාට සිටින සේ සාදාගත් කිරිබත් දමා ලස්සනට තුනී කරගන්න.
04. හොඳින් නිවුණු පසු වර්ණ කිහිපයකින් යුතු වර්ණවත් කිරිබත් කැබැලි කපා ගත හැකියි. විසිතුරු අන්දමින් බඳුනක අසුරා කෑම මේසයට පිළිගන්වන්න. කෙසෙල් ගෙඩි හෝ කිතුල් හකුරු සමඟ මේ මාබල් කිරිබත් කන්න පුංචි දරුවන් ගොඩක් කැමති වේවි.
ඉඹුල් කිරිබත
හොඳින් සාදාගත් කිරිබත්. (මෙය නිවෙන්නට දෙන්න එපා.)
පැණි පොල් (පොල් බෑයක පමණ) සීනි ග්‍රෑම් 200ක් හෝ හොඳ පොල් පැණි බෝතල් 1/2ක් පමණ
එනසාල්
කරල් 02ක්
කරාබු නැටි 2ක්
වතුර කෝප්ප 1/2ක්
ලුණු අවශ්‍ය තරමට
පළමුව පිරවුමට අවශ්‍ය පොල් පැණි සාදා ගනිමු.
01. භාජනයකට සීනි ටික දමා ළිප තබා රන්වන් පැහැ වනතුරු උණු කර ගන්න. පැණි නම් රත් කර ගන්න.
02. මෙයට වතුර කෝප්ප භාගයක් දමා හොඳින් උණු කර ගන්න. ලුණු, එනසාල්, කරාබුනැටි එකතු කර අවසානයේ ගාගත් පොල් ටිකත් එකතු කරන්න.
03. පැණි ටික පොල්වලට හොඳින් උරාගන්නා තෙක් ළිප මතම තබා ඉන්පසු ළිපෙන් බාගන්න.
ඉඹුල් කිරිබත් සාදාගන්නේ මෙහෙමයි.
01. කෙසෙල් කොළයක් ගෙන එයට පොල් කටු හැඳි එකක පමණ කිරිබත් ප්‍රමාණයක් දමාගන්න. ඒ හැන්දෙන්ම ටිකක් තුනී කර ගන්න. පීරිසියක් වැනි රවුමක් වුවත් මේ සඳහා පාවිච්චි කළ හැකියි.
02. සාදාගත් පැණි පොල් මේස හැඳි එකක් පමණ දමන්න.
03. මෙය දෙකට නමා රෝල් කර හැඩ කර ගන්න. මේ අයුරින්ම අවශ්‍ය තරමට සාදාගත හැකියි. ඉඹුල් කිරිබත් පැණි රසයෙන් යුතු නිසා කෑමට වෙනත් දෙයක් අවශ්‍ය නැත.
උපදෙස්
Fun City Caters & Academy හි
ප්‍රවීණ සූපවේදිනී
සුනේත්‍රා ඒකනායක