වර්ෂ 2025 ක්වූ June 23 වැනිදා Monday
සුපිරි කැකිරි මෙෙහම කමු

කැකිරිවල අපි නොදන්නා විශ්මිත ගුණ සමුදායකි.
එහෙත් එළවළු අතරින් බොහෝ දෙනෙක් කැකිරි ආහාරයට ගැනීමට අකමැති බව කාටත් නොරහසකි. එහෙත් කැකිරිවල තිබෙන සුවිශේෂී ඔසු ගුණ දන්නා අයෙක් නම් කැකිරි කැමැත්තෙන් ම ආහාරයට එක්කර ගනීවි. කර්කෝටකී නම් වූ සකු නාමයෙන් හඳුන්වන කැකිරි උෂ්ණ ප්‍රදේශයන්හි වගා කරන ශාකයක් වුවත් සිසිල් දේශගුණයන්හි ද වගා කළ හැකිය.
* කාබෝහයිඩ්රේට්, මැග්නීසියම්, පොටෑසියම් තන්තු ආදී පෝෂ්‍ය පදාර්ථ රැසක් මෙහි අඩංගු ය.
* දිනකට කැකිරි ග්‍රෑම් 2.5ක් ආහාරයට ගන්නේ නම් සිරුරට යකඩ හා මැග්නීසියම් අවශ්‍යතාව සපුරයි.
* කැකිරි යනු මේදය රහිත ජලය සහිත ඵලයකි.
* වාතය, සෙම සමනය කරයි.
* පණු රෝගවලට ගුණදායක යි.
* මල බද්ධය වළකයි.
* ආහාර රුචිය වඩවයි.
* දියවැඩියාව, අධි රුධිර පීඩනය වළකයි.
* හෘදයාබාධ වළක්වයි.
* මුත්‍රා දැවිල්ල, මුත්‍රා අඩස්සිය ආදී මුත්‍රා රෝගවලට සහනයක් ගෙන දේ.
* අධික පිපාසය, නින්ද නොයාම, හිසේ අමාරු ආදියට එරෙහිව ක්‍රියා කරයි.
* වකුගඩු රෝග, අම්ල පිත්ත රෝග හා පුරස්ථි ග්‍රන්ථි රෝග ඇතිවීම පාලනය කරයි.
* ලවණ අධික කිවුල් ජලය පානය කිරීම නිසා ඇතිවෙන මුත්‍රා ආශ්රිත රෝග හා වකුගඩු ගල් සෑදීම ආදී උවදුරුවලින් ශරීරය ආරක්ෂා කරයි.
* මුත්‍රාශ ගල් දිය කිරීමේ සුවිශේෂ ගුණයක් සහිතය.
* පිළිකා ප්‍රති ඔක්සිකාරක ගුණයක් සහිතය.
අතීතයේ ගැමි කාන්තාවන් පොල් කිරි වෙනුවට කැකිරි ඇට අඹරා ඇල්දියෙන් මුසු කොට ව්‍යාංජන පිසගත්තේ මෙම ගුණ ප්‍රායෝගිකව දැන සිටි නිසාවෙනි. එම නිසා ඔවුන්ට බෝ නොවන රෝග වැලදීමේ අවදානම ඉතාම අඩු තත්ත්වයක පැවතිණි.
දේශීය ආහාර රටා හඳුනාගෙන ඒවාට හුරුවන්නේ නම් අතීතයේ මෙන්ම අනාගත පරපුරේ ද නීරෝගි බව සුරක්ෂිත කළ හැකි වනවා නොවේද ?
විටෙක තද වැසි ද තවත් දිනක ඉතාමත් තද රස්නයක් ඇති වෙමින් මේ දිනවල හිටි හැටියේම සිදුවන දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට ඔබටත් මටත් සිදු වී තිබෙයි.
මෙවැනි අවස්ථාවලදී අපගේ ශරීරය ද එම දේශගුණික තත්ත්වයට අනුව වෙනස් වෙයි. ඒ අයුරින් ඇතිවන ශාරීරික වෙනස්වීම් පාලනය සඳහා සුදුසු ආහාර පාන වර්ග පිළිබඳව අප දැනුම්වත් වී සිටීම බෙහෙවින් වටී. එවැනි අවස්ථාවක වුව කැකිරිවල වටිනාකම අපට සිහිපත් වේවි.
සීනි කැකිරි
උණුසුම් කාලයේදී ආහාරයට ගත යුතු ආහාරයක් ලෙස සීනි කැකිරි හඳුන්වාදීමට පුළුවන්. අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ ආහාර වේලට නැතිවම බැරි රසවත් පලතුරක් ද විය. ශරීරයේ උෂ්ණය අඩු කරන මුත්‍ර කාරක ගුණයෙන් යුක්ත වන මෙන්ම විෂහරණය ගුණයෙන් ද සමත් වන ශරීරයේ තත්ත්වය පාලනය කරන අපූරු පලතුරකි. රෝග බොහොමයකින් අපව ආරක්ෂා කර ගැනීමේ ගුණයෙන්ද යුක්ත සීනි කැකිරි අතුරුපසක් සහ පානයක් ලෙස සකසාගත හැකිය.
සීනි කැකිරි පානය
1. ක්‍රමය
මුලින්ම සීනි කැකිරි ගෙඩියේ පිට පොත්ත ඉවත් කර සෝදාගන්න. ඉන්පසු එහි ඇති ඇට ඉවත්කර කුඩා කැබැලිවලට කපා ඉන්පසු හොඳින් බ්ලෙන්ඩ් කරන්න. අවශ්‍ය පමණට ජලය එක් කරගන්න. ඉන්පසුව එම මිශ්‍රණයට සීනි හා ලුණු අවශ්‍ය පමණට දමා ගන්න. දෙහි ගෙඩියක යුෂ ද ඊට එක් කොට රසවත් පානයක් සකසා ගන්න. මෙම පානයට අයිස් කැට කිහිපයක් එකතු කර වඩාත් රසවත් කර ගත හැකිය.
2. ක්‍රමය
සීනි කැකිරි ග්‍රෑම් 400ක්
බීට්රූට් හෝ කැරට් ග්‍රෑම් 200ක්
නිවාගත් වතුර කෝප්ප 4ක්
සීනි ගෑම් 75ක්
ලුණු ස්වල්පයක්
සාදන ක්‍රමය:-
සීනි කැකිරි හොඳින් සෝදා පොතු ඉවත් කර කැබැලිවලට කපාගන්න. එයට නිවාගත් උණුවතුර කෝප්ප තුනක් ද දමා හොඳින් බ්ලෙන්ඩර් කර පෙරාගන්න. බීට් රූට් හෝ කැරට් සුද්දකර සෝදා කුඩා කැබලිවලට කපා ඉතුරු වතුර කෝප්පය ද ඊට දමා එය ද හොඳින් බ්ලෙන්ඩර් කර පෙරාගන්න. ඉන්පසු වීදුරුවක් ගෙන එයට සීනි කැකිරි යුෂ 4/3ක් දමන්න. ඉතිරි 4/1 බීට්රූට් කැරට් යුෂ එක් කර ගන්න. එහිදී ඔබට අලංකාර පෙනුමකින් යුක්ත කැකිරි යුෂ පානයක් සකස් කරගත හැකිය.
එසේම හොඳින් ඉදුණු සීනි කැකිරි ගෙඩියක් ගෙන පොත්ත ඉවත් කොට සෝදා කපාගෙන එහි ඇට ඉවත් කරන්න. ඉන් පසුව කුඩා කැබැලිවලට කපා භාජනයකට දමන්න. සීනි, ගාගත් කිතුල් හකුරු එසේ නොමැතිනම් කිතුල් පැණි වර්ගයන්ගෙන් එක් වර්ගයක් එයට එකතු කර ඊට දෙහි යුෂ ස්වල්පයක් හා ලුණු එක් කොට කවලම් කරගන්න. මෙය ඉතාමත් රසවත් අතුරුපසකි. සීනි කැකිරි ආහාරයට ගැනීම නිසා මානසික ආතතිය දුරු වෙයි. එසේම වකුගඩු ආශ්රිත රෝග සමනය කිරීම, ශරීරයේ දාහය නැති කිරීම, ශරීරයේ පවතින උෂ්ණාධික බව නිසා හටගන්නා මුත්‍රා ආසාදන, මුත්‍රා අඩස්සිය, ආදී රෝග තත්ත්වයන් දුරු කිරීම, රුධිරය පිරිසිදු කිරීම, අධික රස්නය නිසා ඇතිවන හිසරදය දුරු කිරීම, පිපාසය සංසිඳුවීම, සිදු කරයි. විශේෂයෙන්ම ජලයේ ඇති බයිකාබනේට් වකුගඩුවල රැඳීමට ඉඩ නොදී බැර ලෝහ ලෙස ඉවත් කිරීමේ හැකියාව ද සීනි කැකිරි සතුව පවතී. ස්වභාව දහමින් කාලයට ගැළපෙන අයුරින් ආහාරයට ඉතාමත් ගුණදායක ආහාරයක් වන සීනි කැකිරි ගුණ නොනසා ආහාරයට එක් කරගත යුතුය. කැකිරි කිව්වාම හරිම රසට උයාගන්න පුළුවන් එළවළුවක්. සුදට උයාගන්න පුළුවන් /මස් වගේ උයාගන්න පුළුවන්.
මේ තියෙන්නේ මස් වගේ හදා ගත් කැකිරි කරියක්.
කැකිරි කරි
01. මුලින් කැකිරි ගෙඩියක් අරගෙන ඒකෙන් සමාන්‍ය ප්‍රමාණයට කැබැලි කපාගන්න.
02. ඉන් පසු එකට කහ ටිකක් /මිරිස් කුඩු ටිකක් /අමුතුනපහ ටිකක් /බැදපු කරි පවුඩර් ටිකක් හා රස අනුව ලුණු දමා හොඳින් මිශ්‍ර කරන්න.
03. භාජනයක් අරගෙන එයට ගා ගත් පොල් මිටක් /කරපිංචා කොළ ටිකක් /සූදුරු ටිකක් /වේළිච්ච මිරිස් කරල් කිහිපයක් /කුරුඳුපොතු කෑල්ලක් හා කරඳමුංගු ඇට 2-3ක් දමා හොඳින් කබලේ බැද ගන්න.
පසු එය හොඳින් බ්ලෙන්ඩර් කර කැකිරි මිශ්‍රණයට කලවම් කරන්න.
04. භාජනයක් අරගෙන එයට තෙල් ටිකක් දමා රත් වූ පසු එයට අබ ටිකක් දමා බැදෙන්නට හරින්න.
පසු එයට තළා ගත් සුදුලූනු ටිකක් දමා බැදෙන්නට හැර කපා ගත් ලූනු /අමුමිරිස් /කරපිංචා දමා හොඳින් මිශ්‍ර කරන්න.
05. පසුව කැකිරි ටික දමා හොඳින් මිශ්‍ර කර ටික වේලාවක් තියා ගෙන අවශ්‍ය ප්‍රමාණයට වතුර දමා උයාගන්න. ගොරකා කෑලි 2කුත් දමා ගන්න.
06. කැකිරි ටික හොඳින් පිසීගෙන එන විට එහි වතුර ගතිය හිඳී ගිය පසු පොල් කිරි ටිකක් දමා කැකිරි කරිය උකු වන තුරු උයාගන්න.