සිනහවෙන් කියැවෙන ඉඟි තේරුම් ගෙන ලස්සනට ජීවත්විය හැකියි

මැයි 19, 2021

කොක් හඬලා සිනහ වීමේ රහස අවංක බවේ ප්‍රතිමූර්තියයි.

මඳ සිනහවක් දක්වන්නේ නම් ඇය ඉතාම සංවේදී, මානුෂික හැඟීම්වලින් යුක්තයි.

යුවතියකගේ යටි තොල නා දලුවන් නම් යුග දිවිය රසවත්

 

සිනහවෙන් ලොවක් වසඟ කළ හැකි යැයි කියමනක් තිබේ. "සිනහවන්නට බැරි අයකු වෙළෙඳ සලක් විවෘත කරන්න එපා." කියන්නේ ඒනිසායි. මිනිසාගේ මුවගින් නැඟෙන සිනහව විවිධය. ඒ විවිධත්වය නිසාම මේ සිනහවෙන් කියැවෙන අරුත් බොහෝය. ඒ නිසා සිනහවෙන් කියැවෙන අරුත වටහා ගන්නට හැකිනම් එය කොතරම් වටී ද? අද සිරුරේ භාෂාවෙන් අප ඔබට කියන්නේ සිනහවෙන් කෙනකු තේරුම් ගන්නේ කෙසේද යන්න ගැනයි.

 

මඳක් දත් පෙනෙන අයුරින් මඳ සිනහවක් දක්වන්නේ නම් ඇය ඉතාම සංවේදී, මානුෂික හැඟීම්වලින් යුක්තයි. එමෙන්ම මුහුණ දෙස බලා ප්‍රසන්නව සිනහ වන්නා ද අවංක හදවතක් හෙබි අයෙකි. එකමුතුව වැඩ කරන්නට සමතෙකි.

දෙතොල් දිවෙන් තෙත බරිත කරමින් සිනහ වන්නේ නම් සියුම් රාග ගැඟීම් ඇති කෙනෙකි. දෙතොල් තද කර සිනහ වන්නේ ගුප්ත හැඟීම් වලින් යුක්ත තරමක් කපටි ගති ඇත්තෙකි. දෙතොල් මැදින් දිව යොමා තොල් වරින් වර ස්පර්ශ කරමින් සිනහ වන්නේ නම් ඒ තැනැත්තියගේ නොසන්සුන් රාගී බව පැහැදිලියි. කොක් හඬලා සිනහ වීමේ රහස අවංක බවේ ප්‍රතිමූර්තියයි.

දෙනෙත් සිහින් වනසේ මුහුණ පුරාම සිනහව පැතිර යන්නේ නම් ඉතාම ප්‍රසන්නයි. හැඟීම්බරයි. ඇය තුළ සතුට, සාමය, සමඟිය පවතී.

මෘදු මොළොක් තොල් සඟලක් අතරින් සිනහ වන්නේ නම් කලාකාමී අදහස් ඇති සහජ කෞශල්‍යයකින් යුත් මිතුරු මිතුරියන් බොහෝ ඇත්තියකි.

යටි තොල නා දලුවක පැහැයෙන් ඇතිව කලාත්මකව සිනහ වන්නේ නම් ජීවිතයේ සැප සම්පත් ලබන්නීය. යුග දිවිය තුළ රසවත්කම් ඇති වේ. දෙතොල් ඉතාම රත් පැහැයෙන් සිනිඳු රේඛාවක් සහිත සිනහ වන්නේ නම් එය දුර්ලභ ගනයේ උසස් චරිතයකට හිමිකම් කියන්නකි.

යටිතොල එල්ලෙන ස්වභාවයෙන් යුතුව වියළි දෙතොල් සහිතව සිනහ වන්නේ නම් තරමක අභාග්‍ය සම්පන්න කමකි. දුක් කරදර සහිතයි.

රිදී සීනුවක් සේ සිනහ වන්න් නම් යුග දිවිය සාර්ථක වේ. ධන සම්පත් බහුල වේ.

දත් දෙපළම පෙනෙන සේ අධික ශබ්ද නගා සිනහ වන්නේ නම් සතුටට පත් නොවන චරිතයකි. රාගාධිකයි. මෙවැනි අය යුගදිවියෙන් පසුව වරදේ බැඳෙන්නට හැකිය.

සිනහ වන විට කම්මුල් වල ගැසේ නම් කාමුක බවේ පෙනුමකි.

ඉඟිමරමින් සිහින් හඬින් ශබ්ද නොකර සිනහ වන්නේ නම් ඇය පිරිමියකුගේ රසකාමීත්වය රහසේ ප්‍රිය කරන්නීය.

සිනහ වෙද්දී මුහුණ රතු පැහැ වෙන්නේ නම් අනුකම්පා රහිතයි. ඉවසිලි බව අඩුයි.

සිනහවේදී මුහුණ හැකිලී දෙනෙතින් කුඩා කඳුළු කැට මතුවේ නම් යුගදිවි ගැන පසුතැවිලි වෙන බව පෙනේ. ප්‍රේමය පරාජිතයි.

කට කොනින් සිනහවන්නේ ප්‍රයෝගකාරී සටකපට ඇත්තියකි. තද ආත්මාර්ථකාමීය. රහස් චරිතයකි.

මඳ සිනහවෙන් තොල් සපන්නේ නම් සැඟවුණු රහස් ඇති ඇය යුගදිවියේදී අයථා සබඳතා පවත්වාගෙන යයි.

මුව විවරකොට මහ හඬින් සිනහවන්නේ නම් ලෝභකමින් මසුරුකමින් චිත්ත පීඩාවන්ට ලක්වන අයෙකි.

සිරුරේ උඩුකයේ මස්පිඬු චලනය කරමින් ආවේගශීලිව සිනහ වන්නේ අධික වියදම් කරන වගකීම් රහිත ඇසුරට නොගැළපෙන ගුප්ත චරිතයක් බැව් මනාව පැහැදිලි වේ.

සිනහවේදී දෙනෙත් විශාල වී නම් කෑමට ගිජු බවක් පෙනේ.

ළඟ සිටින අයට අත් පහර දෙමින් උරහිස්වලින් අල්ලා තෙරපමින් මහ උස් හඬින් සිනහ වන්නන් වංක සහගතයි. තමන් ගැන පමණක්ම සිතන අයයි. ඇසුරට එතරම් යෝග්‍ය නොවේ.

 

 

උපදෙස්

ප්‍රවීණ ජ්‍යෙතිර්වේදී දේශබන්දු

ටී. හෙන්රි බෙම්මුල්ල