දෝණිගෙ කොණ්ඩෙට මසකට වරක් තෙල් සම්බාහනයක් කරන්න

මාර්තු 4, 2020

දීප්තිමත්, නිරෝගී කෙස් කලඹ ළඳකට වාසනාවක්. මෘදුව, කඩා හැළෙන විට එය රුවට ගෙනෙන ආකර්ෂණය මෙතැකයි කිව නොහැකියි. මේ වගේ ලස්සන කෙස් කලඹක් හිමිකර ගන්න නම් එයට නිවැරැදිව සත්කාර කළ යුතුයි.

මේ සත්කාර ආරම්භ කරන්න ඕනේ දියණියක් කුඩා කල සිටමයි. පාසල් යන වයසේ පසුවන දියණියගේ කෙස් කලඹ ගැන සැලකිලිමත් වීමත් මවකගේ වගකීමක්. යොවුන් දියණියන්ට හිසකේ ගැටලු ගොඩයි. උකුණො, කොණ්ඩෙ තඹ ගැහිලා, වේළිලා, තුනීවෙලා, හිස් හොරි, කෙස් අග පැළිලා හරියට අපිරිසුදු කොස්සක් වගේ.

ඒ හින්දා මේ හැම ගැටලුවක්ම සොයා බලලා ප්‍රතිකර්ම කරන එකත්. කෙස් කලඹ රැකගන්න විදිහ පහදා දෙන්නත් ආදරණීය අම්මා වූ ඔබ අමතක කරසන්නම එපා. පාසල් වියේ සහ තරුණ වියට එළැඹෙන දියණියන්ට හිසකෙස් ගැටලු වැඩිවෙලා තියෙන්නෙම නොසැලකිල්ල නිසායි. හරියට සාත්තු කරනවා නම් සුන්දර කෙස් කලඹක් හිමිකර ගැනීම අපහසු නැහැ.

බොහෝ අය හිසකෙස් විලාසිතා ගැන වැඩි උනන්දුවක් දැක්වූවත් හිසකෙස්වල නිරෝගී පැවැත්ම ගැන තැකීමක් කරන්නේ නැහැ. මේ නිසා නිරෝගී කෙස් කලඹ රෝගී වන්නට පුළුවන්.

මේ සඳහා බලපාන හේතු බොහොමයකි. සමහරුන්ගේ පරම්පරාවෙන්ම කොණ්ඩය අඩුයි. කුඩා දරුවන්ගේ නම් මන්දපෝෂණය නිසාත් යකඩ කැල්සියම් අඩුවීම නිසාත් කොණ්ඩය අඩුවෙනවා. කුඩා කාලේ සිටම හිසට තෙල් සත්කාරයක් කිරිම නිරෝගී කෙස් කලඹක් ලබාගන්න උපකාරී වෙනවා.

තෙල් සත්කාරයක් කිරීමෙන් හිස කැක්කුම වැනි රෝගවලින් පවා ඈත් වෙනවා. දරුවාගේ හිසේ තෙල්වල වශයෙන් හැඳින්වෙන ස්ථානයට තෙල් ගැල්වීම කළ යුතුයි. තරුණියන්ගේ පමණක් නොව තරුණයන්ගේත් කොණ්ඩය යන තත්ත්වය දක්නට පුළුවන්. හෙයාර්ලයින් එක (නළලත් කොණ්ඩයත් සම්බන්ධ වන තැන) සිට පසු පසටත් නළල දෙපසත් හිස මැදත් කොණ්ඩය යෑම තට්ටය පෑදීම සිදුවනවා. නිතර හෙල්මට් පැලඳීම, තොප්පි පැලදීම, හෙයා ජෙල්, ක්‍රීම් ආදිය දිනපතා ගැල්වීමත් මෙයට හේතුවක්.

ඒ වගේම අවේලාවේ නෑමත් හොඳ නෑ. ඇතැමුන් උණු වතුර නෑමට පුරුදුව සිටිනවා. මෙය සුදුසු දෙයක් නොවෙයි. සමහරුන්ට නාන්න වෙලාවක් නැහැ. මේ නිසා රාත්‍රී කාලයේ 12.00 ට 1.00 ට නාන අයත් ඉන්නවා. ඒ වගේම දහදිය දමන නිසා තුන් හතර සැරේ නාන අය ද නැතුවා නොවෙයි. මේ පුරුදු නිසා කොණ්ඩය අඩුවෙනවා පමණක් නොවයි හිසකෙස් අකලට පැහෙනවා.

තරුණ වියේ පසුවන වැඩි දෙනෙක් හිසට තලේ දමන්නෙම නැහැ. එම නිසා තෙල් නැතුව කොණ්ඩෙ අගිස් පුපුරනවා. ඉස්සර හැමෝටම වගේ හිසට තෙල් දැමීමේ පුරුද්ද තිබුණා. මේ නිසා කොණ්ඩය දීප්තිමත්ව හොඳින් වැඩුණා. දැන් කාන්තා, පිරිමි දෙපාර්ශ්වයම හිසට තෙල් දාන පුරුද්දෙන් ඈත් වෙලා. මෙය හිස කැක්කුම ඇතිවීමට ප්‍රධාන හේතුවක්. ඇස් පෙනීම දුර්වල වෙනවා. කොණ්ඩෙ කැඩී යනවා. ඉස්සර හොඳින් හිසට තෙල් දමා පැය 1/2 ක් විතර හිස පීරන්න වැඩි දෙනෙක් පුරුදුව හිටියා. නමුත් දැන් හිස පීරන්නෙත් යන්තමින්.

හිස් කබල වියළි වීමට ප්‍රධානම හේතුව තෙල් සත්කාරයක් නොකිරීමයි. මෙය පසු කාලීනව හිස්හොරි තත්ත්වයන් ඇති වීමටත් හේතුවක් වනවා. ඉතින් මේ ගැටලුවලින් මිදෙන්න ගෙදරදීම හින්දලා ගන්න තෙල් යොදාගන්න පුළුවන්.

 

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී වජිරා ලොකුගේ

 

2020/03/04 තරුණි බලන්න